කාන්තාවන්ටත් ව්‍යායාම අවශ්‍යයි…

woman-walking

අද බොහෝ කාන්තාවන් කියන්නේ අපිට ආයෙ ඉතින් අමුතුවෙන් ව්‍යායාම ඕන නෑ…ගෙදර කරන වැඩ කොටසම මදැයි … ඒත් අතීතයේදී නිවසේ වැඩකටයුතු වෙතින් කාන්තාවක් උපයා ගත් ව්‍යායාම අද දවසේ කාන්තාවන්ට ලැබෙන්නේ නැහැ. වි, හාල් කෙටීම, කුරහන් ඇඹරීම , මිරිස් තුනපහ ඇඹරීම වැනි කටයුතු අද ඇත්තේම නැහැ. ඒ නිසා ගෙදරදොර වැඩවලින් අපි බලාපොරොත්තු වෙන ශරීර සුවතාවයක් ලැබෙන්නේ නැහැ..

එහෙනම් අපි ජිම් යමු…

ජිම් ගිහින් හෝ සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබා ගැනීම කිසිම වරදක් නැහැ. ඒත් ඊටත් වඩා පහසුවෙන් ව්‍යායාම ලබා ගත හැකි මගක් ඔබට තිබෙනවා. ඒ දිනකට විනාඩි 20 ක් 25 ක් කාලයක් ඇවිදීමයි.

ඇවිදීමෙන් ලැබෙන වාසි..

ඇවිදීම නිසා ඔබේ වියපත්වීම ප්‍රමාද කරනවා විතරක් නොවෙයි, ඩී.එන්,ඒ අළුත්වැඩියා වෙනවා.ඒ වගේම ඇවිදින විට පුද්ගලයා තුළ නිර්මානශීලී බව වර්ධනය වෙන බවත් දැන් හඳුනාගෙන තිබෙනවා.මේ තත්වය කාන්තාවට විතරක් නොවෙයි, දරුවන්ටත් ඉතා වැදගත්. ඔබ මාක් සකර්බර්ග් ගැන නොදැන හිටියත් මුහුනුපොත කිව්වොත් ඔහු ගැන හඳුනාදීම පහසුයි. මුහුනුපොතේ නිර්මාතෘ “මාක් සකර්බර්ග්” බව දැන් මතකයට නැගෙයි. ඒ වගේම ඇපල් බොස් යනුවෙන් හැදින්වෙන “ස්ටීව් ජොබ්ස්” සන්නිවේදන තාක්ෂනයෙන් ලෝකය වෙනස් කළ චරිත දෙකක්. ඔවුන් දෙදෙනාම ඇවිදීමට බෙහෙවින් ප්‍රිය කල චරිත දෙකක් වුණා. මේ නිසාම ඔවුන්ගේ නිර්මානශීලීක්වය අවදි වෙන්න ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.

බෝ නොවෙන රෝගවලින් ආරක්ෂාව

එදා වයස හැට හැත්තෑව වුනත් හිසෙන් බහින රෝගයක් නොතිබුනත් අද යාන්තම් වයස අවුරුදු 20 ක් වෙන්නත් පෙරාතුව කොලස්ටරොල්, රුධිරගත සීනි වැනි තත්වයන් නිසා හදවත් රෝග, දියවැඩියාව වැනි රෝගවල ගොදුරුබවට පත් වෙනවා.එතැන පටන් ඔස්ටියෝපොරෝසිස්,පිලිකා, ආඝාත වැනි රෝග තත්වයන් දක්වාම තත්වය නරක අතට හැරෙන්න පුලුවනි. ඒ නිසා මෙවැනි අවාසනාවන්ත තත්වයකට පත් නොවී ජීවිතය සැපවත්ව තබා ගැනීමට නම් ඇවිදීමට පුරුදු වීම ඉතාම වැදගත්.

හරිත ලොවක් වෙත…

අද අපි ජීවත්වෙන පරිසරයේ නිලක් කොලක් ඇත්තේම නැහැ. බැලු බැලු අත තිබෙන්නේ කොන්ක්‍රිට් තාප්ප වලින් වටවුන පරිසරයක්. ඒත් ඔබ ඇවිදින විට ගස්, වැල්. මල්. පළතුරු දකින විට හිතට ඇති වෙන්නේ ඉතාම සහනශීලී බවක්. නිල නිලන පරිසරයක් වෙනුවෙන් අපි නොදැනීම අපේ ඇස ඇදෙනවා. එයින් මනසට ලැබෙන්නෙත් විවේකයක්. ඒ නිසා ඔබ නිතරම දරුවන් සමග හරිත පරිසරයක් වෙත ඇදෙන්න. ඒ වෙනුවෙන් කාලය සහ මුදලක් වැය වුනත් ඔබට නොදැනීම ලැබෙන වාසිය ඉහලයි. සිත  නිවන සුන්දර පරිසරය නිසා ඔබ පමණක් නොවෙයි එබේ පවුලේ හැම දෙනාටම සුවදායක මානසික පරිසරයක් සකස් කරනවා.

වෛද්‍යවරයා වෙත යන වාර ගනණ අඩුවේවි..

ඇවිදීම නිතරම ප්‍රගුණ කරන්න. ඒ නිසා ඔබේ හදවත, පෙනහළු වෙත ඉතා හොදින් රුධිර සැපයුම ලබා දෙනවා. ඒ නිසාම බොහෝ රෝගාබාධයන්ගෙන් ඔබට නොදැනීම ආරක්ෂාව ලැබෙනවා.සුවදායක නින්දක් ලැබෙනවා.

ඇවිදිම බරපතල ගැටළුවක් සේ හිතන්න එපා..

දැන් ඉතින් ඇවිදින්න එපායැ… මේ විදිහට අමුතු වෙහෙසක් අවශ්‍ය නැහැ. ඔබ කෙටි දුරක් වෙනුවෙන් මෝටර් රථය, එහෙම නැත්නම් ත්‍රිරෝද රථයක් යොදා ගන්නවා නම් ඒ වෙනුවට මේ කෙටි දුර පයින් ගමන් කරන්න. එය සිරුරට වගේම මුදල් පසුම්බියටත් වාසි ගෙන දෙනු ඇති.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here