ආගමික පසුබිම් අනුව කතුනට එල්ල වන දුර්මත දුරලමු

stop-woman's-violence

සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී පැවතීම මත පැරණි මෙන්ම නූතන සමාජය තුළද ඇය අඩු වැඩි වශයෙන් පීඩාවට ලක්වේ. මේ තත්ත්වය මත වර්තමාන සමාජය තුළ කාන්තාවට සමාජයේ සම්පත් සඳහා ඇති ප්‍රවේශය, තීරණ ගැනීමේ ක්‍රියාවලි සඳහා සහභාගීවීමට ඇති ඉඩප්‍රස්තා හා පිළිගැනීම ආදිය පිරිමින්ට හා සමාන තත්ත්වයෙන් නොලැබේ. 1979 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇති කරගනු ලැබූ ස්ත්‍රීන්ට එරෙහිව සියළු ආකාර වෙනස්කම් පිටු දැකීමේ සම්මුතියේ 5 වන වගන්තිය මෙම තත්ත්වය පිටු දැකීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. සම්මුතියේ 5 වන වගන්තියේ දක්වා ඇත්තේ කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු යන්නයි. නමුත් තවමත් අහෝසි නොවුන කාන්තා අගතීන් හා දුර්මත සමාජයෙන් තුරන් කිරීමට කාලය එළැඹ ඇත.

ආගමික සංස්ථාව තුළ කාන්තාව අගතියට ලක්වන ආකාරය

වර්තමානය වන විට ආගම විශාල වශයෙන් සමාජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් ඇතිකරමින් සිටියද බොහෝ ආගම්, කාන්තාවන් කෙරෙහි දක්වන්නේ අගතිගාමී ආකල්පයකි. මේ පිළිබඳ සොයා බැලීමේදී කාන්තාව සම්බන්ධයෙන් ලොව විවිධ ආගම් දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

ලෝක ඉතිහාසය තුළ ග්‍රීකවරුන්ට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. එසේ වුවද ග්‍රීකවරුන් කාන්තාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ග්‍රීක දර්ශනිකයකු වන සොක්‍රටීස් කාන්තාව පිළිබඳ මෙසේ පවසා ඇත.”කාන්තාවන් සිටීම ලොව පරිහානියට ප්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමානය. එම ගසේ බාහිර ස්වරූපය අලංකාර වේ. නමුත් එහි ඵලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියැදෙති.”

ග්‍රීක සංස්කෘතියට නොදෙවෙනි රෝම සංස්කෘතිය තුළද කාන්තාව “පණ නැති වස්තුවක්” වශයෙන් සලකනු ලැබීම නිසා එම සමාජය තුළ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවීය. එසේම රෝම නීතිය තුළ ස්ත්‍රියට කිසිසේත්ම ස්වාධීන පැවැත්මක් හිමි නොවුන අතර ඇය සදාකාලිකවම භාරකාරයෙකුගේ පාලනයට යටත් විය.

ඉන්දියාවේ හින්දු වැසියන් අතර පවතින චාරිත්‍රයක් වන “සති පූජාවේදී තම ස්වාමියා මිය ගිය පසු එම මෘත දේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිඳ ද එම ගින්නටම පැන මිය යා යුතුය.” එනම් තම ස්වාමියාගෙන් තොර ලෝකයක් පිළිබඳ සිතීමට පවා නොහැකි බවට මෙම චාරිත්‍ර මගින් පෙන්වා දෙයි.

චීන ජාතිකයන් කාන්තාව ධනයත්, භාග්‍යයත් අහිමි කරවන දුර්භාග්‍යමත් කාරණයක් ලෙස සලකනු ලැබූ අතර සියල්ලට විපත ගෙන එන ජලයට ඇය සමාන කරන ලදී. එසේම එදා සමාජයේ චීන ජාතිකයන් තම බිරින්දෑවරුන් පණ පිටින්ම වළලන්නටත් විකුණන්නටත් රටේ නීතියෙන්ම සම්පූර්ණ අයිතිය ලබා දී තිබුණි.

ලොව විප්ලවකාරීන් වන යුදෙව්වන් එදා කාන්තාව සැලකුවේ සියලුම ආකාරයේ පාපයන්ට උරුමකම් කියන පිරිසක් වශයෙනි. ඇය ආදම්ව නොමඟ යවා තහනම් ගසේ ගෙඩි කන්නට සැලැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් සමාජය බිහිවී දුක් විඳින්නට සිදුවී ඇති බවත් ඔවුන් විසින් විශ්වාස කරන අතර ඇය ස්වාභාවයෙන්ම අපිරිසිදු මැවීමක් බවත් ඇය සිටින නිවසත් ඇයගේ ස්පර්ශයට හසුවන සියල්ලමත් අපිරිසිදු තත්වයට පත්වන බවත් ඔවුහු විශ්වාස කරති.

ක්‍රිස්තියානිවරුන් කාන්තාව ෂෙයිතාන්ගේ (නපුරෙහි) දොරකඩ ලෙස සලකනු ලැබ ඇත. ක්‍රිස්තියානි විද්වතෙකු වන යුනපෙන්තූරා නැමැත්තා මෙසේ පවසයි.”නුඹලා කාන්තාවන් දුටුවේ නම් ඇයව මනුෂ්‍ය ඝනයට අයත් කෙනෙකු යැයි නොසිතන්න, එපමණක් නොවේ ඇයව පණ ඇති ජීවියෙකු ලෙසද නොසලකන්න, නුඹලා දකින්නේ සැබවින්ම ෂෙයිතාන්ගේ (නපුරෙහි) රූපයම බවත් නුඹලාගේ සවනට වැටෙන ඇයගේ හඬ විෂ සර්පයන්ගේම ශබ්දයක් යන්නත් අමතක නොකරන්න.”

වර්තමාන බෞද්ධ ආගමික භාවිතාව තුළ රන් වැටකින් වටවී ඉහළ මළුවේ වැජඹෙන බෝධීන් වහන්සේ අසලට පැන් කලයක් රැගෙන යන්නට කාන්තාවන්ට වරම් ලැබෙන්නේ නැත.තම කෙස් වැටියේ සඟවාගෙන දන්ත ධාතුව ලංකාවට වැඩම කරවූයේ හේමමාලා කුමරිය වුවද උන්වහන්සේ වැඩ සිටින මාළිගය හෙවත් පත්තිරිප්පුවට ගොඩ වීම කාන්තාවන්ට අකැපය. එසේම දළදා පෙරහැරට සහ දළදා මාළිගයේ තේවාවන් සඳහාද කිසිම විටෙක කාන්තාවන් සහභාගී කර නොගනී. මේ සෑම දේකටම හේතුව වශයෙන් දක්වන්නේ ගැහැනිය අපිරිසිදු යැයි පවතින සමාජ අගතිය වේ.

ඉස්ලාම් ආගමික කාන්තාවන්ට තම මුළු සිරුරම කලු ලෝගුවකින් වසාගෙන සිටීමට නියමවී ඇත. එමෙන්ම ඇගේ විවාහය තීන්දු වන්නේ තම පියාට හා වැඩිමහල් සොහොයුරන්ට අවශ්‍ය පරිදිය. ඔවුන් පවසන ඕනෑම අයෙකු සමඟ විවාහවීමට ඉස්ලාම් කාන්තාවන්ට සිදුවේ. එම ආගමට අනුව වයස අවුරුදු 12ට වැඩි ඕනෑම කාන්තාවක් විවාහ කර දීමට අවසර ඇත. පිරිමියා බහු විවාහ සිදු කළත් කාන්තාවට ඒ අයිතිය අහිමිය.

මෙය හුදෙක් ආගමික වස්තූන්ගෙන් කාන්තාව ඈත් කර තැබීමක් නොව සමාජ සමානාත්මතාව ස්ත්‍රීන්ට නොලැබීමේ ප්‍රතිඵලයකි. “ලෝකය බිහිවී ඇත්තේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලිනි.” යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් ඇත්තේ ලෝකයේ පැවැත්මට සූර්ය කිරණ සේම කාන්තාව ද වටිනා බැවිනි. සෑම මිනිසෙක් සහ ගැහැනියක්ම මෙලොවට බිහි වී ඇත්තේ ගැහැනියකගේ කුස තුළින් වුවත් සමාජය තුළ කාන්තාව පහත් කොට සලකනු ලබන්නේ ආගම හෝ සංස්කෘතිය තුළ තිබෙන දෙයක් නිසා නොව මිනිසාගේ සිතුවිලි සහ ආකල්පයන් හේතු කොටගෙනය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here