ස්වයං ඉගෙණුමට ආහාර වට්ටෝරු

0
9318

හොද්දට ලුණු ඇඹුල දමන පදම ඉගෙන ගනින් දුවේ….එදා අම්මා අත්තම්මා දියණියට දුන් අවවාදය වුනේ එයයි. හොද්දක් බතක් උයා පිහා ගැනීමට නොහැකි නම් ඇය මුල් කර ගෙන කිසිම පිලිගැනීමක් ගොඩ නැගුනේ නැත. ඒත් අද මේ තත්වය බෙහෙවින් වෙනස්ව ඇත. උයන්න පිහින්න නොදන්නා බව එතරම් අපහාසයක් නොවේ. ඊට හේතුව අද බොහෝ දෙනෙක්ම ඉවුම් පිහුම් ගැන නොදන්නාකමයි.

තමන්ගේ නිවසේ ඉවුම් , පිහුම්, මැහුම් , ගෙතුම් සියල්ල තමා විසින්ම සකසා ගත හැකි නම් ඇත්තටම ඇය ඉතාම ඇගයීමට ලක් වෙන කාන්තාවක් විය යුතුය. තවමත් මේ අන්දමින් හැකියාවන් පෙන්වන කාන්තාවන් අප අතර ඇත. තමන්ගේ මංගල්‍ය්‍ය වෙනුවෙන්  ඇඳුම් සකසා ගැනීම, කේක් සහ වෙනත් කැවිළි පිළියෙළ කිරීම සිට සැරසිලි කටයුතු පවා තමන්ගේ නිර්මානශීලි දායකත්වයෙන් කරන කාන්තාවන් සිටිති.

අතීතයේ සිටි කාන්තාවන්ට වඩා අද යුගයේ කාන්තාවන්ට ඉගෙණුම් කටයුතු වෙනුවෙන් මනා ඉඩ ප්‍රස්තාවන් ඇත. එදා කාන්තාවන් යම් දෙයක් ඉගෙන ගත්තේ අම්මා හෝ නිවසේ සිටි වැඩිහිටියන්ගෙන් පමණි. අද තත්වය ඊට වෙනස්ය. පුවත්පත්, සඟරා පමණක් නොව අන්තර්ජාලය මගින් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් බාගත කර ගැනීමට හැකියාව ඇත.මේ මුලාශ්‍ර මගින් තමන්ට අවශ්‍ය දේ ස්වයං අධ්‍යනය එතරම් අපහසු නැත.

අතීතයේ අද වගේ මුද්‍රණ කලාව විසිතුරු නැත. හැම දෙයක්ම පළ වුනේ කළු සුදු මාධ්‍යයෙන් පමණි. ඒත් එදා කාන්තාවන් මේ ආහාර වට්ටෝරු එක්රැස් කොට පොත්පත්වල අලවා ගත්හ. ඒ වෙනුවෙන් අලුත් පොත් පත් වැය කළේ නැත. ඉවත දමන ලද පොතක් මේ ආහාර වට්ටෝරු අලවා ගෙන එයින් අලුත් අලුත් දේ උයා පිහා ගත්හ.බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙසින් තේරී පත් තෙරේසා මේ ඇගේ විනෝදාංශය ලෙසින් සඳහන් කර ඇත්තේ ආහාර වට්ටෝරු එකතු කිරීමයි. මේ වෙන විට ඇය සතුව එකතු කරන ලද ආහාර වට්ටෝරු සිය ගණනක් ඇති බව ඇය පවසා ඇත. ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වන ඇය විසින් තමන්ගේ ආහාරපාන සකසා ගන්නා බව ආඩම්බරයෙන් සඳහන් කරන්නීය.

බිල් ක්ලින්ටන් ජනාධිපතිව සිටියදී හිලරි ක්ලින්ටන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තාව වූවාය. තම පවුලේ උදවිය වෙනුවෙන් ඉවුම් පිහුම් කිරීමට ඇය පසුබට වූයේ නැත.ක්ලින්ටන්ගේ දියනිය වූ වෙල්සි රෝගාතුර වුන අවස්ථාවක හිලරි ක්ලින්ටන් මුලුතැන්ගෙට ගොස් බිත්තරයක් පිළියෙල කළාය. ප්‍රථම ආර්යාව ආහාර පිසිනු දුටු  ධවල මන්දිරයේ නිළධාරියෙක් වහාම පහතමාලයට දන්වා සිටියේ බිත්තරයක් පිලියෙල කොට එවන ලෙසයි. ඒත් හිලරි ඊට විරුද්ධ වූවාය. ඇමරිකාවේ ප්‍රථම කාන්තාව විදිහට නොවෙයි……මං දරුවාගේ අම්මා…හිලරි බිත්තරය ප්‍රතික්ෂෙප කළාය.

ආහාර පිසීම ඇත්තටම කලාවකි. විනෝදාංශයකි. තමන්ගේ දෑතින් ආහාරයක් පිස ගත් විට දැනෙන තෘප්තිය විශාලය.මේ වෙනුවෙන් පාසල මගින් සුවිශේෂී දායකත්වයක් ලබා දිය හැක. බාලදක්ෂිකා ව්‍යාපාරයේදී ආහාර පිසීම ඉතා විනෝදයකි. මේ අත්දැකීම සාමාන්‍ය දරුවන්ටත් ලබා දිය හැක.අන්තර්ජාලය ජංජාලයක්ය යනුවෙන් චෝදනා නගන මව්පියන්ට මෙහි හොඳ ගුනාංග ගැනත් අවධානය යොමු කළ හැක. අන්තර්ජාලයේ තිබෙන ආහාර වට්ටෝරු බාගත කර ගෙන පොතක් ලෙසින් නිර්මානය කර ගැනීම අපහසු නැත. අලුත් අලුත් ‍ආහාර කෑම මේසයට එන විට පවුලේ උදවියගේ ආහාර වෙනුවෙන් වූ රුචිය වර්ධනය වෙනු ඇත.

අද අපේ ගෙදර කෑම මේසයට අලුත් යමක් ඇති…දරුවන් සිතනු ඇත.මගේ බිරින්දෑ අපිට රස ගුණ ආහාරයෙන් සංග්‍රහ කරන්නීය යන කීර්තිය තවත් පැත්තකින් ගොඩ නැගෙනු ඇත.

ඒ සමග පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් ලැබෙන පිටුවහල සුලුපටු නැත. අද හැම දෙනාම චෝදනා නගන්නේ ගුණයක් ඇති දෙයක් ආහාරයට නොමැති බවට වූ මැසිවිල්ලයි. තමන්ගේ පවුල වෙනුවෙන් අවශ්‍ය ආහාරපාන තමන්ම පිළියෙල කරන තැනදී මේ චෝදනාව ‍මගහැරෙනු ඇත.

ආහාර සකස් කිරීම වෙනුවෙන් අතිරේක පංති අවශ්‍ය නැත ඒ සඳහා යන කාලය සහ වියදම ඉතිරි කර ගැනීමට අද හැකි තරම් අවස්ථාවන් ඇත. මේ අවස්ථාවන්ගෙන් අපි ප්‍රයෝජනය නොගැනීම නිසා වටිනා අවස්ථාවන් අපෙන් මග හැරී ඇත.විද්්‍යුත්තාක්ෂණය ඇත්තටම ඉතා විචිත්‍රය. එය නෙතට විසිතුරුය. හඬ නිසා පැහැදිලිව අවබෝධ වේ. ගැටළු ඇතොත් විසඳා ගැනීමට දුරකථන මාර්ග සහ වෙනත් අවස්ථාවන් ඇත.මේ සියල්ලම අපට හැකියාවන් දියුණු කර ගැනීමට තිබෙන සුවිශේෂී අවස්ථාවන්ය. එසේ නම් එම අවස්ථාවන්ගෙන්  ප්‍රයෝජන ගැනීමට ඔබත් අවස්ථාව උදා කර ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here