රූමස්සල අසිරිය සමඟ දවසේ චාරිකාවක

0
8127
roomassala

ඇතැම් විට අපි එදිනෙදා මානසික පීඩනයෙන් මිදෙන්න හිතා ගෙන අපට නිවාඩුවක් ලැබුන අවස්ථා වලදි හිතේ නිදහසටත් එක්ක විවිධ විවිධ ස්ථාන වල ඇවිදින්න යන්න හුරු වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ නිදහස් වෙලාවක ඇවිදින්න යන්න හොඳම තැනක් ගැන ඔබටත් කියන්න ඕන කියලා මම හිතුවා.
ඉතින් වෙනස් වෙනස් තැන් වල ඇවිදින්න යන්න ආස කරන ඔබට මම අද කියන්න යන්නෙ ස්වභාව සෞන්දර්ය හා  ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් වන රූමස්සල ගැන.

පිහිටීම

ගාල්ල නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි රූමස්සල කඳු සහිත වනාන්තර භූමියක්. බොනවිස්ටා යන අන්වර්ථ නාමයෙන් පවා හැදින්වෙනු ලබන මෙම ස්ථානය එක් දින චාරිකාවක් යන්න සැලසුම් කරන ඔබට නම් ගැලපෙනම තැනක්.

ඓතිහාසික වැදගත් බව.

ඔබ දන්නවද රූමස්සල කන්දට යන විට අපට හමුවෙන බොනවිස්ටා පාසල මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරීන් අධ්‍යාපනය ලැබූ ප්‍රාථමික පාසල බව. ඒ වගේම තමයි මෙම ස්ථානයට සුවිශේෂී ඓතිහාසික වැදගත් කමක් හිමි වෙනවා. රාමායණයේ එන පරිදි රූමස්සල කන්ද කියන්නෙ බොහෝ පැරණි ස්ථානයක්. රාවණා රජු සීතා දේවිය පැහැර ගෙන විත් සඟවා තැබුවේ මෙම රූමස්සල කන්ද ආශ්‍රිතව බව ජනප්‍රවාදයේ සටහන් වෙනවා.
එමෙන්ම හිමාල කන්දේ පමණක් තිබෙන ඇතැම් ඖෂධ වර්ග මෙම රූමස්සල කන්දෙහි ද ඇති බව කියනවා.

රූමස්සලට යන ඔබට  Jungle Beach  යන්නත් අවස්ථාව උදා වෙනවා. ඇත්තටම ඔබ බලනවා ඇති මොකක්ද මේ Jungle Beach  කියන්නෙ කියලා. දකුණෙ තරුණයන් අතර  ජනප්‍රිය මෙම වචනය රූමස්සල ප්‍රදේශයටම කියන නමක්. වනාන්තර ප්‍රදේශයක් සමඟ තිබෙන අලංකාර මුහුදු වෙරළ ඔවුන් අතර වඩාත් ප්‍රසිද්ධ Jungle Beach යන නමින්. දිනකට දස දහසක පමණ පිරිසක් මෙහි නිවාඩුව ගත කරන්න පැමිණෙන අතර අලංකාර මුහුදු වෙරළෙහි සිරි නරඹන්න මෙන්ම නෑමටද ගොඩක් අය ප්‍රිය කරනවා. මීටර 120ක පමණ උස මෙම කන්ද ගාලු නගරයට දිස් වෙන ජපන් සාම චෛත්‍යය පිහිටා ඇති සුන්දර ස්ථානයක්.
ජපන් ආධාර මත ඉදිවූ ජපන් සාම චෛත්‍ය ඉතා විශාල සෑයක් වන අතර රූමස්සල අසිරිය තව තවත් විදහා පාන මෙම ස්ථානයෙන් එහා  තවත් විහාරස්ථානයක් ද පවතී.  හනුමා ගේ රුවක් හා  අනාගතයේ මතු බුදු  වෙන්නට පෙරුම් පුරන්නා වූ මෛත්‍රී බෝධිසත්වයාණන්ගේ ද රුවක්  මෙහිදී ඔබට දැක බලා ගත හැකිය. එමෙන්ම ඓතිහාසික ලෙස වැදගත්  මෙතෙක් ලොව පහළ වූ සියලු බුදුවරුන්  හට බුදු වීමට සෙවණ වූ රුක් සියල්ල එහිදී සිය දෑසින් වන්දනා මාන කිරීමට ඔබට හැකියාව ඇත.

විශාල වන ලැහැබක් සහිත මුහුදින් වට වූ මෙම සුන්දර ස්ථානයට යන ඔබට  විඩා නිවන්න  සංචාරක නිවාඩු නිකේතන ද මේ වන විට එහි ඉදිකර ඇති අතර  නිස්කලංක වටපිටාවක් සහිත රූමස්සල පුරවරය  දේශිය මෙන්ම විදේශීය ජනයා පවා  විස්මිත කරලූ  ස්වභාව සෞන්දර්ය පිරි  වට පිටාවකි .

එසේ නම් දවසේ නියාඩුව සඳහා  හිතේ නිදහස සොයා විනෝද චාරිකා යන ඔබට  ඓතිහාසික හා ස්වභාව සෞන්දර්යයෙන් පිරි රූමස්සල පුරවරය  හොඳම තැනක් වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here