සාර්ථක විවාහ දිවියකට රහස් තුනක්

0
13558
සාර්ථක විවාහ දිවියකට රහස් තුනක්

වර්තමානයේ බොහෝ විවාහ සිදු වන්නේ පෙම් සබඳතා මතයි. වසර ගණනක ඇසුරකින් පසුව දෙපාර්ශවයේම ආශිර්වාදය සමඟින්  දෙදෙනෙකු විවාහ වන්නේ දහසකුත් බලාපොරොත්තු සමඟින්. එහෙත් පෙම් ලොව දී දුටු ඔබගේ පෙම්වතා විවාහයෙන් පසු වෙනස් වී ඇත්නම් ඔබ සිටිනුයේ ජිවිතයේ සියළු බලාපොරොත්තු සුන් වූ තැනැත්තියක ලෙසයි. ‘ආදරේ කරපු කාලේ එයා මං වෙනුවෙන් නොකරපු දෙයක් නෑ ඒත් දැන් අඩු ගානේ මාව ගනන් ගන්නෙවත් නෑ’ , ‘ අපෝ එයා දැන් මට ආදරේ නෑ’, ‘මොන පවකට කසාඳ බැන්ඳද මන්දා’ බොහෝ විවාහක කාන්තාවන් මෙලෙස මැසිවිලි නගනවා ඔබත් ආසා ඇති. ඇතැම් විට ඔබත් මෙලෙස සිතින් දුක් වෙනවා ඇති.

ඇත්තෙන්ම විවාහ ජීවිතය කියන්නේ ආදරය කරන කාලයට වඩා වෙනස් කාලයක්. ආදරය කරන කාලයේ ඔබ දෙදෙනා සිටියේ නිවෙස් දෙකක. එහෙත් විවාහයෙන් පසුව එක වහලක් යට සියළු දුක් සැප බෙදාහදා ගෙන ජිවත් වීමට ඔබ දෙදෙනාට සිදු වෙනවා. දෙදෙනාගේම සතුට වෙනුවෙන් ඔබ දෙදෙනාටම යම් යම් කැප කිරීම් කරන්නට සිදු වෙනවා. ඔබ දෙදෙනාගේ ආශාවන් විවිධ වෙන්නැති එහෙත් ඒවා ගලපා ගන්න ඔබ දෙදෙනාටම සිදු වෙනවා. කෑම බීම, ඇඳුම් පැළදුම් වල සිට ලිංගික ජීවිතය තෙක් සියළු දේ දෙදෙනාගේම කැමැත්ත අකමැත්ත විමසා තීරණය කිරීම වැදගත්. තමන්ගේම හිතුමනාපයට වැඩ කිරීම කසාද ජීවිතය දෙදරා යන්න එක් හේතුවක්.

විවාහ වන යුවලක් බලාපොරොත්තු වන්නේ සතුට පිරුණු ආදරණිය කැදැල්ලක්. ඉතින් ඔබේ විවාහ දිවියත් සතුට ආදරය පිරුන නිවහනක් කරගන්න නම් මේ පුංචි රහස් තුන පිළිපදින්න.

  1. ගරු කරන්න

කුඩා කල සිට වැඩිහිටියන්ට ගරු කිරීමේ පුරුද්ද අප සතුයි. පෝරු මස්තකයේදීත් ඔහුට බුලත් දී වැන්ද ඔබ විවාහ වී කෙටි කලකින් ඔහුට කුඩා දෙයටත් බැන වදිනාවා නම් ඔහු ඔබට මහමෙරක් තරම් ආදරය කරාවිද? කලක් ගත වන විට ඇතැම් බිරින්දෑවරුන් සැමියාගේ සෑම ක්‍රියාවකටම ඔහු සමඟින් රණ්ඩු කරයි ඇතැම්විට කිසිඳු වැදගත්කමක් නොමැති කුඩා දෙයට පවා ඔහුව අනිසි ලෙස සැක කරයි. එහෙත් බිරිඳක් මවක් ලෙස ඔබ බොහොමත්ම ඉවසීමෙන් කටයුතු කල යුතුයි.

ඔබ දෙදෙනාම අනෙකාට ගරු කල යුතුයි. කාන්තාවන් ස්වභාවයෙන්ම කතාවට කැමැත්තක් දක්වන අයයි. ඔබත් කැමතියි ඔහු ඔබට සවන් දෙනවානම්. ඒ වගේම බොහෝ පිරිමින් තනිව කල්පනා කරමින් නැතිනම් මිතුරන් සමඟ සිටීමට කැමැත්තක් දක්වනවා. ඔහුගේ හැඟීම් තේරුම් ගෙන ඒවාට ගරු කරන්න. ඔබ අකැමති යමක් ඔහු සිදු කරනවානම් කරුණාවෙන්, සැර පරුෂ නොවී ඔහුට කරුණු පැහැදිලි කර දෙන්න.

ඔබ කතා කරන විලාශය, ඔබ ගෙදර දොර වැඩ කටයුතු සිදු කරන ආකාරය පවා ඔබ සැමියාට දක්වන ගරුත්වය පිළිඹිබු කරයි. ඒ නිසා ඔබ ඔහුට ගරු කරන බව ඔහුට වැටහෙන අන්දමින් වැඩ කටයුතු කරන්න. වැදගත් යමක් පිළිබද තීරණ ගැනීමේදී ඔහුගේ අදහස් විමසන්න. ඒ වගේම ඔහුගේ නෑදෑ හිතමිතුරන්ට පවා ගරු කරන්න අමතක කරන්න එපා.

  1. කරුණාවන්ත වෙන්න

ගැහැනියක් සැබවින්ම කරුණාවන්ත විය යුතුයි. ඔබ ඔහුට මවක්, බිරිඳක්, පෙම්වතියක්, මිතුරියක්‌මෙන්ම සොයුරියක්ද විය යුතුයි. ඔබ පුංචිම හෝ දුකක් දැනුන විට ඔහුගේ උරමත හිඳ හඩන්නේ නම් ඔහුටත් ඔහු දුකෙන් සිටින විට ඔහුගේ හැඟීම් පවසන්න ඉඩ දෙන්න. පිරිමින් බොහෝ විට ගැහැණු අප මෙන් හඩන්නේ නැහැ. එහෙත් ඔබ ගේ සැමියා සිත් පීඩාවෙන් පසුවෙන විටක ඔබ ඔහුට සවන් දේවි ඔහුගේ හිත හැදෙන්නට යමක් පවසාවි යැයි ඔහු බලාපොරොත්තු වේ. සැමවිටම ආදරණිය කරුණාබර වදනින් ඔහුව අමතන්න. ඔහුගේ වැඩ කටයුතු සඳහා සහාය වෙන්න.

  1. අගය කරන්න

ඔහු ඔබ වෙනුවෙන් ඉටු කරන සියල්ලක්ම සදහා ඔහුව අගය කරන්න. ඔහු ඔබට ඇඳුමක් තෑගී කරා යැයි සිතන්න. නමුත් ඔබ එහි මෝස්තරයට අකමැති ඇති. ඒත් ඔහුගේ ක්‍රියාව අගය කරන්න. ඔහු එය මිලදී ගෙන ඇත්තේ ඔබ වෙනුවෙනුයි. ඔබට ඇති ආදරය නිසාවෙනුයි. ඔබ අසනීපයෙන් පසුවන දිනක ඔහු ඔබ දෙදෙනා වෙනුවෙන්ම තේ පිළියෙළ කරයි නම් ඔහුව අගය කරන්න. ‘ඔයාටත් රසට තේ හදන්න පුළුවන්නේ’ යැයි කියන්න ඔබට අපහසු නැහැ නේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here