නහර ගැට ගැසීම නිසා ඔබේ දෙපාත් අවලස්සන වෙලාද?

0
4127
woman's-leg

කාන්තාවෝ තමන්ගේ රූ සපුව ගැන විශේෂිතව සැලකිලිමත් වෙනවා කිව්වොත් නිවැරදියි. එක එක විදියේ ඇඳුම් විලාසිතා එක්ක හැඩ වැඩ වෙන්න ඔවුන් බොහොම කැමතියි. මෙතැනදී බොහෝ පිරිසක් තමන්ගේ මුහුණ ගැන විතරක් අවධානය යොමු කරනවා. සුන්දරව ඉන්න ඒ ක‍්‍රමය නම් ඒ කරම් සාර්ථක නැහැ. මොකද අපේ අත්පා හිසකේ මේ හැම දේටම හොඳ පැවැත්මක් තිබුණොත් තමයි අපි සුන්දර වෙන්නේ. ඒත් පාද ගැන කතා කරන්දී සමහර කාන්තාවෝ බොහොම අසීරුතාවයට පත් වෙන තත්ත්වයක් තමයි පාදවල නහර ගැට ගැහෙන එක. ටිකක් කොටට ඇඳුමක් අඳින්න වුණත් මේ තත්ත්වය බාධාවක් වෙනවා. මොකද නහර ගැට ගැහීමේ තත්ත්වය නිසා අවලස්සන පෙනුමක් එකතු වෙනවා.

ඉතිං මේකට මොකක්ද කරන්නේ……?

“වෙරිකොස් වෙයින්ස්” ලෙස හඳුන්වන නහර ගැට ගැසීමේ මේ තත්ත්වය නිසා දෙපා අවලස්සන වෙනවා විතරක් නෙවේ ඒවා පුපුරා ලේ ගැලීම, කැසීම, සමේ පාට වෙනස් වීම වගේම දද ඇති වීම වැනි තත්ත්වයන්ද ඇති විය හැකියි.

නහර ගැට ගැසීමේ වැඩි අවධානමක් ඇත්තේ,

  • ස්ථුලතාවයෙන් පෙලෙන්නන්
  • දිගු වේලාවක් සිටගෙන සිටින රැකියාවල නියුතු පුද්ගලයන්
  • මළබද්ධ/ හෘද අකර්මන්‍යතා/අක්මා ආබාධ ඇති පුද්ගලයන්
  • උපතින් ඇති වී ඇති අසාමාන්‍යතා ඇති පුද්ගලයන්

හෘදය වස්තුවේ සිට රුධිරය සිරුර පුරා පොම්ප කරනුයේ ධමනි දිගේය. එසේ ගමන් ගන්න රුධිරය නැවත හෘදය වස්තුව වෙත පැමිණීමට අවශ්‍ය තෙරපුම හිමිවන්නේ ඇවිදින විට, අත පය සෙලවෙන විට සිදුවන මස් පිඬු සංකෝචනය වීම මගිනි. මස් පිඬු සංකෝචනය වන නිසා ශිරා රුධිරය හෘදය දෙසට ගමන් කරයි. ඉහළට යන ශිරා රුධිරය පහළට ඒම වැළැක් වීමට ශිරාව තුළ පවතින ලේ ඉහළට ගමන් කරන අතර එම  කපාට දුර්වල වීමෙන් මෙන්ම ශිරාවල ඇති කපාට හරි හැටි කි‍්‍රයාත්මක නොවීම නිසාත් ශිරා තුළ රුධිරය එකතු වේ. එවිට එම කපාට අවට නහර ගැටගැසීම දකින්නට ලැබේ.

leg

වැඩි වේලාවක් එක තැන සිටගෙන සිටින රැකියාවල නියැළෙන අයට වෙරිකොස් වෙයින්ස් හෙවත් නහර ගැටගැසීමේ මේ තත්ත්වය ඇති විය හැකි ප්‍රතිශතය ඉහළය. එසේ වන්නේ චලනයක් සිදු නොවන විට ශිරාවල පවතින ලේ ඉහළට ගමන් කිරීමට බලයක් නොලැබෙන නිසාය. බොහෝ විට මහන්සි වී වැඩ කරන අයටත්, ඇවිදින අයටත් මේ රෝගයෙන් පීඩාවක් ඇති නොවේ. එමෙන්ම ගර්භණී අවස්ථාවේදීද මේ තත්ත්වය මතු වී පසුව යථාතත්ත්වයට පත් වීමද සිදු වේ. මෙම රෝගය සඳහා වෛද්‍ය ප‍්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප‍්‍රතිකාරද ඇත.

රෝග ලක්ෂණ :

නහර ගැටගැසුණු තැන්වල,

  • අධික වේදනාව
  • කැසීම
  • ලේ ගැලීම
  • පැහැය වෙනස් වීම
  • දද ඇති වීම
  • වළලුකර ප‍්‍රදේශයේ ඉදිමුම

ප්‍රතිකාර :

ඔබත් මේ තත්ත්වයට මුහුණ දෙන අයෙක් නම් නිදාගන්නා විට ඔබේ දෙපා දෙපා ඉහළට සිටින සේ  තබාගත යුතු අතරම එසේ තබාගෙන පතුල ඉහළට පහළට චලනය කිරීමෙන් දෙපා තුළ එක් රැස් වී ඇති රුධිරය හෘදය දෙසට ගැලීම පහසු කරවයි.

උදෑසන අවදි වූ පසු දෙපා ක්‍රේප් බැන්ඩේජයකින් පාදයේ ඇඟිලි ප‍්‍රදේශයේ සිට ආරම්භ කර දණහිස දක්වා හෝ ඉකිළි ප‍්‍රදේශය දක්වා ඔතා (පතුල ප‍්‍රදේශයේදී ක්‍රේප් බැන්ඩේජය තදින් වෙළා ඉහළට යත්ම ක‍්‍රමක‍්‍රමයෙන් බුරුල් වන සේ) ඉන් පසුව ඇඳෙන් බසින්න. එවිට ගුරුත්වාකර්ෂණයට එරෙහිව යන ශිරා රුධිරයට ගමන් කිරීමට බලයක් ඇති වී ගමනාමනය පහසු වේ.

ඔබත් නහර ගැට ගැසීමේ තත්ත්වයට පත්ව සිටිනවා නම් බර ඉසිලීමෙන් සහ උස අඩි පාවහන් පැලඳීමෙන් වැළකිය යුතුය. එකම ඉරියව්වෙන් එක දිගට සිටීම සුදුසු නොවේ. ඔබ එක දිගට සිටගෙන සිටින රැකියාවක  නියුතු අයෙක් නම් විටින් විට දෙපාවල මාංශ පේශි සංකෝචනය කිරීම වැදගත් වේ. භෞතචිකිත්සක ක‍්‍රමයක් වන විද්‍යුත් චිකිත්සක ක‍්‍රමවලින් මෙහිදී මතුවන ඉදිමුම අඩු කර ගත හැක. තවද ඇඟිලිවල සිට ඉහළට කකුල අත ගෑමෙන්ද මෙය පාලනය කර ගත හැක.

 
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here