තෛපොංගල් උත්සවය

0
9746
tahi-pongal-day

දමිල ජාතිකයන්ගේ සංස්කෘතික උත්සවයක් ලෙසින් සැලකෙන තෛපොංගල් උත්සවය සොලී ජාතිකයන්ගේ “පුතියිදුල් ” උත්සවයේ කොටසක් බවටත් අදහස් තිබෙනවා. සුර්යයා  ධනු රාශියේ සිට මකර රාශිය දක්වා ගමන් කරන නිසා මෙම උත්සවය “මකර සංක්‍රාන්තිය” යනුවෙනුත් හැදින්වෙනවා.

තමිල්නාඩු වැසියන් මෙම උත්සවය “පොංගල්” නමින් හැදින්වුවත් බෙංගාල, කේරළ, බිහාර, කර්නාටක, ඔරිස්සා, මහාරාෂ්ට සහ මනිපුර් වැසියන් මෙම උත්සවය මකර සංක්‍රාන්තිය යනුවෙන් හඳුන්වනවා. ගුජරාටි, රාජස්තාන වැසියන් තෛපොංගල් උත්සවය හදුන්වන්නේ “උත්තරායන” යන නමිනුයි. හිමාචාල් සහ පන්ජාබ් ජාතිකයන් මේ උත්සවය “ලොහ්රි” යන නමින් හදුන්වනවා. දෙමළ ජාතිකයන්ගේ කැලැන්ඩරයට අනුව “තායි” යනුවන් හදුන්වන්නේ දහවැනි මාසයයි. “පොංගල් ” යනු උත්සවයයි. මෙම උත්සවයේ අර්ථය රත්වීම සහ ඉතිරවීම යන සිදුවීම් මුල් කර ගෙන තිබෙනවා. මේ කාලයේදී සූර්යාගේ දිවා රාත්‍රි කාලය එක සමානයි. මේ කාලයේදී සූර්යයා උතුරු දිසාවට ගමන් කරන නිසා උත්තරායන කාලය යනුවෙන් හදුන්වනවා.

ශිව දෙවියන්ගේ වාහනය විදිහට සලකනු ලබන්නේ “භාසව” නැමැති ගවයෙක්. එක් දවසක් ශිව දෙවියන් මේ ගවයාට කතා කොට මේ විදිහට පනිවිඩයක් ලබා දුන්නා. “ඔබ පෘථිවි වැසියන් වෙත ගොස් මේ පනිවිඩය ලබා දෙන්න. ඒ අනුව මිනිසුන්නට තෙල් සාත්තු කිරීම, දිනපතා ස්නානය සහ මසකට වරක් ආහාර ගැනීම සිදු විය යුතුයි. ”

ඒත් ගවයාට මේ පණිවිඩය වැරදුනා ගවයාගේ වැරැදි සන්නිවේදනයට අනුව ලබා දුන් පණිවිඩය වුනේ… මසකට වරක් තෙල් සාත්තු කරන්න… ස්නානය කරන්න… කන්න…

දැන් ශිව දෙවියන්ට බොහොම කේන්තියි. දෙවියන් භාසවට සාප කලා. ඒ සාපය නිසාම භාසව පෘථිවියට මිනිසුන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්ම ශ්‍රමය සපයමින් සිටන බව එක් පුරාවෘතයක්.

තවත් අදහසක් අනුව මේ උත්සවය ශිව සහ ඉන්ද්‍ර දෙවියන් මත ගොඩ නැගී තිබෙනවා. ක්‍රිෂ්ණ දෙවියන් බාල කාලයේදී ඉන්ද්‍ර දෙවියන්ට පාඩමක් ඉගැන්වීමට සිතා ගොපල්ලන් අමතා මේ විදිහට කිව්වා. “කිසිම කෙනෙක් ඉන්ද්‍රට වන්දනා කරන්න එපා…” ඉන්ද්‍ර දෙවියන්ට මේ සිදුවීම ආරංචි වුනා. ඉන්ද්‍ර දෙවියන් දින තුනක් පුරා වලාකුලු සහ අකුණු ඉදිරියට එවන්න පටන් ගත්තා. ක්‍රිෂ්ණ දෙවියන් “ගොවර්දාන් කන්ද” ඔසවා මේ අකුණු මැඩපවත්වා ගත්තා.

තෛපොංගල් උත්සවයේ එක් එක් දවස් වෙනුවෙන් විශේෂිත උත්සව තිබෙනවා. පවුලට වෙන් වු උත්සවය බෝගි පොංගල්. සූර්ය පොංගල් උත්සවයේදී හිරු දෙවියන්ට පුද සත්කාර කරනවා. අඹ පත්‍ර වලින් සැරසිලි කරල හොදින් හිරු එළිය වැටෙන තැනකදී කිරි ඉතිරවීමට සලසනවා. එම ස්ථානය ගොම මැටි ගා පිරිසිදු කරල කොඩි වැල් එල්ලා අලංකාර කරනවා. හාල්  පිටිවලින් මෝස්තර සටහන් කරන අතර මේවා “කෝලම්” යනුවන් හැදින්වෙනවා. අලුත් මුට්ටියක කිරි උතුරවා එයට හකුරු මිශ්‍ර කර දෙවියන් පුජා කරන අතර නිවෙස්වල සහ දේවස්ථානවල කිරි උතුරවනු ලබනවා.

උත්සවයේ තුන්වැනි දිනය “මාට්ටු පොංගල්” යනුවෙන් හැදින්වෙනවා. එදාට ගවයා විශේෂිතයි. පෙරදා හවස ඉර බහින්න ආසන්න වෙලාවට ගව සහ එලුවන්ගේ ගාල් පිරිසිදු කරනවා. ගවයා නාවා , මල් මාලාවලින් සරසවා අලංකාර කරන අතර නිවසට පිට එලිමහනක අලුත් මුට්ටියක හකුරු, කිරි, සීනි, ගිතෙල්, මිදි එකතු කළ කිරි භාජනයක් ලිප තබනවා මේය උතුරන විට එතැන සිටින පිරිස “පොංගොල්, පොංගොල්” යැයි කියන අතර හක්ගෙඩිය පිඹ ආශිර්වාද කරනවා.

උත්සවයේ හතරවැනි දවසේ බතක් සහ හත්මාලුවක් පිස කපුටන් සිටින තැන් වල එය විසුරුවා හරිනවා.

තෛපොංගල් උත්සවය දමිල ජාතිකයන්ගේ උත්සවයක් ලෙසින් දරණ වැදගත්කම සමග එයින් ජනජීවිතයටත් විශේෂ පිටුවහලක් ලැබෙනවා. මේ ජන ගායනාවන් වගේම සැරසිලි නිසා ඇති වෙන සෞන්දර්යාත්මක සිතුවිලි ඉතාම අගය කළ යුතුයි. මානසික ලෙසින්ද ඔවුන් අලුත් බවට පත් වෙනවා. පවුල වගේම අසල්වැසියන් සහ ඤාතීන් අතරත් සහසම්බන්ධතාවයන් ගොඩ නැගෙනවා.

අපි කාටත් හුදෙකලාව ජීවත් වෙන්න බැහැ. ඒත් හැම දෙනාම එකම වේලාවකට එකම කාර්යය කිරීමට යම් නිමිත්තක් අවශ්‍ය වෙනවා. තෛපොංගල් උත්සව සමයේදී දමිල ජාතිකයන් අතර සහජීවනය ගොඩ නගා ගැනීමට ඉතා හොඳ පසුබිමක් නොදැනීම සකස් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here