නිවසේදිම ලාභ ලබන සාර්ථක ඇන්තූරියම් මල් වගාවක් ආරම්භ කරමුද?

0
17286

ඇන්තූරියම්….  සෑම නිවසකම ලස්සනට වවපු ඇන්තූරියම් මල් අද වෙද්දි ගෙදර ඉදන්ම ලාභ උපයන්න පුළුවන් ව්‍යාපාරයක් වෙලා.  ඇන්තූරියම් මල් වගාකරුවන්  අද වෙන කොට සාර්ථක  ලෙස මෙම ලස්සන මල් වගාව නිසා බොහොමයක් ලාභ ලබනවා. ඉතින් කාන්තාවක් ලෙස ගෙදර  ඉදගෙන ඔබටත් පුළුවන්  ඉඩ තියෙන වෙලාවට  මෙම වගාවට යොමු වෙලා ආදායමක් උපයන්න.
නිවසක සාමාන්‍ය ලෙස අලංකාරයට වගා කරන මෙම ඇන්තූරියම්  මල් විශේෂ  අවස්ථා වලදි යොදා ගන්නවා. ඉතින් ඒ වගේ විශේෂ අවස්ථා වලට ඔබටත් පුළුවන්  ඔබ වගා කරන ඇන්තූරියම් මල් එම උදවියට ලබාදී ඔබේ අතට යම් කිසි මුදලක් ලබා ගන්න.
අපනයනය සඳහා ශ්‍රී ලංකාවේ මල් වගාකරුවන් බොහොමයක් දෙනා වගා කරන මල් අතර ඇන්තූරියම් ශාකයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.
ඉතින් අද womanly.lk තුලින් මම හිතුවා ඔබටත් සාර්ථක ඇන්තූරියම් මල් වගාවක් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දෙන්න. ඔබත් උත්සහා කරන්න විනෝදාංශයක් විදියට මල් වවන කාන්තා ඔබට මේ තුලින් තමන්ගෙම කියලා ස්වයං ව්‍යාපාර අවස්ථාවක් උදා කර ගන්න.

ඇන්තූරියම් වර්ග

ඇන්තූරියම් කිව්වම අනිත් මල් වර්ග ශාක වර්ග වගේම ඇන්තූරියම් වලත් එක එක ප්‍රභේද තියෙනවා. ඒ අතර,
ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් සුදු වර්ගය.
මෙහි ඇන්තූරියම් මල සුදු වර්ණයෙන් යුත් අතර පත්‍රය තරමක් දිගින් යුත්තයි. බොහෝ විට අවමංගල අවස්ථා, විවාහා සම්භාෂණ , ආයතනික උත්සව සඳහා මෙම  සුදු ඇන්තූරියම් මල් වර්ගය යොදා ගන්නවා.

රතු ඇන්තූරියම් 

මෙහිදි කියන්න ඕන රතු ඇන්තූරියම් කිව්වම නම් රතු ඇන්තූරියම් අතරත් වර්ග තියෙනවා  රතු පාට පොඩි ඇන්තූරියම් මල් හා ලොකු ඇන්තූරියම් මල් හට ගන්න ඇන්තූරියම් ශාක අතුරින්  රතු පොඩි ඇන්තූරියම් මල් හට ගන්නා මිටි ඇන්තූරියම් ප්‍රභේදය තමයි ඉතා වටින්නෙ. සාමාන්‍යයෙන් වෙළඳපොළෙත් මෙම  රතු  වර්ණ මල් හට ගන්නා මිටි ඇන්තූරියම්  ශාකයක්  රුපියල්  350ත්  400ත් වගේ මිලට අලෙවි වන අතර එම එක් මලක් රුපියල්  15ක වගේ මිලක් වෙනවා.

ඇන්තූරියම් කොත්මලේ වර්ගය

මෙම ඇන්තූරියම් මල් වර්ගය ලා රතු පාට  රැළි සහිත තරමක් ලොකු මල් වර්ගයක්.  මල් කළඹක් එහෙම හදන්න, උත්සව අවස්ථා වලට එහෙම වැඩිපුර යොදා ගන්නවා.

ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් තැඹිලි වර්ගය

මෙහි මල්  ලා තැඹිලි පාට වර්ණයෙන් යුත් අතර සාමාන්‍යයෙන්  මිලෙන්ද ඉතා අධික ඇන්තූරියම් වර්ගයක්.

රෝස හා දම් ඇන්තූරියම් 

ඇන්තූරියම් අතර රෝස පාටින් යුත් ඇන්තූරියම් මල් වගේම දම් පාටින් යුත් ඇන්තූරියම් මල් වර්ගද තිබෙනවා.  දම් පාට ඇන්තූරියම් මල් වර්ගය නම් මිලෙන් අධිකයි වගේම  තරමක් දුර්ලභයි. නුවර එළිය, බදුල්ල, මහනුවර වගේ  ප්‍රදේශ වල නම් මේ දම්පාට ඇන්තූරියම් මල් වලට හොද ඉල්ලුමක් තියෙනවා.

ඉතින් මම මේ සඳහන් කලේ   ඇන්තූරියම් වර්ග අතුරින් කිහිපයක් පමණයි. ලංකාවෙ නම් ඇන්තූරියම් වර්ග 20කට  වගේ අධික ප්‍රමාණයක් තිබෙනවා.
තෙත් සහිත දේශගුණය මෙම ඇන්තූරියම් මල් වගාවට ඉතා යෝග්‍යයයි.  ඇන්තූරියම් මල් වගාවකට නිතරම  සත්කාර නොකලත් දවසට දෙවතාවක් වත් වතුර එකතු කරන්න ඕන.

වගා කරන ආකාරය

ඇන්තූරියම් මල් වගාවට දේශගුණික අවශ්‍යතා ඇති  ස්ථානයක් තෝරා ගත යුතුයි.  හොදින් පොළව කොටා  පාත්තියක් සකස් කර  මුලින්   කොහු බත්, රතු ගඩොල් කැට  කැබලි, පොල් කොහු වගේ දේවල් එම පසට එක් කරන්න.  එක් කර සාදා ගත් පාත්තියට ඇන්තූරියම්  පැළ ඉඳුවා එම ඇන්තූරියම් ශාකය වටේට පොල් ලෙලි අතුරන්න.  මෙහිදි  වියළි ගොම, කිරිදීසියා ශාක අතු, අඟුරු  කැබලි  දිරා පත් වන කොළ රොඩු වගේ ඒවා එම පාත්තියට එක් කරන්න.  මතක තියා ගන්න ඔයා පාත්තියක හරි     මල්  පෝච්චි වල හරි ඇන්තූරියම් පැළ ඉන්දුවත්  සෙවණ තියෙන තැනක් වෙන්න ඕන. මොකද ඇන්තූරියම් මල් වගාවට  තෙතමනය වගේම සෙවනත් ඉතා වැදගත්. ඒ වගේම දිනකට දෙපාරක් වත් ඇන්තූරියම් පැල වලට වතුර දාන්න.

ඇන්තූරියම් මල් පැල හොදින් රෝපණය කර මාස ගානක් යන විට එම පැළ තුලින් අලුත් පැළ මුහුකුරනවා. ඉතින් ඔබට පුළුවන් එකම පදුරෙ තියෙන අලුත් ඇන්තූරියම්  කුරුල්ලන් අරගෙන වෙනම තව තැනකින් හිදුවා ඔබේ ඇන්තූරියම් මල් වගාව ටික ටික ව්‍යාප්ත කර ගන්න.
ඇන්තූරියම් මල් කපන්න හොද කතුරක් තියා ගන්න. හැමෝටම ඇන්තූරියම් මල් කපන්නත් ඉඩ තියන්න එපා…

ඉතින් එහෙනම් ඔබත් ගෙදරට වෙලා ඉන්න ගෘහණියක් නම් විනෝදාංශයක් ලෙස මල් වවනවා නම් සාර්ථක ලෙස ආදායම් උපයන්න පුළුවන් ඇන්තූරියම් මල් වගාවක් ආරම්භ කරලා ඔබේ අතමිටත් සරු කරගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here