ජාත්‍යන්තර කාන්තා දිනයේදී පමණක් කතා බහ කරන කාන්තා දිනය

හැම වසරකම මාර්තු අට වැනි දින කාන්තාවගේ අභිමානය සහ වටිනාකම ගැන ජාත්‍යන්තරයේම කතා බහ ගොඩ නැගුනත් ඇය මුල් කර ගෙන වූ වටිනාකම් එතැනින් අවසානයි. එයින් අනතුරුව කාන්තාව පැරණි සංකල්පයේම පිහිටුවා ගෙන කතිකාවත් ගොඩ නැගෙනවා විනා මාර්තු අට වැනි දින ඇයට ලබා දුන් ආලෝකය එතැනින් නවතා තබන්නේ තවත් ජාත්‍යන්තර දිනයක් ඉදිරි වසරේත් එළැඹෙන නිසා විය හැකියි. ඇත්තටම මාර්තු අට වැනිදා කතා බහ කරන මේ වටිනාකම් සාමාන්‍ය ජීවිතයේදී ඇය මුල් කර ගෙන ගොඩ නැගෙනවාද….

කට ඇති පුතා සහ රුව ඇති දියණිය පවුලකට වාසනාව කිව්වත් දෙවැනි තුන්වැනි ලෙසින් ගැහැණු දරුවන් පවුලට එක්වීම ගැන නම් අපේ රටේ වුනත් මනාපයක් නැහැ. මුලින් ගැහැණු දරුවෙක් උපත ලැබුවාම ඇගෙන් පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා ගන්න පුළුවන්. පිරිමි දරුවෙක් නොමැති වුනොත් ඒ පවුලට සමාජයේ එතරම් පිලිගැනීමක් නැහැ. ”ඇත්තු වගේ පුත්තු “යන සංකල්පයේ පිහිටා කටයුතු කරන අපේ ජනසමාජය පිරිමි දරුවන් වෙනුවෙන් තබන ලද තක්සේරුව මේ ජනකවි වලින් වුනත් පේනවා.

ගමේ සිටන් පේවි පේවි තිසාවැවට එන්නයි

තිසා වැවේ රත් නෙළුමේ බත් දාගෙන කන්ඩයි

එතැන සිටන් පේවි පේවි උඩමලුවට යන්නයි

උඩමලුවේ බෝදි සාමි පිරිමි පුතෙක් දෙන්නයි.

 

කතරගමට නවයක් පඩුරු ලඤ්ඤයි

වැඩිහිටි කන්දේ සතරක් පඬුරු ලඤ්ඤයි

රන්කොත වහන්නට තිර රෙද්ද දෙඤ්ඤයි

පුතෙකු දෙතොත් එන පෙරහැරට එඤ්ඤයි

 

ගැහැණු දරුවා අපිරිසිදුයිද…?

ගැහැණු දරුවන් අපිරිසිදු ලෙස සලකන්නේ මල්වර වීම මුල් කර ගෙනය. ඔසප්චක්‍රයේ ආරම්භ වීම වෛද්‍ය විද්‍යාත්මකව මල්වර වීමේ සංසිද්ධියයි. කාන්තා ලිංගික හෝර්මෝන චක්‍රයේ පටන්ගැන්ම මෙයින් අනතුරුව සිදු වෙනවා. කිල්ල ලෙසින් මේ තත්වය හඳුන්වා ඇති අතර මාස තුනක කාලයක් ගැහැණුට දරුවා කිසිදු සුබ කටයුත්තක් වෙනුවෙන් සම්බන්ධ වීමට අවසරය දෙන්නේ නැහැ.

විවාහය සහ ගැහැණු  දරුවා

සමාජයේ පැවැත්මට නම් ගැහැණු සහ පිරිමි එක්වීම සමග පවුලක් ගොඩ නැගීම අවශ්‍යයි. එයින් පසුව දරුවන් බිහි කිරීම සිද්ධ වෙනවා. මේ නිසා විවාහය මුල් කර ගෙන කාන්තාව වෙනුවෙන් සමාජයේ ප්‍රතිචාර ඇය අසරණ කරනවා.කාන්තාව අගයන්නේ ධෛර්ය, ආදරය, විශ්වාසය මත නොව ඇගේ ආර්ථික තත්වය පදනම් කර ගෙනයි. රූමත් බවටත් වඩා දෑවැද්ද ඉස්මතු වෙන අවස්ථා තිබෙනවා. අද දෑවැද්දට වඩා රැකියාවක් ඇත්තේ නම් හොඳයි යන අදහස ගොඩ නැගී තිබෙනවා.එලිපිට කතා නොකලත් බොහෝ අය කියන්නේ රස්සාවක් තියෙනවා නම් හොඳයි ….විදිහටයි. මෙය එක් අතකින් උගුරට හොරා බේත් කෑමක් කිව්වත් වරදක් නැහැ.

විවාහය සහ ප්‍රථම සංසර්ගය

කාන්තාවගේ චරිතයේ පිරිසිදුබව මනින්නේ ඇය ප්‍රථම වතාවට පිරිමියෙකු සමග සම්බන්ධ වුවාය යන සහතිකය සමගයි. එදින ගලන රුධිරය මගින් ඒ සහතිකය ලැබෙනවා. මේ නිසා බාල කාලයේ පටන්ම ඇයට දෙන අවවාදය ලැජ්ජා බය ඇතුව හැදෙන්නයි. කන්‍යා පටලය බි‍ඳීමට නම් පිරිමි පරාණයකගේ දායකත්වය අවශ්‍ය වුනත් ඒ ගැන සමාජය කතා කරන්නේ නැහැ. කියමනටත් කියන්නේ කොල්ලෝ බල්ලෝ වගෙයි. කකුල් හෝදලා ගෙට ගන්න පුළුවන් කියලයි.

පිරිමියාගේ පිරිසුදු බව මනින මංගල සිරිත් නැහැ.මනාලියගේ පිරිසිදු බව ඔප්පු නොවුනොත් මහ ආන්දෝලනයක්. පැරණි සිරිතට අනුව මනාල යුවල සැතැපෙන යහනේ එලන සුදු ඇතිරිල්ල ප්‍රථම සංසර්ගයෙන් වැගිරෙන රුධිරය තිබිය යුතුයි. චරිත සහතිකය බලන්න නෑදෑයින් එක් වෙනවා. බැරිවෙලාවත් මේ ලේ පැල්ලම නැති වුනොත් රබන් ගැසීම නැවතිලා මගුල් මේසය අවමගුල් මේසයක් බවට පත් වෙනවා.”දෙවැනි ගමන “චිත්‍රපටයේ රූපරාමු මතක නම් මේ සිද්ධියේ අවාසානවන්ත බව ඔබටත් වටහා ගත හැකියි.

වෛද්‍ය විද්‍යාත්මකව කන්‍යා පටලය බිඳී රුධිරය පිට නොවන්නට හේතු තිබෙනවා. සමහර විට ඉතා තුනීව පිහිටා තිබුනත් රුධිරය පිට නොවන අවස්ථා තිබෙනවා.ලිංගික එක්වීමක් නොවුනත් කන්‍යා පටලය බි‍‍ඳී යන අවස්ථා තිබෙනවා. ඔසප් චක්‍රයේදී භාවිතා කරන ” ටැම්පූන් ” (සනීපාරක්ෂක තුවා වෙනුවෙන් ආදේශක )යෝනි මාර්ගයට ඇතුලත් කිරීමේදිත් කන්‍යා පටලයට හානි සිද්ධ වෙනවා. ස්වයංවින්දනයත් මේ අන්දමට හානි වෙන තවත් අවස්ථාවක්. කන්‍යා පටලය බිඳුනත් ඒ වෙනුවෙන් දැන් වෛද්‍ය තාක්ෂනයන් තිබෙනවා.

දරුවන් ලැබීම

මනාලියක් ලෙසට නිවසට පැමිණි කාන්තාව මාස දෙක තුනක් ගෙවෙත්ම ගැබ් නොගත්තොත් කතා බහ ගොඩ නැගෙන්නේ වෙනත් අයගෙන්. තවම දෙන්නා…මොකද…ඇයි දන්නේ නැහැ නේද…ප්‍රශ්න රැසයි. රටේ අවශ්‍යතාවයට නම් පැදුර පෑගෙන විටම දරුවන් පිලිසිඳ ගන්න වෙනවා. පමාවට හේතු කිසිම දවසක පිරිමියාගෙන් අහන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව නම් දරුවන් පිලිසිඳ නොගන්නා හේතු බිරිඳට වගේම ස්වාමිපුරුෂයාටත් පොදුයි. පුරුෂ ශුක්‍රාණු ගිණුමේ සක්‍රීය ප්‍රතිශතය, වෘෂණ කෝෂ පිහිටීම, හෝර්මෝන අසාමාන්‍යතාවයන්, නහර ගැට ගැසීම, උණුසුම් සහ හිර යට ඇඳුම්, හර්නියා වැනි රෝග සහ ඇතැම් ශල්‍ය කර්ම නිසාත් පිරිමින්ගේ සරු බව හෙවත් දරුවන් ලැබීමේ හැකියාව පිළිබඳව ගැටළු ඇති වීමට හේතු වෙනවා.

දරුවන් හදා වඩා ගැනීම

අපේ ජනවහරේ අම්මත් අහස වගේ යැයි කියමනක් ඇත. අහසටත් කිසිම හොඳක් නැත. වැස්සත් වැරැදිය. පෑව්වත් වැරැදිය. අම්මාද ඒ අන්දමේ චරිතයකි. දරුවන් නොමග ගිය තැනදී දොස් නගන්නේ අම්මාටය. අම්මෙක් වුනොත් දරුවෝ බිහි කරන්න විතරක් නොවෙයි, හදන්නත් දැනගන්න ඕන. පාර තොට වුනත් වැරැදි හැසිරීමක් සහිත දරැවන් පමණක් නොව වැඩිහිටියන්ට පවා දොස් නගන්නේ අම්මා මුල් කර ගෙනය. දරුවන් බිහිකිරීමේ යාන්ත්‍රනයේ සිටින්නේ අම්මා පමණක් නොවේ.තාත්තාද ඇත. එහෙත් කිසිවෙකුදු තාත්තාට දොස් නගන්නේ නැත. ඔහුද දරුවන්ගේ මග නොමග යෑම වෙනුවෙන් වගකිව යුතු චරිතයකි.

විවාහ සංස්ථාව පවා කතා කරන්නේ කාන්තාව මුල් කර ගෙනය. අනේක වධ වේදනාවන් ඇය මහමේරු පර්වතය සේ දරා ගත යුතුය. කුලගෙය කඩා ඉහිරිවා ගැනීම ඇගේ වගකීමයි. ඇතැම් අවස්ථාවලදි දරා ගැනීමේ සීමාව ඉක්ම ගිය විට කාන්තාව යම් තීරණයකට එලැඹෙනු ඇත. එවිටත් දොස් නැගෙන්නේ පවුල රැක ගෙන්න ඉන්න ගෑණි වුනාම දැනගන්න ඕන ලෙසය.

පවුල කඩා ඉහිරුවා‍ගෙන ගොස් වෙනත් කැදැල්ලක ලගින පිරිමින් ඕනෑ තරම් ඇත. ඒ වෙනුවෙන් කතා බහ ඉතා සීමිතය. එවිටත් දොස් නගන්නේ ඔය ගෑණි එක්ක ඉන්න බැරුව ඇති ලෙසටයි…ඒ කතා බහම කාන්තාව වෙනුවෙන් එල්ල වෙන්නේ පවුලක් කඩා ගෙන යන්න ඉස්සර හිතන්න ඕන නේද විදිහටයි. හැම අතින්ම පිරිමියා නිදොස්ය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here