උඩරට මුල් ඇඳුමට මොඩර්න් කැන්ඩියන් ගැලපෙනවද ?

0
6713
Srilanka-wedding

එදා අප උඩරට මනාලියන් ලෙසින් දුටුවේ උඩරට සම්ප්‍රදායට අනුකූලව සැරසීගත් චාම් විලාසිතාවන්ගෙන් හෙබි උඩරට මනාලියයි. නමුත් අද උඩරට මනාලිය ලෙස හැඩවෙන යුවතියන් නවීන විලාසිතාවන්ට අනුව තම මංගල සාරිය ආභරණ ආදිය තෝරාගන්නට පෙළඹී ඇති බවක් බොහෝ විට දක්නට පුළුවන්.

මේ අතරින් උඩරට ක්‍රමයට සැරසෙන ඇතැම් මනාලියන් සාම්ප්‍රදායානුකූලව එයට ආවේණික වූ ඔසරියෙන් සහ ආභරණ කට්ටලයෙන් සැරසුණ ද ඇතැම් මනාලියන් සාම්ප්‍රදායික ඔසරිය වෙනුවට මොඩර්න් කැන්ඩියන් එක තෝරාගෙන තිබෙන බවත් බොහෝවිට දැකිය හැකියි.මෙය ඔවුන් විලාසිතාවන් කෙරෙහි දක්වන නැඹුරුතාවය හා කැමැත්ත මත තීරණය වන දෙයක්.

මෙය වැරැද්දක් ලෙස දැකිය නොහැකි නමුත් මෙහිදී නොදැනුවත්කම මත මෙම මනාලියන් කරනු ලබන මහත්වූ වැරැද්දක් නම් මොඩර්න් කැන්ඩියන් එකකින් සැරසී සිටින මනාලිය සමඟ මනාලයා සාම්ප්‍රදායානුකූල මුල් ඇඳුමෙන් සැරසී සිටීමයි. රූපලාවණ්‍ය නාලිකාවක හෝ එසේත් නැතිනම් කිසියම් සඟරාවක් සඳහා නිරූපිකාවක් එවැන්නක් නිරූපණයකර තිබූ පමණින් මෙහිදී එකිනෙකට පටහැනි ලෙස මනාල යුවල සැරසීමෙන් සිදුවන්නේ මෙහි ඇති සාම්ප්‍රදායානුකූල බව බිඳීයාමයි.

විශේෂයෙන්ම මනාලියක් වන ඔබ තෝරාගනු ලබන්නේ ඔසරිය නම් ඔබ මෙහිදී ඉතාමත් කල්පනාකාරී ලෙස කටයුතු කිරීම ඉතාමත් වැදගත්.ඔබේ කැමැත්ත මංගල දිනය සඳහා මොඩර්න් කැන්ඩියන් එකක් තෝරාන්නට නම් කිසිම අවස්ථාවක මනාලයා සඳහා උඩරට මුල් ඇඳුම තෝරා නොගැනීමට වගබලාගන්න.ඒ වෙනුවට මනාලයාට කලිසම සහ කෝට් එක සහිත ඇඳුම් කට්ටලයෙන් සැරසිය හැකියි.

උඩරට මුල් ඇඳුම හා කිසිවිටෙකත් මොඩර්න් කැන්ඩියන් එකක් නොගැළපෙයි.බොහෝ විට මෙහිදී ඇතැම් ආධුනික රූපලාවණ්‍ය ශිල්පීන්, ශිල්පිනියන් ඔවුන්ගේ නොදැනුවත්කම මත එය අනුමතකර මනාල යුවලගේ අනුවණකමත්, හැඩගැන්වූ ශිල්පීන්ගේ නොදැනුවත්කමත් මනාව පැහැදිලි වීමෙන් එය අන්අයගේ විවේචනයට උපහාසයට ලක්වන කරුණක් වීමට බොහෝවිට ඉඩ තිබෙයි.

පෝරුවේ චාරිත්‍රයේ දී

පොරුවේ චාරිත්‍ර සිදුකිරීමේ දී උඩරට මුල් ඇඳුමත් සාම්ප්‍රදායානුකූල ඔසරියත් ඉතාමත් හොඳින් ගැළපෙන අතර එහි ගෞරවාන්විත බව හා ආශිර්වාදාත්මක බව මැනවින් ප්‍රකට කෙරෙයි.

සමහර ප්‍රදේශවවල මෙම මුල් ඇඳුම ඇඳීමේ දී මනාලයා සති ගණනාවක් නිර්මාංශ වී සිටීමත් අවසාන දිනයේ දී විහාරස්ථානයට ගොස් පිරිත් නූල් බැඳ උදෑසන පන්සිල් ගෙන මුල් ඇඳුම අඳිනු ලබන අගර එය ඉවත් කරන තුරු නිර්මාංශ වී සිටියි.

එමෙන්ම පෝරුවට නැඟීමේ දී පාවහන් පැලඳීම නොකරයි. පෝරුව මත ඇති ද්‍රව්‍ය පයට ස්පර්ශ වීම සඳහා මෙසේ සිදු කෙරෙන අතර ඉන් මනාව පැහැදිලි වන්නේ මුල් ඇඳුමේ ඇති ගෞරවයයි.

පැරැණි මතයන්

මේ හා සම්බන්ධව තවදුරටත් විමසා බැලීමේ දී පවත්නා පැරැණි මතයක් නම් මෙම මුල් ඇඳුම දැඩිමුණ්ඩ දෙවියන්ට අයත් ඇඳුම සහ ආභරණ කට්ටලය බවයි. මෙය විකෘති කිරීම හෝ එයට අගෞරවයක් වන ලෙස කටයුතු කිරීම තුළින් ඉන් අවැඩක් සිදුවිය හැකිබවත් අහිතකර බලපෑම් ගෙනදිය හැකි බවටත් විශ්වාසයක් පවතියි.

නිවැරැදි ආභරණ කට්ටලය

නිවැරැදි උඩරට ආභරණ කට්ටලය සඳහා මාල දහයක් අඩංගු වන අතර පදක්කම් පහක් පෙතිමාල එකක්, අගස්ති මාලයක්, කර මාලය, ගෙඩි මාලය සහ මකර මාලය මෙයට අයත්වෙයි. විශේෂයෙන් මකර මාලය තුළින් සියලු වස්දොස් දුරුකරලීම කරනු ලබයි.

අත් සැරසීම සඳහා බණ්ඩි වළලු, සැලි වළලු සහ අතැඟිලි පැලඳීම් කරනු ලබන අතර එහි හැඩය මනාව පවත්වා ගැනීමට ඉණ හවඩියක් භාවතකරයි. කන් සැරසීමට කඩුක්කන් භාවිතකරයි. මෙහිදී විශේෂ කොටසවන්නේ නළල් පටිය සහ ඉර , හඳයි. මේ අතරින් …. තැල්ල වඩාත් විශේෂ වන අතර ඉන් අදහස් වන්නේ දෙදෙනකු දෙපැත්තකින් පැමිණ මැදින් එක්වීමයි. ඉර හඳ පැලඳීමෙන් කියැවෙන්නේ ඉර හඳ පවතින තුරු විවාහය පැවැතීමයි. මනාලියට නළල් පටිය පැලැඳවීමේදී පිරිත් කියන අතර මව විසින් මනාලියගේ නළල් තැල්ල පලඳවනු ලබයි.

මෙම ආභරණ කට්ටලය ක්‍රමානුකූලව පැලඳීම කළයුතුවෙයි. මෙය පත්තිනි මෑණියන්ට අයත් ආභරණ කට්ටලයක් ලෙස ද පවතින පැරැණි මතයකි. කෙචිචගම යන ආභරණය මනාලියට ආරක්ෂාවක් ලෙස පැලඳවන්නකි. මෙම ආභරණ උඩරට මනාලියට විශේෂ වූවත් මොඩර්න් කැන්ඩියන් එකකින් සැරසෙන මනාලිය සම්පූර්ණ ලෙස මෙම උඩරට මාල කට්ටලයක් පැලඳීමක් නොකරයි.

අප සම්ප්‍රදායක උඩරට මනාලියට තෝරාගත් මංගල සාරිය ගැන විමසා බැලුවහොත් එදා මනාලියට තෝරා ගන්නට යෙදුණේ රන්වන් පැහැයකි. අතීතයේ දී මෙය භාවිත වුණේ රන්සළු ඇඳීම ලෙඩයි. මනාලියගේ මුල් ඇඳුම ද රන් පැහැය හෝ මෙරුන් වර්ණය සමඟ රන් පැහැය මිශ්‍රවීම තුළින් මනාව ගළපා ගැණුනි.මොඩර්න් කැන්ඩියන් යනු දිග ස්කර්ට් එකක හැඩයට හෝ බටහිර පන්නයට අනුව සකස් කරන ලද විලාසිතාවකි.

මෙම මනාලියගේ කොණ්ඩ මෝස්තරය ද නවතම විලාසිතාවකට අනුව පි‍්‍රන්ච් එකක් ලෙස යොදන අතර තනි තැල්ලක් තැල්ලක් හෝ ඉන්දියානු විලාසිතාවට අනුව එක් මාලයක් භාවිතකරයි.

මෙයින් දන්වන්නේ ඉතාමත් සංකර වූ පෙනුමකි. පෝරුවේ චාරිත්‍රවලින් තොරව යෙදෙන උත්සව අවස්ථා සඳහා හෝ දෙවෙනි ගමනට මෙවැනි විලාසිතා යොදාගත හැකි අතර එවිට මනාලයාට සම්ප්‍රදායානුකූල මුල් ඇඳුම වෙනුවට බටහිර පන්නයට කලිසම් කෝට් ඇඳුම් කට්ටලයෙන් සැරසිය හැකියි.

අප මෙතෙක් පැහැදිලි කළ කරුණු අනුව ඔබගේ අවධානයට යොමුවිය යුතු වැදගත්ම දේ වන්නේ මොඩර්න් කැන්ඩියන් එකක් සමඟ සාම්ප්‍රදායානුකූල මුල් ඇඳුම මනාලයාගේ මංගල ඇඳුම ලෙස යොදාගැන්ම අනුමත කළ නොහැකි දෙයක් බවකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here