පැතලි අඩි සහිත පාවහන් හා උස අඩි පාවහන් පැළදීමෙන් ඔබට ඇති වන තත්වයන්

high-heels-shoes-woman

විලාසිතා… විලාසිතා… කාන්තා පක්ෂය වැඩියෙන්ම කැමැති විලාසිතාවලට. එකම පාටින් ඇඳුම, සපත්තු, අත් බෑගය, කොණ්ඩ කටුව, මාලය, කරාබු දෙක ඒ වගේ සැරසෙන්න වැඩියෙන්ම ආසා කරන්නේ තරුණ ගෑනු ළමයි. විලාසිතා කිරීමේදී මේ අතරින් වැඩිම හානියක් කරන්නේ ඔබ තෝරා ගන්නා සපත්තු යුගලයි. මොහොතක් සිතා බලන්න. ඔබේ යෙහෙළියන් කාර්යාලයට, උපකාරක පන්තියට යද්දී පාවිච්චි කරන සපත්තු මෝස්තර මොන තරම්ද කියලා. සමහර අය අඟල් 2 – 3 ක් උස සිහින් අඩි සහිත සපත්තු දමනවා. තවත් කෙනෙක් ප්ලැට් අඩිය සහිත සපත්තු පලඳින අතර තවත් කෙනකුගේ තෝරා ගැනීම වන්නේ වෙජ් හීල් ආකාරයේ සපත්තු. මෙසේ විවිධ ආකාරයේ උස අඩි සහිත පාවහන් තෝරා ගැනීමට ඔවුන්ට යම් හේතුවක් තියෙන්න පුළුවන්.

පාසල් වයසේ යෞවනියන් තමාගේ වයසට ශරීරයට නොගැළපුණත් මෙවැනි උස අඩි සහිත පාවහන් තෝරා ගන්නේ එහි ඇති ආකර්ෂණීය පෙනුමට හෝ තවත් අයෙක් පැලඳ සිටිනු දැකීමෙන් හෝ වෙන අය අනුකරණයට ඇති ආසාවෙන් විය හැකියි. මොන අන්දමින් හෝ වේවා අපි පලඳින පාවහන් හිරිහැරකාරී අන්දමින් අපේ ශරීරයට බලපෑම් ඇතිකරනවා නම් මොන අන්දමේ හේතුවක් නිසාවත් ඒවා තෝරා නොගෙන භාවිතයෙන් ඉවත් කළ යුතුයි.

අධික උස අඩි සපත්තු භාවිතයේ අවාසි

අද දවසේ හැම කාන්තාවක්ම වගේ ගතකරන්නේ අධිවේගී ජීවිතයක්. ඔවුන් හරිම කාර්යබහුලයි. ගමන බිමන වේගවත්. ඔවුන්ගේ සීග්‍රගාමී ගමනට උස අඩි සහිත පාවහන් මඟින් සිදුකරන්නේ අවහිරයක්. පාසලට, රැකියා ස්ථානයට, බස් නැවතුම්පොළට දුම්රිය පොළට වේගයෙන් දුවද්දී යන්තමින් හෝ කකුල පැටළුණොත් සිදුවන හානිය බරපතළයි. ඇතැම් විට සති කිහිපයක් හෝ මාස කිහිපයක් රෝහලේ නවතින්නට තරම් හානියක් වෙන්නටත් පුළුවනි.

එයට අමතරව දීර්ඝකාලීනව මෙවැනි පාවහන් පැලඳිම නිසා ශාරීරික වශයෙන් සිදුවන හානියත් සුළුපටු නැහැ. අසමතුලිත ලෙස කකුලට දැනෙන ශරීර බර කෙළින්ම බලපෑම් කරන්නේ කොඳුඇට පෙළටයි. මේ ආකාරයට දවසින් දවස සිදුකරන හානියේ බලපෑම නිසා පසුකාලීනව කොඳු ඇට පෙළේ ආබාධ, උකුල් සන්ධියේ ආබාධ, පාදවල මස්පිඬු ආශ්‍රිත වේදනා, දණහිස් ආබාධ, ඇඟිලිවල වේදනා ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා.එමෙන්ම උස් අඩි පාවහන් නිසා ශරීරයේ ඇතිවන අසමතුලිතතාව කශේරුකාවලට කරන බලපෑම නිසා කශේරුකා දෙකක් අතර තිබෙන කශේරුකා බිම්බ නම් ව්‍යූහයටත් බලපෑම් ඇතිකරනවා.

මේවා පිහිටා තිබෙන්නේ කශේරුකාවලට ඇතිවන ගැස්සීම් පාලනය කිරීමටයි. කශේරුකා බිම්බ කෙරෙහි වන බලපෑම දීර්ඝකාලීනව සිදුවීම හේතුවෙන් මේවා ක්‍රමයෙන් තුනී වීම නිසා ස්නායු තෙරපීම සිදුවීමෙන් පසුකාලීනව ස්නායු ආබාධ ඇතිවෙන්නටත් පුළුවනි. තවද මෙම අසමතුලිතතාව කකුලේ ඇඟිලි හා පතුල කෙරෙහි සිදුකරන බලපෑම නිසා එම ස්ථානවල වේදනා හා ආබාධ ඇතිවිය හැකියි. එමෙන්ම ඉක්මනින් ඇවිදීම නිසා කකුල පෙරළීම, උළුක්කුවීම සිදුවිය හැකියි. කොර ගසමින් ඇවිදීම හේතුවෙන් කකුලේ පිටුපස මාංස පේශිවල වේදනා ඇතිවේ.පසුකාලීනව ඇතිවෙන තවත් අනිසි ප්‍රතිඵලයක් නම් ගර්භණී කාන්තාවක් වූ පසුව ප්‍රසවයේදී අවදානමක් ඇතිවීමයි.

උසින් අඩු අඩි සහිත පාවහන්

මෙවැනි පාවහන් ලොකු, පොඩි කිසිවකුට අතුරු ආබාධයක් ඇති නොකරයි. මේවා පැලඳීමේ දී ශරීරයේ බර සමතුලිත ලෙස පාද කරා බෙදා හරියි. කොන්දට හෝ කශේරුකා කෙරෙහි බලපෑම් ඇති නොකරයි. තවද පැතැලි අඩි සහිත පාවහන් පැලඳ ඇවිදීමේදී යටිපතුලේ ඇති නිල ස්ථාන හොඳින් සම්බාහනය වෙයි. මෙම නිල ස්ථාන තෙරපීම අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කෙරෙහි ඇති කරන උත්තේජනය මඟින් ඒවා හොඳින් ක්‍රියාත්මක වෙයි. එය දෛනික ජීවිතය සැහැල්ලු ලෙස ගතකිරීමට උපකාරී වෙයි.

මෙයට අමතරව සපත්තුවේ අඩිය උස්වී ඇති ආකාරයටම ඉදිරිපස ද උස්ව සැකසී ඇති අඩියක් සහිත (වෙජ් හීල්) පාවහන් භාවිතය ද ශරීරයට එතරම් අපහසුතා ඇති නොකරයි. මේවායේ අඩිය උස් වුවත් සැහැල්ලු නිසාත් පොළවට සමාන්තරව අඩිය තැබිය හැකි නිසාත් එය භාවිතයෙන් අපහසුතාවක් හෝ දැඩි හානියක් සිදු නොවේ. නමුත් මෙවැනි පාවහන් වුවත් දීර්ඝකාලීනව භාවිතය සුදුසු නැත. ඒ නිසා අධිවේගී ජීවිත ගතකරන අය වගේම කුඩා වයසේ පසුවෙන ළමයිනුත් දුවන්න පනින්න වේගයෙන් වැඩ කටයුතු කරන්න නම් උස අඩු අඩි සහිත පාවහන් භාවිතයට හුරුවීම අවශ්‍යමයි.

අධික උස අඩි සහිත පාවහන් පැලඳීමෙන් වයස් ගතවීමත් සමඟ ඇතිවෙන කොන්දේ අමාරු, දණහිස් ආබාධ, තුනටියේ අමාරු, කොන්ද කුදුවීම, ඇවිදීමේ අපහසුතා ආදිය අත්විඳින්නට අකැමැති නම් කුඩා අවධියේ සිටම උස් අඩි පාවහන් භාවිතයෙන් වැළකී උසින් අඩු අඩි සහිත පාවහන් භාවිතයට හුරුවෙන්න. මේ මඟින් ලැබෙන ප්‍රතිලාභ දීර්ඝකාලීනයි. මෙවිට වේගයෙන් ඇවිදින්නට, කඩිසරව ඇවිදින්නට, කාර්යක්ෂමව කටයුතු කරන්නට හැකියි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here