මංගල දිනයේදි මනමාලියට ගැලපෙන ලෙස දෙවෙනි මනාලිය හැඩගස්වා ගනිමු

0
7292
bridesmaid

ගැහැනු දරුවන් යමක් කමක් තේරෙන කුඩා කාලයේ සිටම හීන මවන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. සුදුසු සහකරුවකු තෝරාගත් දා පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ විය යුතුදැයි සැලසුම්කරන්නට පටන් ගනී. මංගල උත්සවයකදී වැඩිපුරම අවධානය යොමුවන්නේ මනාලියටයි. ඒත් එහෙම කියලා අනෙක් පිරිවර, නැතිනම් මනාලයා, දෙවැනි මනාලියන්, දෙවැනි මනාලයන්, මල් කුමාර කුමාරියන් ගැනත් අවධානය යොමු නොවෙනවා කියන්නට බැහැ.

මීට වසර කිහිපයකට පෙර නම් දෙවැනි මනාල මනාලියන් වැඩි පිරිසක් මංගල උත්සවයකදි දක්නට ලැබුණේ නෑ. බොහෝ විට එක් අයකු එසේත් නැතිනම් කිසිවෙකුත් නොමැති විවාහ උත්සව තමයි ඒ කාලේ තිබුණේ. නමුත් අද වන විට අවම වශයෙන් දෙවැනි මනාල මනාලියන් තුන්දෙනා බැගින්වත් පිරිසට ඇතුළු කරගැනීමට තරුණ තරුණියන් පෙලඹී සිටිනවා. ඒ නිසා මංගල දිනයේදී ඔවුන් සිටිය යුත්තේ කෙසේද, ඇඳිය යුතු ඇඳුම් පැලඳුම් මොනවාද යන්න ආදිය පිළිබඳ අවධානය යොමු කිරීම අනිවාර්යයි.

මනාලියගේ මංගල සාරි, ආභරණ, කොණ්ඩා මෝස්තර, මල් කලඹ, හැඩගැන්වීම් ආදියට මෙන්ම හැඩගැන්වීම්වල දී ද වැඩි ප්‍රමුඛත්වයක් ගෙන දෙන්නේ මනාලියටයි. නමුත් මෙහිදී මනාලිය මෙන්ම මනාලියගේ යෙහෙළියන් ලෙස සිටින දෙවැනි මනාලියන් ගැන ද වැඩි අවධානයක් යොමුවිය යුතුයි.

මනාලියගේ ස්වභාවය

මනාලියගේ යෙහෙළියන් තෝරා ගැනීමේදී හැමවිටම මනාලියගේ ස්වරූපයට ගැළපෙන අයුරින් හා ඇගේ උස මහතට ගැළපෙන ලෙසින් තෝරා ගැනීම කළ යුතුයි. මනාලියට වඩා උසින් අඩු මහතින් අඩු අය තෝරා ගැනීමට කල්පනාකාරි විය යුතුයි. ඇතැම් අවස්ථාවල මනාලියට වඩා වඩාත් වැඩිමල් බවක් පෙනෙන හෝ මනාලියට වඩා ඉතාමත් ළාබාල පෙනුමක් ඇති යුවතියක් දෙවැනි මනාලියන් සඳහා තෝරා ගන්නා අවස්ථා තිබේ. මෙයද නොකළ යුතුයි. මේ සඳහා මනාලිය තෝරාගත යුත්තේ තම සම වයසේ සිටින අයයි. විශේෂයෙන්ම මනාලියගේ උස මහතට අනුව දෙවැනි මනාලිය ගැළපෙන තැනැත්තියක් විය යුතුයි. එසේ නොමැතිව හිතුමතේට මනාලියගේ යෙහෙළියන් තෝරා ගන්නට යාමෙන් නොගැළපීම් මතුවී පෙනෙන්නට පුළුවන්. එවිට පෙනෙන්නේ මනාලියට වඩා දෙවැනි මනාලියන් ඉස්මතු වී පෙනීමයි. එය ඡායාරූප ගැනීමේදී ඉතාම අහිතකර ලෙස බලපාන්නත් පුළුවන්.

රූපලාවණ්‍ය සත්කාර

මංගල දිනයට හය මාසයකට කලින් මනාලිය තම රුව ගැන සැලකිලිමත් විය යුතු බවටත් රුවෙහි අඩුපාඩු සාදා ගත යුතු බවත් ෆේෂල් සත්කාර සඳහා පැමිණිය යුතු බවටත් උපදෙස් ලැබෙන බව හැමෝම දන්නා කරුණක්. නමුත් දෙවැනි මනාලියන්ට මෙවන් අවධානයක් යොමු වෙන්නේ නැහැ. මනාලියට මෙන්ම දෙවැනි මනාලියන්ට ද මෙවන් උපදෙස් ලබාදීම අවශ්‍යයි.

බොහෝවිට මංගල දිනය ආසන්න වනතෙක් රූපලාවණ්‍ය ශිල්පියා හමුවට නොඑන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. ඇතැම්විට පවසන්නේ ඔවුන් යම්යම් රාජකාරි නිසා ගෙන ඒමට අපහසු බවයි. මේ නිසා මනාලියගේ යෙහෙළියන්ගේ හැඩගැන්වීම්වලට නිවැරැදි නිගමනයකට එළැඹීමට රූපලාවණ්‍ය ශිල්පියාට නොහැකි වෙනවා. ඉතින් මංගල දින උදෑසන තමයි කිසිදු පෙර සූදානමක් නොමැතිව හැඩ ගැන්වීම් කටයුතු කරන්නට සිදුවන්නේ.

එවිට හිස කෙස්වලට තෙල් දමා තිබීම, හිසකෙස් හරිහැටි සකසා නොතිබීම, ඇහිබැමි සකසා නොතිබීම, අනවශ්‍ය රෝම ඉවත්කර නොතිබීම, මුහුණේ කුරුලෑ ලප කැළැල් තිබීම වැනි ගැටලුවලට මුහුණ දෙන්නට රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට සිදුවනවා.

විලාසිතා තෝරාගැනීම

දෙවැනි මනාලියන් සඳහා තෝරාගන්නා විලාසිතා, ඒවායේ වර්ණ ආදිය මනාලිය හැඩගන්වන ආකාරය සහ ඇයගේ ඇඳුම්වල වර්ණ අනුව ගැළපීම ඉතා වැදගත්. මනාලිය සැරසෙන්නේ උඩරට ක්‍රමයට නම් දෙවැනි මනාලියන්ගේ විලාසිතාවන්ද එයට ගැළපෙන සේ වියයුතුයි. මනාලිය පහතරට හෝ බටහිර ක්‍රමයට සැරසෙනවා නම් දෙවැනි මනාලියන්ගේ අඳුම් විලාසිතාවන් ද ඒ අනුව ගැලපී තිබීම අත්‍යාවශ්‍යයි.

දෙවැනි මනාලියන් තෝරා ගන්නාවිට අනවශ්‍ය ලෙස වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමේ ප්‍රවණතාවයක් වර්තමානයේදී දකින්නට පුළුවන්. මෙය අනවශ්‍ය වියදමක් මෙන්ම ඡායාරූප ගැනීමේ දී ද ගැටලු මතුවන්නක්. හැමවිටම තමන්ට ගැළපෙන දැරිය හැකි ලෙස තමන්ට පහසු විදිහට කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. නැතිනම් සිදුවන්නේ මංගල උත්සවයෙන් පසු දෙදෙනා එක්ව ජීවිතය විඳිනවා වෙනුවට මංගල උත්සවය සඳහා ගත් ණය පියවා ගැනීමට සැලසුම් සකස් කරමින් ළතැවීමට සිදුවීමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here