එදා හා අද ගීතයේ පුණරාගමනය

0
14457
future_srilankan_music

ගීතය යනු සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයකි. ගීතයක නාද මාධූර්ය කනට ඇසෙන මොහොතේ සිට ගීතයේ විචිත්‍රවත් බව රසිකයාගේ මනෝභාවයන් ප්‍රබෝධයට පත් කරයි. ඒ අයුරින් රසිකයා පිනවීමට හැකි ගීතය නිර්මාණකරණයෙහි අපූර්වතම වූ කලා නිර්මාණයකි. සිංහල භාෂාවට අනුව ගී පද, ගේ පද, ගෙය පද ලෙස හඳුන්වනු ලබන ගීත සාහිත්‍ය  පද රචකයන් විසින් ගීත බවට පත් කර සංගීතඥයන්ගේ රසයට අනුව එයට ස්වර හසුරවා  මධුර අරුතින්  යුත් තනුවක් නිර්මාණය කරනු ලබයි.

කවියෙහි හා සංගීතයෙහි මුණ ගැසීම ඔස්සේ ගීතය නිර්මාණය වීමේදී එහි කාව්‍ය රසය සැඟව යන අවස්ථා තිබුනද අර්ථ රසය මුල් සේ සලකා එදා ගීත රචකයන් අරුත් රසයට මුල් තැන දෙන ලදී.  සැබෑ කාව්‍ය රචකයාගේ වගකීම වන්නේ නව්‍යතාවය කරා යෑමේදී සම්‍ප්‍රදායේ ආස්වාදය හා අර්ථ රසය ආරක්ෂා වන පරිදි භාෂාව භාවිතා කිරීමය. ගීතය කාව්‍ය අංගයක් වන කල්හි එහි අර්ථ රසයක් නොවන්නේ නම් සාහිත්‍යයේ වචන භාවිතයේ සාර්ථකත්වයක් දැකිය නොහැකිය. අර්ථ රසය හා සාම්ප්‍රදායික බව ඔස්සේ යමින් දාර්ශනික කවිතාව පාදක කරගත් ගී රැසක් සිංහල ගීත සාහිත්‍යයේ අපට අසන්නට දකින්නට අැත. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ , මඩවල එස්. රත්නායක , මහගමසේකර, සරෝජනී නායිදු වැනි කිවිදුන්, කිවිදියන්ගේ ගීත බොහෝමයක් සිංහල සාහිත්‍යයේ එන භාෂා සංඝටක, රීති උපමා රූපක, හා ශෘංගාරාත්මක බව මනා සේ විඳහා දක්වමින් ගීතයට නගා ඇත. එය නිර්මාණකරුවාගේ අපූර්වතම හැකියාවයි.

” පෙර දින මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා…
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
පුතු හට පවසනවා…. “

පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය මගින් කාලයාගේ බලපෑම , අනිත්‍යතාව, හා පුද්ගල ජීවිතයේ වෙනස් වීම් පිළිබඳව මනාව අරුත් කොට පෙන්වා දී ඇත. එදා ගීතය තුල ඉස්මතුව පෙනුන ප්‍රධාන සාහිත්‍යමය ස්වභාවයද එයයි. එදා ගීත රචනා කරන ලද කවියන් සමාජය තුල සිදුවන බොහෝමයක් ප්‍රශ්න තමාගේ ඇසින් දැක එය තමා ලද අත්දැකීමක් සේ සලකා අරුත් රසය හා සාම්ප්‍රදායික බව ආරක්ෂා කොට ගනිමින් රසිකයාට යමක් සිතීමට ගීතය තුලින් අර්ථයක් රසිකයාගේ ජීවිතයට ලබා දෙන ලදී. එය සාර්ථක කලා නිර්මාණකරුවාගේ සහජ හැකියාවය. තම නිර්මාණය රසික මනස තුල රඳවා තැබීමට දක්ෂ ගී පද රචකයා නිරන්තරයෙන් උත්සහා ගනු ලබයි. එදා ගීතය තුලින් රසික මනසට ප්‍රබෝධයක්, ආකර්ශනයක් හා යම් අවබෝධයක් ලබා දීමට ගී පද රචකයා සමත් වන්නේ මැනවින් ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කල සාහිත්‍යයේ රසය මැනවින් හදුනා ගත් නිසාවෙන් විය හැකිය.

නමුත් අද වන විට ගීතය වානිජ ව්‍යාපාරයක් බවට පත්ව ඇත. කිසිසේත් අර්ථ රසය ගැබ් වී නොමැති සිතු සේ සංගීත භාණ්ඩ   හසුරවමින් ශබ්ද රසයට පමණක් සීමා වූ  අමුතුම ගීතයන් අද වන විට නිර්මාණය වෙමින් පවතී. රසිකයාගේ හැඟිම් , මතකයන් යලි යලිත් මතු කරන හා රසික සිත් විරහවට යට කරමින් රැල්ලට නිර්මාණය වන ගීතය අද වන විට මුදලට සීමා වී ඇත. එක් ගීතයක් නිර්මාණය කිරීමට ගේ පද රචකයන් යයි කියමින් පෙනී සිටිනා ඇතැම් උදවිය තිස් හතලිස් දහසට කිසිසේත් අරුත්  නැති වචන මාලාවක්  ලියා වෙන්දේසි කරනු ලබන තත්වයට අද වන විට ගීතය පත්ව ඇත. සාහිත්‍ය මෙන්ම සමාජ සබදතා හෑල්ලුවට ලක් කරමින් ඇතැම් උදවිය ගීත නිර්මාණය කරනු ලබන අතර. ඒ සඳහා නිර්මාණය වන රූප රචනාවන්ද සිංහල සංස්කෘතිය , සදාචාරය  හා අපේ දෙය ගැන කිසිසේත් තැකීමකට නොගෙන නිර්මාණය වන සදාචාරාත්මක බවෙන් පිට පනින ලද නිර්මාණයන්ය.

මුදල වෙනුවෙන් සමාජ සබදතා හෑල්ලුවට ලක් කරන අද සමාජයේ ඇතැම් ගීත රචකයන් කිසි සේත් සාහිත්‍ය, සමාජය, රසය, අර්ථය පිළිබඳව අත්දැකීමක්  අවබෝධයක් නොමැති උදවිය දැයි රසිකයන් ලෙස අපට හිතෙන වාර අනන්තය.

එදා ගී පද රචකයා සමග බැලූ කල අද ගීත නිර්මාණය කරනු ලබන කලාකරුවන් මුදලට පමණක් යටවී සාහිත්‍ය විකුණා දමන ස්වභාවයක් පවතී.
එදා ගී පද රචකයන් තුල එදා ගීතයේ තිබූ අර්ථ රසය, ශෘංගාරාත්මක බව, සාහිත්‍යයේ ගැබ් බව, සදාචාරාත්මක බව, පරිසර, සමාජ වර්ණනා, ජීවිතයේ අනිත්‍යතාව  වැනි බොහෝමයක් දේ අද ගීතය තුල කිසිවිටකත් නොමැත. ඒ මගින් රසිකයා වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට තරම් එදා මෙන් දක්ෂතා ඇති ගී පද රචකයන් අද අපර අතර නොමැති වීම දුකට කරුණකි.

දක්ෂ ගී පද රචකයාගේ කාර්ය විය යුත්තේ සමාජයට මෙන්ම රසිකයාටත් තම නිර්මාණයන් තුලින්  යම් කිසි අවබෝධයක් රසික ජීවිත තුලට ලබා දීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here