රාමුවෙන් මිදී අලුත් තැන් සොයා යන්න

නුවරඑළිය කියන්නේ හැමෝම ආස ලස්සන පරිසරයක් තිබෙන සෞම්‍ය දේශගුණයක් ඇති නගරයක්,ප්‍රදේශයක්. කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා වෙනසකට,ශරීරසෞඛ්‍යයට ප්‍රබෝධයක් ලබාගන්නයි අපි නුවරඑළියේ සංචාරය කරන්නේ. ඒ සංචාරයේදී හැමෝම වගේ යන්නේ ග්‍රෙගරි වැව,වික්ටෝරියා උද්‍යානය,හග්ගල,තුරග තරග පිටිය ආදී ස්ථාන වලටනේ. ඉතින් මගේ අත්දැකීම් එක්ක මා සංචාරය කල වෙනස් ස්ථාන කිහිපයක් ඔබේ සංචාරක ස්ථාන ලැයිස්තුවට එක් කරගන්න උදවුවක් දෙන්නයි womanly.lk තුලින් අද මම සුදානම් වෙන්නේ…

සඳතැන්න නැත්නම් moon plains

මෙය ලඟදි විවෘත වෙච්ච තැනක්.නුවරඑලිය-වැලිමඩ පාරේ ග්‍රෙගරි වැවේ අන්තයෙන් වමට හැරිලා කිලෝමීටර් 2ක් වගේ දුරක් ගිය තැන ඔබට සඳතැන්න පාරිසරික සංචාරක කලාපයට පිවිසෙන දොරටුවට ළඟාවෙන්න පුළුවන්.මෙය හෝටන් තැන්න වගේම මුහුණුවරක් තිබෙන ස්ථානයක්.ඉස්සර මෙතැන තිබුනේ නුවරඑළිය,සීතාවක බීජ අර්තාපල් ගොවිපොළ.මෙතැන කෘෂි සංචරයකටත් කියාපු ස්ථානයක් වන්නේ එනිසයි. වනෝද්‍යානය තුල පාගමනින් හෝ පුද්ගලික වාහන වලින් ගමන් කරන එක සපුරා තහනම් කරලා තියෙන්නේ සංවේදී පරිසරයේ සතුන් සහ ජෛව කලාපවල ආරක්ෂාවටයි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්ද මේ සංචාරක කලාපයේ කොටස් කිහිපයක් පාලනය වෙනවා.දේශීය වැඩිහිටියන් සඳහා රුපියල් 50ක් වගේම දේශීය ළමුන් සහ පාසල් සිසුන් සඳහා රුපියල් 20 ක මුදලක් ප්‍රවේශ ගාස්තුව විධියට අයකරන මේ වනෝද්‍යානය උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා සංචාරකයන් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා.ඒවගේම මේ ස්ථානය තුල සැරිසරන්න පැය දෙකක සංචාරයක් සඳහා සෆාරි ජීප් රථ මාර්ගෝපදේශනය එක්කම ලබාගන්න පුළුවන්.සංචාරකයන් 8 දෙනෙකුට එක සෆාරි ජීප් රථයක ගමන් කරන්න පුළුවන් ඉතා පහසුවෙන්ම.ඒ සඳහා රුපියල් දෙදහසක් වැයවෙනවා.වනෝද්‍යානය තුල එකම එක තැනකයි එලියට බහින්න දෙන්නේ.ඒ සඳතැන්න මුදුනේ පිහිටා තියෙන අට්ටාලය.එතැන අවට සියලුම පරිසරය නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රමාණවත් තැනක්.මතක තියාගන්න. මේ පරිසරයේ සංචාරය කරන්න පුළුවන් පරිසරයට ආදරේ කරන සංවේදී හිත් ඇති ඔබට පමණයි. මම එහෙම කිව්වේ මේ සංචාරක කලාපයේ කඳුකරයට අවේනික සතුන්,ගොනුන්,කෘමි සතුන් බොහොමයක් ජිවත් වෙනවා.ඒවගේම ජෛව වටිනාකමින් අනූන ශාක සහ සත්ව විශේෂ බොහොම නිස්කලංකව ජිවත් වන තැනක්.අප සිදුකරන හැම ක්‍රියාවක්ම එම පරිසර කලාපයේ අහිතකර වෙනස්වීම් වලට බලපානවා.ඉතින් හයියෙන් ශබ්ද කරන එක,සින්දු කියන එක තහනම්.සංගීත භාණ්ඩ,මත්පැන්,දුම්වැටි,වීඩියෝ ප්ලේයර්ස් එහෙමත් රැගෙන යන්න කොහෙත්ම ඉඩක් නැත්තෙත් ඒ නිසයි.වැඩිදුර විස්තර ඔයාට 052-3057042 කියන දුරකථන අංකයෙන් ලබාගන්න පුළුවන්.

ශාන්තිපුර ගම්මානය

මුහුදු මට්ටමේ ඉඳල අඩි 7340 ක් උසින් පිහිටලා තියෙන මේ ගම්මානය ලංකාවේ උසම ජනාවාසය,උසින්ම පිහිටි චෛත්‍යය,උසම පන්සල ආදී වාර්තා රැසකට හිමිකම් කියනවා.නුවරඑලිය ටවුන් එකේ ඉඳන් ශාන්තිපුරයට බස් තියෙනවා.ටිකක් පටු,අපහසු මාර්ගයක තමයි ගමන් ගන්න වෙන්නේ. නමුත් හරිම ලස්සන,සිතල පරිසරයක් ගමනන්තයේදී ඔබව ප්‍රබෝධවත් කරාවි.ඔබට නුවරඑලිය සිට රම්බොඩ හරහා බදුල්ලට යන මාර්ගයේ බඹරකැලේ හංදියෙන් එකදිගට කිලෝ මීටර් 2 ½ක් වගේ කන්ද නැග්ගම ශාන්තිපුර ගම්මානයට ළඟාවෙන්න පුළුවන්. විනාඩි 20 කට සැරයක් වගේ නුවරඑලියට බස් ගමන් කරනවා.මෙරට සියලුම රුපවාහිනී නාලිකාවල පාහේ සම්ප්‍රේෂණ කුළුණු තියෙන්නේ මේ ශාන්තිපුර ගම්මානය වටා. පිදුරුතලාගල කඳු මුදුන ඉතා ලංව පෙනෙන මේ ගම්මානයේ උසම ස්ථානයේ දැන් නැරඹුම් අට්ටාලයක් නිර්මාණය කරලා තියෙනවා සුළු මුදලක ප්‍රවේශපතක් අලෙවි කරනවා.අට්ටාලයට නැගගත් පසු ඔබට මුළු නුවරඑළි නගරයත් වෙනත් ප්‍රදේශත් විශාල වපසරියක භුමි භාගයක් ලෙස එකවර නරඹන්න වගේම කිකිලියමාන,පිදුරුතලාගල ආදී කඳුවැටි ඉතා ලංව නරඹන්නත් අවස්ථාව ලැබෙනවා.

මන්දාරම් නුවර

රිකිල්ලගස්කඩ,පදියපැලැල්ල පසුකරලා කිලෝමීටර් 20ක් විතර ගියාම එළමුල්ල හමුවෙනවා.ඉන් තවත් කිලෝමීටර් කිහිපයක් ඉදරියට යනකොට හමුවෙන්නේ මන්දාරම් නුවර ටවුම.

අනික් මාර්ගය වන නුවරඑලිය කඳපොල හරහා ගොනපිටියෙන් හයි ෆොරස්ට් වතුයාය මැදින් ගුඩ්වුඩ් වතුයාය හරහා ගමන් කරොත් ඉතා කෙටි කාලෙකින් මන්දාරම් නුවරට ළඟාවෙන්න පුළුවනි.ඒවගේම පොදු ප්‍රවාහන බස් රථ ද භාවිතා කරන්නේ ඒ මාර්ගයයි.ඉතාම දුෂ්කර නගරයක් වුනාට අපුරු පරිසරයක් තමයි මෙහි මැවෙන්නේ. රියදුරු දෑතට දෙයියන්ගේම පිහිට ඒ පැත්තේ මිනිසුන් හැමෝම ප්‍රර්ථනා කරනවාලු. එයට හේතුව මීදුමෙන් කෙළවරක් නොපෙනෙන මහා ලොකු හෙළක් දකුණු පැත්තෙන් පෙනෙද්දී,වංගු ගනිමින් ඉතාම පටු පාරක හුදෙකලාව ගමන් ගන්න රියදුරෙකුට ශක්තියක් තිබිය යුතුම නිසයි.ඇත්තටම මා දුටු ලංකාවේ අති දුෂ්කරම මාර්ගයත් එයමය.පරිසරය නිතරම වැසී තිබෙන්නේ ඝන මිදුමෙනි.එනිසායි මෙය “මන්දාරම් නුවර” ලෙස හඳුන්වන්නේත්.සතර දෙසින්ම කඳුවලින් වටවූ ගමක් වන මන්දාරම් නුවර පිදුරුතලාගල පාමුල පිහිටි ගම්මානයක්. මන්දාරම් නුවර රජයේ තේ කර්මාන්ත ශාලා භූමියට ගියහොත් දකුණු පසින් පිදුරුතලාගල රක්ෂිතයත් වම පසින් ගොනපිටිය,ගුඩ්වුඩ් කන්ද,රන්කොටියා බොක්ක,කබරගල කන්ද නරඹන්න හැකියි.හෙල්මැලි ක්‍රමයට වගාවන් සිදුවන මේ මන්දාරම් නුවර වනගත ප්‍රදේශයෙන් ඉදිරියට යද්දී කොලපතන ඇල්ල හමුවෙනවා.ඇත්තටම එය පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල කන්ද පෙනෙන මායිමේ.ඔබ කඳු නඟින්න කැමැත්තක් දක්වන්නේ නම් ඇල්ල බැලීමෙන් පසුව දියඇල්ල ආශ්‍රිත කඳුවැටිය නඟින්න අවස්ථාවක් ලැබෙනවා.හැබැයි ඒ සඳහා පළපුරුදු කඳුනඟින්නෙක් සහ මාර්ගෝපදේශනයක් එක්ක යන්න අමතක කරන්න නම් එපා.මොකද එය මඳක් දුෂ්කර කාර්යයක්.පිදුරුතලාගල කන්ද මට්ටමට ආසන්න උසකට ගමන් කරන්න එහිදී ඔබට අවස්ථාව ලැබෙන අතර වෙලාව තිබේනම් ගම්වාසීන්ගේ සහයත් එක්ක කුරුඳු ඇල්ල බලන්න යන්න.හැබැයි ගම්වාසීන්ගෙන් අපි දැනගත් පරිදි ඇල්ල බලන්න යන මාර්ගය දුෂ්කර එකක්.නිසි මඟ පෙන්වීමක් නැතුවනම් කොහෙත්ම කිසිම තැනකට යන්න එපා කියන කාරණය මෙහිදී මම විශේෂයෙන්ම මතක් කරන්නම ඕනේ.

ඉතින් වෙනස් අත්දැකීම් විඳගන්න,වෙනස් සංචාර කරන්න..ඉදිරියටත් විස්තර අරන් මම එන්නම්…එහෙනම් පරිස්සමින් ගිහින් එන්න…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here