සිංහල අලුත් අවුරුද්දට සුදානම කල් ඇතුව පටන් ගන්න

sinhala_aluth_awrudda_2017

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අහඹු ලෙසින් ඇති වෙන්නක් හෝ ඕපපාතිකව සිදු වෙන්නක් නොවෙයි. බක් මාසයේ 13 සහ 14 වැනි දිනයන්හි සිංහල අලුත් අවුරුද්ද යෙදෙන නිසා කට ළඟට එන තෙක් සිට අනේ….මොකවත් කරගන්න බැරි වුණා….අවුරුදු කට ළඟටම ආවා.කියමින් පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ.ඔබ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද…..?

අවුරුදු උදාව ගැන පණිවිඩය අපිට පරිසරයෙන් ලැබනවා. කොහාගේ නාදය වගේම එරබදුමල් පිපෙන විට අලුත් අවුරුද්දක නිමිති ගැන අපේ හදවතට දැනෙනවා. අවුරුද්ද වෙනුවෙන් වූ පෙර සූදානමේදී නිවස අලුත්වැඩියාව සහ පිරිසිදු කිරීමේ කටයුතු කල් තබා ගන්න සිදු කර ගන්න  ඔබට පුලුවන්. බොහෝ දෙනා නිවසේ මකුලුදැල් ටික කඩන්නෙත් අවුරුද්ද ඔන්න මෙන්න කියන විටයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් තෑගි බෝග මිලදී ගැනීම වගේම අවශ්‍ය තුනපහ සහ තෙල් පැණි වැනි දේ අවුරුදු ආසන්න වෙත්ම දරා ගත නොහැකි විදිහට මිළ ඉහළ යනවා. මේ නිසා කාලවේලාව ඇතුවම ඒවා මිළට ගැනීමට පුළුවනි. අවුරුදු වෙනුවෙන් තෑගි බෝග ලබා දිය යුතු අයගේ ලැයිස්තුවක් තනාගන්න. මේ තෑගිබෝග බොහොම සීරුවට කලබල මානසිකත්වයක් නැතුව හෙමින් සීරුවේ මිළට ගන්න පුලුවන්. නිවසේ ‍තිර රෙදි ආදිය අවශ්‍ය නම් ඒවාද රැල්ලට ගොස් පාඩු විඳගන්නේ නැතුව ටිකෙන් ටික මිළට ගෙන අවසාන කරන්න. එවිට එතරම් බරක් හිතට දැනෙන්නෙත් නැහැ.

දැන් ඔබ මේ විදිහට අහන්න පුළුවන්. අවුරුදු කියන්නේ ඉතිං සල්ලි තමා….සල්ලි තියෙනවා නම් හැමදාම අවුරුදු ….මෙතැනදී ඔබ වරදවා වටහා ගෙන තිබෙන දෙයක් ඒකයි. අවුරුදු කියන්නේ සල්ලි බාගය විය පැහැදම් කරල කන බොන නටන එක නොවෙයි. අවුරුද්ද මුලුමනින්ම පදනම් වෙන්නේ අපි මානසිකව අලුත් වෙන්න වගේම යුතුකම් ඉෂ්ට කිරීමේ සිද්ධාන්තය පදනම් කර ගෙන බව අමතක කරන්න එපා. මේ නිසා අවුරුද්ද බොහොම අගේට ගැලපෙන්නේ අද දවසටයි. අද හැමදෙයටම කියන්නේ අනේ හරිම බිසි….හුස්ම ගන්නෙත් නොදැනම සිද්ධ වෙන නිසා. එහෙම නැත්තං ඒකත් නැහැ.

මේ කලබල මානසිකත්වයට ඉතාම ‍ගැලපෙන විසදුම සිංහල අලුත් අවුරුද්ද නිසා ලැබෙනවා. මුලු රටම එකම වෙලාවට එකම කටයුත්ත කරන්නේ අවුරුදු නැකතට විතරයි. මේ නිසා එයින් මිදෙන්න ඔබට බැහැ. හදිසියේවත් ඒ විදිහට පොදු නැකතක් නැති වුනානම් ඔබ එයින්ද බැහැර වෙනවා සහතිකයි. අම්මා අප්පච්චි බලන්න ගමට යන්න අවුරුදු කාලයටවත් මකතයට නැගෙනවා එහෙම සිද්ධ නොවුනොත් විශාල අඩුපාඩුවක්ය යන පිලිගැනීමෙන් අපේ ජීවිතය හික්මවා තිබෙන නිසාම මේ යුතුකම අවුරුද්ද වෙනුවෙන්වත් ඉටු කරන්න බොහෝ දෙනා සූදානම්ව සිටිනවා.

අවුරුදු උදාවට පෙරාතුව ඇති පුණ්‍ය කාලයේදී අපි පන්සල් වෙත ගොස් ආගමික කටයුතුවල යෙදෙන්නට නියමිතව ඇත්තේ මෙම කාලසීමාවේ නැකත් නැති හෙවත් නොනගත කාලය නිසාය. ආගමික පසුබිම මනසට මහත් වූ ආශිර්වාදයක් ලබා දෙන නිසා ඒ වෙනුවෙන් ගැලපෙනම කාලය මෙම පුණ්‍ය කාලයයි.

අද මානසික රෝග බොහොමයකට හේතු වෙන්නේ කලබලකාරී මානසිකත්වයයි. මේ එකාකාර ජීවන රටාවෙන් අපි මොහොතකට හෝ ඉවත් වුනොත් අපේ හිතට ඇති වෙන වෙනස නිසා මානසිකවත් අපි අලුත් වෙන්නේ නොදැනමයි. මේ වෙනුවෙන් අලුත් අවුරුද්ද ඉතාම ගැලපෙන කාලයක්. ඉස්සර කාලයේ අස්වැන්න නෙලාගෙන ඇති වෙන සතුට වගේම මහපොලවේ හැපෙමින් ගත කල විඩාබර ජීවිතයට තාවකාලික විවේකයක් අවුරුදු කාලයේදී ලැබුනා. අද හැමදෙනාම ගොවිතැන් බත මුල් කරගෙන යැපුනේ නැතැත් ඔවුන්ගේ ජීවිත එකාකාරයි. බක්මහ සමග මේ එකාකාර බව මදකට හෝ මිදෙනවා. කාර්යාල කටයුතු පවා සතියක් පමණ නැවතෙනවා.  අලුත් වසරක අලුත් බලාපොරොත්තු සමග ලිප ගිනි මොලවා කිරි උතුරවනවා. එලැ‍ෙඔන වසරේ නිවසට සශ්‍රීකත්වය උදාවේවාය යන ප්‍රාර්ථනයේ හැම දෙනාම සිටිනවා. නිවසේ සියලු දෙනාම එකට එක්ව එකම මේසයක ආහාර අනුභව කරනවා.අද මේ තත්වය අපිට දකින්න ලැබෙන්නේ සිංහල අලුත් අවුරුද්ද මුල් කර ගෙන පමණයි. ජන ක්‍රීඩාවලින් විනෝදවීම අවසානයේ නැවතත් පරණ පුරුදු ජීවන රටාවට එක්වෙනවා. ඒ එක්වීම තුළ මානසිකව ලැබුන සහනශීලීත්වය උපරිමෙන්ම තිබෙනවා.

මේ හැම දෙයක් වෙනුවෙන්ම මිළ මුදල් අවශ්‍යයි. ඒක ඇත්ත. එදිනෙදා කටයුතු ඉදිරියේ අවුරුදු වෙනුවෙන් වැය බර දරන්න ඔබට අපහසු බව ඇත්ත. මේ වෙනුවෙන් ඔබට කළ හැකි පහසු කාර්යක් තිබෙනවා. ගණුදෙණු කරන නැකතට ලැබෙන මුදල කැටයකට දමන්න. නිවසේ සාමාජිකයන්ටත් ඒ පුරැද්ද අනුගමනය කිරීමට ඉඩ දෙන්න. ලැබෙන ලැබෙන විදිහට මේ කැටයට මුදලක් දමන්න. අවුරුදු ආසන්නයේ කැටයේ ඇති මුදල් අවුරුදු කටයුතු වෙනුවෙන් විය පැහැදම් කිරීම අපහසු නැත.

තවත් විදිහකට ඔබට අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගත හැක. අද බැංකු ජාලය ගෙදර දොරකඩට පැමිණ ඇත. බැංකුවේ ස්ථිර තැන්පතුවක් අදාල කාලසීමාවට කල් පිරෙන සේ තැන්පත් කරන්න. එහි පොළී මුදල අදාල කල්පිරෙන දිනයට ඔබට ලැබෙනු ඇත. ඒ මුදලත් අවුරුදු කටයුතු වෙනුවෙන් විය පැහැදම් කිරීමෙන් ඔබට ආර්ථික වශයෙන් වඩාත් පහසුවක් සැලසෙනු ඇත.

සිංහල අලුත් අවුරුද්ද නිසා මාවත් මගේ පවුලත් රැකුනොත් මදිද යන සංකල්පයෙන් එකිනෙකා මිදෙනු ඇත. අපි කිසිම කෙනෙකුට තනිවම ජීවත්විය නොහැක. සමාජ ජාලයේ අපිටත් වැදගත් තැනක් ලැබෙන්නේ අපි ඔවුනොවුන් සමග ඇති කරගන්නා හොඳ හිත අනුවයි. අවුරුදු කාලයට අපි කැවිලි පිගන් උඩහ , පහළ සහ අල්ලපු ගෙවල් සමග හුවමාරු කරගැනීමේ සම්ප්‍රදාය අතීතයේ පටන්ම ඇත. අපි එසේ කරන්නේ හිතවත්කම තහවුරු කර ගැනීම පිණිසම බව අමතක නොකරන්න.

හිසතෙල්ගා ස්නානයෙන් පසු අපි නැවත පුරුදු ජීවන රටාවට යොමු වෙනු ඇත. එහි පසුබිම තුලත් ඇත්තේ ආගමික වටපිටාවයි. තෙල් නානු හදන්නේද ගමේ පන්සලේය. මේවා හිස ගල්වන්නේද සෙත් පිරිත් ආශිර්වාදය මධ්‍යයේය. ඒ ආශිර්වාදය සමග නව වසරට නැවත අපි යොමු වෙන්නේ නිරවුල් මානසිකත්වයකින් සමගය. කාන්තාවක ලෙසින් සිංහල අලුත් අවුරුදේ මේ රටාවට පවුලේ උදවිය සහසම්බන්ධ කිරීම ඔබේ යුතුකමයි. අවුරුද්ද අපිව කනාවාය….යන චෝදනාව ඇත්තටම ගැලපෙන්නේ නැත. එවිට සිද්ධ වෙන්නේ  අවුරුද්ද ඇත්තටම මානසික ලෙසින් බරක් පමණි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here