කාන්තාව සහ පිරිමියා තුල තිබිය යුතු තුන්වෙනි ඇස

වසර දහසක පටන් තිබූ පුරුෂ ආධිපත්‍යයෙන් මිදී බොහෝ සමාජ මේ වනවිට කාන්තාව සහ පිරිමියා අතර සමාන අයිතීන් තිබිය යුතු ය යන මතයේ සිට කාන්තාව ප්‍රමුඛත්වය ගන්නා අවස්ථාව දක්වා ගමන් කරමින් සිටීම නිසා බොහෝ සමාජ කොටස් තුලින් නැඟී එන මේ ධනාත්මක ලක්ෂණයට අනාගත ලෝකයේ කාන්තාව සහ පුරුෂයා අතර සමගිය සහ ජිවන සංවර්ධනය ඇති කිරීමේ හැකියාව වැඩිකිරීමට පුළුවන්කමක් ලැබෙන බවට මත පලවෙමින් තිබෙනවා. . අසතුට නම් සෑම සමාජ තලයකින්ම එලෙස දක්නට නොලැබීමයි.ස්ත්‍රී දුෂණයකදී කාන්තාවට එහි චෝදනාව එල්ල කරමින් ඇයට දඬුවම් දෙන සමාජ කොටස් අදටත් තිබෙන බව අමතක නොකරමින්ම තමයි අප මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතාකරන්නට අවශ්‍ය වන්නේ.

සන්නිවේදන ගැටළු නිසා පවුල් ප්‍රශ්න ඇතිවූ යුවලක් දිනක් මනොවෛද්යවරියක් මුණගැසුනා.කාන්තාව පැවසුවේ සිය සැමියා නිතර වැඩට හිරවී සිටින නිසා ඇය ගැන කිසිම ආකාරයකින් සොයා නොබලන බවයි.පුරුෂයා පවසන්නේ සිය බිරිඳ තමාගේ අදහස් වලට එකඟ නොවන බවත් කෙසේ වුනත් හැමවිටම තම සැමියාට මූලිකත්වය දී ඇහුම්කන් දෙන්න බිරිඳක් දැනගන්න ඕනේ බවයි. එහිදී ඔවුන් අතර වූ සංවාදයයි මේ…

වෛද්‍යවරිය: ඇයි ඔබ සිතන්නේ ඔබේ බිරිඳ ඔබට ඇහුම්කන් දෙන්න ඕනේ කියලා?
පුරුෂයා: මොකද ගැහැනියක් වුනාම හැමතිස්සෙම තමන්ගේ ස්වාමි පුරුෂයාට ඇහුම්කන් දෙන්න ඕනේ නිසා…
වෛද්‍යවරිය:ඒත් ඇයි ගැහැනියක් හැමවිටම තමන්ගේ ස්වාමියට ඇහුම්කන් දෙන්න ඕනේ?
පුරුෂයා:මොකද පිරිමියා තමයි ගෙදරක මූලිකයා. ඒකයි

නැහැ.. වෛද්‍යවරිය පැවසුවා.”පිරිමියෙක් විධියට ඔයා මුලින්ම අනුගමනය කරන්න ඕනේ දේ තමයි තමන්ට ගෞරවයක් දෙනවටත් වඩා තමන්ගේ බිරිඳට ගරුත්වයෙන් සලකන එක.”

“ඒවගේම හරි ගැහැනියක් විධියට තමන්ගේ ස්වාමියා සිය වගකීම් පැහැර හරියි නම් ඒ ගැන නියමාකාරයෙන් සුහදව දැනුවත් කර ස්වාමි පුරුෂයව හරි මාර්ගයට ගන්න පුළුවන්කමක් ගැහැනියකට තියෙන්න ඕනේ” යනුවෙන් කාන්තාවට පැවසුවා.

සමකාලීන සමාජයේ මේ වෙනකොට ස්ත්‍රී පුරුෂ සැබෑ වෙනස පිලිබඳ අධ්‍යයනය කරන්නට පටන් ගෙන තිබෙනවා.භෞතික වශයෙන් වගේම මානසික මට්ටමින් වුනත් පිරිමියා සහ කාන්තාව සිතන,හැසිරෙන,කතාකරන ආකාරය වෙනස්.කාන්තාව සහ පිරිමියා අතර සාරභූත ස්වභාවය සැබැවින්ම වටහාගන්නට නම් සාමාන්‍ය මිනිස් සිතුවිල්ලෙන් ඔබ්බට ගොස් අප හැමවිටම තුන්වන ඇසකින් මේ කරුණ ගැන බලන්නට අවශ්‍යයි.සැම ස්ත්‍රියක්ම පුරුෂයෙක්ම එක් අරමුණක් වෙනුවෙනුයි නිර්මිත වෙන්නේ. ඒ තමයි ලෝකය වඩා සාමකාමී,ශුද්ධ භූමියක් කිරීමේ ලා තම ශරීරය සහ ජීවිතය මෙහෙයවා කටයුතු කිරීමයි.එලෙස බැලූ කල පිරිමියා සහ කාන්තාව අතර මහලොකු වෙනසක් දක්නට නැහැ.එකම වෙනස ලෝකයට තමන්ගෙන් වියයුතු යුතුකම් ඉටුවිය යුතු ආකාරයේ ඇති කුඩා වෙනස්කම් තමයි.

ඇත්තටම කාන්තාව සහ පුරුෂයා අතර ඇති වෙනස්කම් මොනවද?

මුලික වශයෙන් ස්ත්‍රිය සහ පුරුෂයා ශක්තිය නියෝජනය කරන්නේ දෙයාකාරයකින්.ඒවා කේවල ලෙස ගත්විට පිරිමි සහ කාන්තා අංග වෙනවා.එයින් අදහස් වන්නේ හුදෙක්ම පිරිමියා තුල තිබිය යුත්තේ ජවය පමණක් සහ ගැහැණිය තුල තිබිය යුත්තේ සියුමැලි බව පමණක් බවත් ම නොවේ.ජවය තුල යම් ආවේගශීලි බවක් වගේම සියුමැලිබව තුල සංවේදීකමත් තිබෙන බව ඇත්ත.නමුත් ජීවිතය ගතකරද්දී අපට මේ ස්වභාවයන් දෙකම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අවශ්‍ය වෙනවා.සංවේදී වීම ඇතැම් පිරිමින් සිය පෞරුෂත්වයට මදිකමක් යැයි සිතනවා. එය ඇත්තටම වැරදි සිතුවිල්ලක්.ඒවගේම කාන්තාවන් ආවේගයෙන් හෝ ජවයෙන් කටයුතු ඇයට නොගැලපෙන්නක් යැයි සිතන කාන්තාවන්ද සිටිනවා.එයද බොහෝ වැරදි සිතුවිල්ලක්.අපි ඇත්තටම මෙහිදී කල්පනාවට ගන්න ඕනේ දේ තමයි සමාජයේ ජිවත් වෙද්දී අඩු වැඩි වශයෙන් අපට මේ ගුණාංග තිබිය යුතුවීම යි.

ස්වභාවයෙන්ම පිරිමින් කාන්තාවන්ට වඩා ශක්තියෙන් වැඩියි.ඒවගේම ඔවුන් ආක්‍රමනශිලියි.බාහිර නැඹුරුවීම්වලට වැඩියි.ඊට අනෙක් පසින් ගත්තොත් කාන්තාවක් ස්වභාවයෙන්ම සිය ගෞරවය ගැන සිතා නිහඬ වීමට පෙළඹෙනවා. ඇතැම් පිරිමින් වගේම ගැහැනුන් පවා එය දුර්වලකමක් යැයි සිතා කාන්තාවගේ ඒ ස්වභාවික ලක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් ඇය වරදේ යොදවා ගැනීමටත් ඇයට තර්ජනය කර සිය අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමටත් පෙළඹෙනවා.නමුත් ඇත්තටම එම නිහඬ වීම ම ප්‍රකෝපයෙන් හැසිරී ප්‍රශ්න වැඩි කරගන්නවාට වඩා සිතා බලා ප්‍රශ්න විසඳා ගන්න ශක්තියක් කරගත හැකි බව බොහෝ කාන්තාවන් වටහා නොගෙන සිටීමත් එක්තරා අසතුටුදායි කරුණක්. හැමවිටම නිහඬව සිටීම තුල ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බව වටහාගෙන අවශ්‍ය තැනදී කතාකරන්න තරම් කාන්තාව බුද්ධිමත් වෙන්න ඕනේ.

සැබෑ මනුෂ්‍ය අභිමානය තුල කෑගැසීම් නැහැ.ඇත්තේ බුද්ධිය මෙහෙයවා තාර්කිකව කතාකිරීමක් පමණයි.සියුමැලි බව තුල දුර්වලකමක්ද නැහැ.ඇත්තේ සංවේදීත්වය පමණයි. එමනිසා ජවය,ආවේගය,සංවේදීකම මේ සියලු ශක්තින් කාන්තා පිරිමි භේදයෙන් තොරව දෙපාර්ශ්වයම තුල තිබිය යුතු වීම වැදගත් දෙයකි.

කාන්තාව සහ පිරිමියා එකිනෙකට ආවේනික ලෙසින් සිය කර්තව්‍යයන් ඉටුකරන නිසා දෙපිරිසම දැනගත යුතු වැදගත්ම දේ තමයි කාන්තාව පිරිමියාගේ ස්වභාවයත් පිරිමියා කාන්තාවගේ ස්වභාවයත් හොඳින් හඳුනාගමින් එකිනෙකාට තම තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම සහ ලබාදිය යුතු ගරුත්වය උපරිමයෙන් ලබාදීමයි.

ස්ත්‍රී පුරුෂ භාවය තුල සැබෑ විමුක්තිය කුමක්ද?

සැබෑ කාන්තා පුරුෂ නිදහස තුල අදහස් කෙරෙන්නේ කාන්තාවක් පුරුෂ ගණය තුලින් සිය සමානත්වය සෙවීමක්වත් ස්ත්‍රියට ආධිපත්‍යය පෙන්වා පුරුෂයා සියල්ල පාලනයට නතුකරගැනීම වත් නොවේ.එනම් හුදෙක් ස්ත්‍රීවාදයෙන් හෝ පුරුෂාධිපත්‍යයෙන් හෝ කාන්තා සහ පුරුෂ විමුක්තියක් සොයන්නට බැරිය.සැබෑ කාන්තා නිදහස යනු ස්වභාවයෙන් කාන්තාවට පිහිටා ඇති ලක්ෂණ,ලාලිත්‍යය නැති නොකොට සිය පෞරුෂත්වය තුලින් සමාජයට විය යුතු සංවර්ධන දායකත්වය ද දියත් කිරීමට පරිසරයක් ඇතිකරගනිමයි.එයට ඒ සඳහා ඇයට ආරක්‍ෂිත පසුබිමක් ඇතිකිරීමේ වගකීම හුදෙක්ම පුරුෂයා සතු බව සිතීම ද වැරැද්දකි .

ස්ත්‍රිය තමන්ගේ අභිමානය සහ ගරුත්වය රැකෙන සේ ජීවත්වීමේ වගකීමත් මෙහිදී ඇය කල්පනාවට ගන්න අවශ්‍යයි.පුරුෂයා ඇයට හිමිවිය යුතු ගරුත්වය ලබාදීම ඒ අතරේදී සිදුවෙන්න ඕනේ.සෑම ස්ත්‍රියකටම ගරුත්වය අවැසියි වගේම සෑම පුරුෂයෙකුටත් එලෙසම ස්ත්රියගෙන් ගරුත්වය ලැබීම අවශ්‍යය.මේ නිසා සම තැන් ඉල්ලා කෑ ගසන්නට පෙර තම තමන්ගෙන් එකිනෙකාට විය යුතු වගකීම සහ යුතුකම හඳුනාගැනීම වැදගත්ය.එසේ වුවහොත් සම තැනක් ඉල්ලීමට අවශ්‍ය නැත.නියම ගෞරවය එකිනෙකාට එලෙසින්ම ලැබෙනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here