අපිත් සිරි පා කරුණා කරමුද

0
6427
sri_padaya

අපි පොඩි කාලේ කහ පාට සමනල්ලු ගොඩක් එක දිගට පියාඹනකොට කිව්වෙ ඒ සමනල්ලු සිරී පාදේ වඳින්න යනවා කියලා. අම්මලත් අපිට කියල දිලා තිබ්බෙ එහෙමයි.  අද වෙද්දි සිරිපාදේ වඳින්න යන සමනල්ලු නම් දකින්න අපිට වාසනාව නෑ කිව්වොත් මේ කියවන ඔබත් මාත් එක්ක එකඟ වේවි.

සමනල කන්ද අපේ රටේ තියෙන වැදගත් වගේම හැම ආගමකම බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ස්ථානයක්. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකරයේ පිහිටා සමනල කන්ද උසින් මීටර් 2243 පමණ වෙනවා. බෞද්ධයන් ශ්‍රී පාදය හදුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල පිහිටා තිබෙන ස්ථානය ලෙසයි.

අලි කොටි වලස්සු වගේම අපේ රටට ආවේණික ශාක වර්ග සතුන් වර්ග ගණනාවකටම නිවහන වන සමනල කන්දට ප්‍රවේශ වෙන්න මාර්ග 6 ක් පමණ තියෙනවා. ඒ අතරින් හැටන් නල්ලතන්නි මාර්ගයත් රත්නපුර පලාබද්දල මාර්ගයත් වන්දනාකරුවන් වැඩි පිරිසක් ගමන් ගන්න ප්‍රසිද්ධ මාර්ග දෙකක්.

සිරිපා කරුණා කරන්න වාරයක් තිබෙනවා. දෙසැම්බර් මාසෙ පහුගිය දහතුන් වෙනිදයින් සිරිපා කරුණා කරන වාරය ආරම්භ උනා. අවාරයට සිරිපා කරණා කරන්න නම් අමාරුයි. වැස්ස, තද සීතල වගෙම මී දුම නිසා අවාරයේ සිරිපා කරණා කරන එක බොහොම අවදානම් සහිත වැඩක්. ඉතින් මේ පාසැල් නිවාඩු කාලෙ නිසාම ඔබටත් පුලුවන් පවුලේ හැමෝම එකතු කරන් සිරිපා කරුණා කරන්න.

සිරීපාදේ යනවා නම් ඒ සඳහා නඩයක් ( පිරිසක්) එකතු කරගන්න ඕන. කැලෑබද ප්‍රදේශයක් නිසා තනියම යනවාට වඩා පිරිසක් එක්ක යන එක කෝකටත් හොඳයි නෙ.

ගමන පිටත් වෙන්න කලින් ඒ සඳහා සුදානම් වෙන්න අනිවාර්යෙන්ම. සිරීපාදය කියන්නේ රාත්‍රියට ගොඩක් සීතල ප්‍රදේශයක්. ඒ නිසා සීතලට අඳීන උණුසුම් කබායක්, වැස්සොත් නොතෙමි ඉන්න වැහි කබායක් කුඩයක් වගේ ගෙනියන්න. පඩි දහස් ගණනක් නගින්න තියෙන නිසා ඔබේ ගමන් මල්ල හැකි තරම් සැහැල්ලු කරගන්න. ගොඩක් ඇවිදින්න තියෙන නිසා ඔයා පාවිච්චි කරන සපත්තු / සෙරෙප්පු දෙක ගැනත් විශේෂ අවධානයක් දෙන්න.

සිරිපා  කරුණාව සමඟ බැඳුනු විවිධ වත් පිළිවෙත් වගේම  අපුරු ජන වහරකුත් තියෙනවා. ඉතින් ඔයා ජිවිතේ පලවෙනි පාරට සිරීපාදේ යනවා නම් ඔයා කෝඩුකාරයෙක්. දඩු කෝඩු කියන්නේ වැඩිහිටි ඒත් පලවෙනි වතාවට සිරිපා කරුණා කරන අයට. කිරි කෝඩු කියන්නේ ඒවගේම කුඩා දරුවන්ට. සීත ගඟුලෙන් නාලා ඉඳිකටු පානෙදී ගෙත්තම් කරලා සිරිපා කරුණා කරන ඔබේ වෙහෙස නිවන්න මග දෙපස පොඩි කඩ පේලි සැලකිය යුතු තරම් ප්‍රමාණයක් තියෙනවා. ඒත් මේ පොඩි වෙළදසැල් වල කෑමබීම වල ප්‍රමිතිය ගැන නම් මට ඒ තරම් පැහැදීමක් නැහැ. ඒත් සීතලට ගැහෙද්දි කෝපි බොන්න ඔබට හිතෙනවා නම් මේ පුංචි කඩේකට ගොඩවෙන්න ඔබට පුළුවන්.

සවස් වෙද්දී සිරිපා කරුණා කරන්න පටන් ගන්න තමා ගොඩක් අය කැමති. සිරිපා මාර්ගය දිගටම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරලා තියෙන්නේ. ඉතින් රාත්‍රියට කරුණා කරන ඔබට සිරිපා මළුව තෙක් විහිදෙන පුංචි ආලෝක එලි දිස්වන්නේ අහස තෙක් විහිදෙන පුංචි තාරකා එලි වගේ. හවස හතර පහ වෙද්දී සමනල කන්ද පාමුලින් ගමන් ඇරඹුවාම උදේ පාන්දරට ඉර සේවය බලලම සිරිපා මළුව වදින්න ඔබට පුළුවන් එතකොට.

උඳුවප් පොහොයෙන් පටන් ගන්න සිරිපා වාරය අවසන් වෙන්නේ වෙසක් පොහොයෙන්. ඉතින් 2017 වසරේ සති අන්ත දීර්ඝ නිවාඩු කිහිපයක්ම යෙදිලා තියෙන නිසා ඔයාටත් පුළුවන් පවුලේ අය එහෙමත් නැතිනම් යාළුවො එකතු කරගෙන සිරිපා වදින්න යන්න.

සිරීපා කරුණා කරා වගේම මතක ඇතුව ඔයාලා පාවිච්චි කරපු හැම දෙයක්ම ආයිම අරගෙන එන්න, විශේෂයෙන් පොලිතින් ප්ලස්ටික් වගේ දේවල් තැන තැන විසිකරන්නෙපා.

ඉතින්,

 “ වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි”

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here