සෑම දෙමාපියෙකුගේම බලාපොරොත්තුව වන්නේ මුදු මොලොක් ඇවතුම් පැවතුම් ඇති රටට වැඩදායි දරුවන් සමාජයට දායාද කිරීමයි. එහෙත් එම බලාපොරොත්තු සපල කරගත හැකිවන්නේ වාසනාවන්ත දෙමාපියන් පිරිසකට පමණයි. කුඩා කල බොහෝ අහිංසක දරුවන් පවා උස්මහත් වෙද්දී අපරාධකරුවන් බවට පත් වෙන්නේ දෙමාපියන් වන අපගේත් සමාජයේත් වරදින්. ජාතක කතා වල සඳහන් වන අයුරින් කුඩා අහිංසක, අංගුලිමාල බවට පත් වුනේ ඔහුගේ ගුරුවරයාගේ වරදින්.
මා මේ කියන්නට යන්නේ දරුවන් ගැනයි. ඔබත් දරුවන් ඇසුරු කරනවානම් මෙවැනි ගති පැවතුම් ඇති දරුවන් ඔබටත් මුණ ගැසී ඇතිවාට කිසිඳු සැකයක් නැහැ.
ඇතැම් දරුවන් සතුන්ට දක්වන්නේ අසීමාන්තික ආදරයක්. මහ මගදී පවා කුඩා බලු පැටියෙකු දුටුවිට වඩා ගෙන සුරතල් කරන දරුවන් ඔබ දැක ඇති. ඒ වගේම කිසිඳු හේතුවක් නොමැතිව නිවසේ සිටින සුරතල් බලු පැටියාට එසේත් නැතිනම් පූසට ගල් මුගුරුවලින් පහර දෙන කුඩා දරුවනුත් ඔබට මුණ ගැසී ඇති.
දරුවන් මෙසේ කරුණාවන්ත වෙන්නටත් නපුරු වෙන්නටත් දෙමාපියන්වන අපගේ හැසිරීමද හේතු වෙනවා. දරුවන් උස්මහත් වන්නේ දෙමාපිය ගුරුවර ඇසුරේදී යි. මේ නිසා ඔවුන් අපගේ ඇවතුම් පැවතුම් දෙස බලා අපව පුර්වාදර්ශයට ගන්නවා. මේ නිසා දරුවන් ඉදිරියේදී වචන භාවිතයේදී මෙන්ම හැසිරිමේදීත් දෙවරක් සිතා බලන්න.
උදාහරණයක් විදියට කිව්වොත්
ඔබගේ දෙමාපියන්,ඔබත් ඔබගේ දරුවනුත් සමඟ එක නිවසක ජිවත් වෙනවා යයි සිතන්න. ඒත් ටික කලකින් දෙමාපියන් කරදරයක් යයි සිතා ඔබ ඔවුන්ව වැඩිහිටි නිවාසයකට යොමු කරනවා. මේ සිදුවීම ඔබගේ දරුවනුත් දකිනවා. ඇතැම් දරුවන් දෙමාපියන්ට වඩා ශක්තිමත් බැඳීමක් අත්තම්මා සියා සමඟ පවතිනවා. ඉතින් දරුවන් ඔබෙන් නිතැතින්ම අසනවා අත්තම්මා, සීයා ඇයි ගෙදරින් යැව්වේ කියා. ඔබ කොතෙකුත් එය සාධාරණීකරණය කරත් දරුවන් ඔබත් වයසට ගිය කලක වැඩිහිටි නිවසකට පිටත් කර නොහරි යයි ඔබට සම්පුර්ණ විශ්වාසය තැබිය හැකිද? ඔවුනුත් ඔබ මෙන්ම එය සාධාරණීකරණය කරනු ඇති.
ඒ වගේම ඔබ අසරණ මිනිසුන්ට කන්න බොන්න යමක් එසේත් නැතිනම් මුදලින් හෝ උපකාරයක් කරනවා නම් දරුවනුත් එයට සහභාගී කරගන්න. දරුවන්ගේ අතින් අසරණ කෙනෙකුට ආහාර ටිකක් දෙන්න. අසරණ වූ කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නට දරුවන් ඔබගෙන් ඉගෙන ගනීවි. මහ මගදී මා නිතරම දකින දෙයක් දෙමාපියන් දරුවන් ලවා අසරණ අයට මුදලින් පිහිට වීම. මතක තබා ගන්න දරුවන් ඔබව අනුකරණය කරන බව.
ඔබට පාසල් යන වයසේ දරුවන් සිටිනම් මිතුරන් සමඟ බෙදා හදාගෙන ආහාර ගැනීමට ඔවුන්ට පුරුදු කරන්න.
මා මේ කියන්නට යන සිදුවීම වයස අවුරුදු 5ක දරුවන් සිටින දිවා මධ්‍යස්‌ථානයක සිදුවීමක්. නෙතූ,පියා අහිමි මව පමණක් රැකියාව කරන පවුලක දියණියක්. ආර්ථික අපහසුකම් නිසාම අනෙත් දරුවන් මෙන් චිස් සැන්ඩ්වීච් කන්නවත් නෙක විසිතුරු ඇඳුම වත් නෙතූට නැහැ. සමහර දවසට දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයේ හවස තේ වෙලාට තේ එක්ක කන්න බිස්කට් නෙතූ ලග නැහැ. නෙතුගේ අම්මට බිස්කට් දෙන්න අමතක වෙලා එහෙමත් නැතිනම් බිස්කට් වලට වියදම් කරන්න තරම් මුදලක් නෙතුගේ අම්මගේ අතේ නොතිබෙන්න ඇති. ඒත් පන්තියේ කවුරුත් නෙතුට බිස්කට් එකක් දෙන්න තරම් කාරුණික නැහැ. හැමෝම තේ වෙලාවට මොනවා හරි කද්දී නෙතූ අනිත් අය දිහා බලාගෙන ඉන්නවා. නෙතුගේ පන්තියේ අනෙක් ළමයින්ගේ එකම එක අම්ම කෙනෙක් හරි තමන්ගේ දරුවන්ට කියල දීලා තිබ්බ නම් කෑම ගෙනත් නැති යාලුවෙක්ටත් දීලා කන්න කියලා නෙතූ බඩගින්නේ ඉන්නේ නැහැ.
දරුවන්ට අනෙත් අයගේ දුක, වේදනාව හඳුනා ගැනීමට ඉඩ හරින්න. ඒ වගේම පෙන්වා දෙන්න අනෙත් අයට කරුණාවන්ත වීමේ වැදගත්කම.
කුඩා කාලයේදී හොඳ ගති ගුණ පුරුදු පුහුණු වූ විට ඒවා වෙනස් වන්නේ කලාතුරකින්. එසේ නොමැතිනම් ඔවුන් ජිවිත කාලය පුරාවට කරුණාවන්ත මිනිසුන් ලෙස ජිවත් වේවි.