නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න එපා…..

fedup with life

මා බොහෝ  සෙයින්  ආදරය  කරන  සමීපතමයන් පවා  සිය  ජීවිතය  නැතිකරගන්නවද   නැද්ද  යන  සිතුවිල්ලෙන්  වැනෙමින්  මරණයත්  ජීවිතයත්  අතර  වැට  උඩ  සිටිමින්  අදටත්  ජිවත් වෙනවා. සියදිවි  හනිකරගැනීම ලොව  බොහෝ  මරණවලට  හේතුවක්  වෙලා  තිබෙන  කාරණයක්. කෙනෙකු සිය  ජීවිතය  තොරකර  ගැනීමෙන්  වැලැක්වීමට  අපට  කළහැකි  යමක්  තිබේනම්  එය  ඉතාම  වටිනා  දෙයක් නේද? තමන්ගේ  ජීවිතය  නැතිකරගන්න  තරම්  තත්වයකට යමෙකු  පත්වන්නේ  හුදෙක්ම  මානසික  පීඩනයක්  ඔඩු  දිවීම  නිසයි. අප  සියල්ලන්ට  ජිවිතේ  එකදු  අවස්ථාවක  හෝ  “මැරුණ නම්  මිට  වඩා  හොඳයි” කියලා  හිතිලා  ඇති. එවැනි  හැඟීමක්  හෝ  ඔබට  දැනුනොත්, නැත්නම් ඔබ  හඳුනන  අයකු  මානසික  පීඩනයකින්  විඳවන්නේ  නම්  අනුගමනය  කලයුතු  පුංචි  කාරණා  කිහිපයක්  මම  කියන්නම්.

බලාපොරොත්තු  ඇතිකරගන්න  /  ඇතිකරවන්න

වේදනාව / පීඩනය තාවකාලික හැඟීමක්. ඊට වඩා  අර්ථවත්  දේවල්  වෙනුවෙන් තමන්ගේ  වටිනා  ජීවිතය කැපකරන්න උත්සාහ  කරන එක  අත්‍යවශ්‍ය  දෙයක්. එහෙම  පීඩනයකට  කෙනෙක්  ලක්වෙලා  ඉන්නවනම්   ඔවුන්ට  උපදෙස්  දෙන්න ඔබට   පුලුවන්.බලාපොරොත්තු  සුන්වීම තාවකාලිකයි කියා හිතෙන  හැමවිටම තව  බලාපොරොත්තු  ඇතිවෙනවා. විශ්වාසය  සිත තුල  ඇතිකරගන්න/ ඇතිකරවන්න. “පුළුවන්….ශක්තිමත්….ඉදිරියටම  යමු” වගේ  ධනාත්මක  වචන  සිතෙහි  රඳවන්න. තැන්පත්කරන්න. එය  යම් තරමකට  හෝ සිතට  එන පීඩනය පාලනය  කරාවි.

කතාකරන්න, ඇහුම්කන්  දෙන්න…

මානසික පීඩනයේ උපරිම ඵලය දිවිතොර  කරගැනීමයි. අප අතර සිටින බොහෝ දෙනෙක්  එච්චර දුරකට හිතට යන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා …. ඒක  තමයි  ලොකුම වරද වෙන්නෙත්. ඔබ  සිටින්නේ  මානසික  පීඩනයකින් නම්  ඒ ගැන ඔබේ  පවුලේ අය , යහලුවෙකු, නැත්නම්  මනෝ වෛද්‍යවරයකු හමු වී පවසන්න. හිතේ තිබෙන හැම දෙයක්ම  කියන්න පසුගාමී වෙන්න එපා.එවිට ඔවුන්ට ඔබ වෙනුවෙන් උපකාරයක්  කරන්න  පහසු  වෙනවා. ඔබේ  ප්‍රශ්න  තේරුම්ගන්න  පුළුවන්, යහපත්  විසඳුමක්  බලාපොරොත්තු වෙන්න පුළුවන්  කෙනෙකුට ඔබේ ගැටලුව  කියන එකයි  වඩාත්ම  වැදගත් වෙන්නේ.

ඔබ  එවැනි  කෙනෙකුට  ඇහුම්කන්  දෙන පුද්ගලයා  නම් පළමුවෙන්ම ඔබ තේරුම්ගත යුතු දෙය වන්නේ ඔවුන් ඔබ  කෙරෙහි  තබා  ඇති විශ්වාසයයි.  එනිසා  ඔබ පවසන  හැම වචනයක්ම ධනාත්මක , විසඳුමක් සහිත, උදව්වක්  වන  උත්තේජක  විය  යුතුයි. ගොඩක්  අය ඇහුම්කන්දෙන්නේ  සම්පුර්ණයෙන්  නෙමේ. නමුත්  අත්‍යවශ්‍ය  දෙයත්  එයමයි.

මේ  වගේ  ලකුණු  ඔබ  යම්  කෙනෙකුගෙන්  දැක  තිබෙනවද?

* යම්  කෙනෙක්  “මැරෙන්න හිතෙනවා” , “ජීවත්වෙන්න දැන් හේතුවක් නෑ” , “අනික් අයට මාව  දැන්  කරදරයක්”  කියලා කියනවානම් …

* කෙනෙක්  සැණෙකින් අධික ලෙස මත්පැන් හෝ  මත්ද්‍රව්‍ය ගන්නවා  නම්…. පිඩනයට ලක්වෙන්න ක්‍රම හොයනවනම්…

* පවුල , යහළුවන්ගෙන් ඈත්වෙන්න උත්සාහ කරනවානම්. නිතර නිදාගන්න පෙළඹෙනවා නම්, හැමවිටම තරහ ගන්නවානම්…

එවැනි පුද්ගලයන් ඔබේ දැඩි අවධානයට ලක්විය යුතුයි. ජීවිතය යනු නැතිකරගන්න තරම් නොවටිනා, පහසුවෙන් ලබාගන්න පුළුවන් දෙයක් නොවන බව ඔවුන්ට පැහැදිලි කරන්න. මෙපමණක්  දුරට අපේ හිත් පිඩනයට ලක්වෙන්නේ ඉතාම පුංචි ගැටළුවක් නිසා වෙන්න පුළුවන්.ඒ නිසා හිතට වහල් නොවී බුද්ධියෙන් සිතිය යුතුය යන හැඟීම ඇතිකරන එක හුඟක් වැදගත්. ජිවිතේට  එන ප්‍රශ්න, බාධක හමුවේ ශක්තිමත් වෙන්නට මිනිසුන් වන අප හැමදෙනාටම  පුළුවන්. ඉතින් ඇයි අපි ප්‍රශ්න වලට බයේ පැනල දුවන්නේ ?

තවදෙයක් : සමහර පුද්ගලයන් මානසික ගැටළු වලට විසඳුම් හොයන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් . එය හුඟක් වැරදි තීරණයක්. ඔබ කලයුතු හොඳම දේ ඔබට ඇති ප්‍රශ්නය මනෝ වෛද්‍යවරයකුට පැවසීමයි. මනෝ වෛද්‍යවරයා මෙහිදී විශාල කාර්යභාරයක් ඉටුකරනවා. ප්‍රශ්න ඇතිවුණාම ඒවාට විසඳුම් නොපෙනෙන බලවේග මඟීන් පතනවට වඩා වෛද්‍ය විද්‍යාව ප්‍රයෝජනයට ගැනීම තමයි වඩාත්ම  වැදගත් වෙන්නේ.

ආරක්ෂාව ලබාදෙන්න….

පිළිසරණක්  නොමැති වනවිට තවකෙකු දිගු කරන හස්තය කෙනෙකුට ලොකු ශක්තියක්. මානසික අවපීඩනයකින් සිටින කෙනෙකුට රැකවරණය බොහෝ වැදගත්.ඔහු හෝ ඇය වෙනුවෙන් ශක්තියක් වන්න. ඔවුන් හා තරහ ගන්න එපා, ඔවුන්ට තරවටු කරන්න එපා, ඔවුන්ට අත්‍යවශ්‍ය ම දේ ආදරය සහ රැකවරණයයි. ඒ නිසා හොඳ සවන්දෙන්නෙකු වී හැමවිටම ඔවුන්ට ධෛර්යයක් වන්න. “අනුකම්පාවෙන් තොරව හදවතින්ම ආදරය කරන්න”.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here