කාන්තා ඔබ, ඔබේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් ද?

0
3152

වර්තමානයේ කාන්තාවන්ට තමන්ගේ සෞඛ්‍යය ගැන ඇති අවදානය ප්‍රමාණවත්ද යන්න ගැටලූවකි. අද සමාජයේ කාන්තාව යනු පිරිමින් සමග උරෙනුර ගැටෙමින් වෙහෙසවී කටයුතු කරන ක්‍රියාකාරී චරිතයකි. ඔබ රැකියාවක් කරන කාන්තාවක් නම් උදැසන අවධි වූ මොහොතේ සිට නිවසේ කටයුතු, ඉවුම් පිහුම් කටයුතු අවසන් කර රැකියා ස්ථානය කරා යනුයේ සෙනඟ පිරුණු පහසුකම් අවම පොදු ප්‍රවාහන මාධ්‍ය මගින් විය හැක. නැවත සේවය අවසන් කර එලෙසම පැමිණෙන ඔබ නිවසට පැමිණෙනුයේ විවේක ගැනීමට නොවේ. නැවතත් නිවසේ, දූ දරුවන්ගේ කටයුතු ඉටුකර දෙන්න වෙහෙස වන ඔබගේ විඩාබර දින චර්යාව තුළ මොහොතක් ඔබේ සෞඛ්‍ය ගැන සිතුවාද? ඔබට දැනෙන සුලූ හෝ ශාරීරික වෙනසක් පිළිබඳව ඔබේ අවධානය යොමු කළාද? සමහර විට ඔබට දැනෙන සුළු ශාරීරික වෙනස්වීමක් නොසලකා හැරීම අසාධ්‍ය රෝගයකට අතවැනීමක් විය හැක. එසේ නම් ඒ සඳහා ඔබ කාන්තා රෝග පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.

කාන්තා රෝග පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම මෙම ලිපි පෙලෙහි අරමුණ වන අතර කාන්තාවක් වශයෙන් ඔබ ඉතාම නිරෝගී පුද්ගලයෙකු වුවද ඔබගේ මව, දියණිය, සහෝදරිය, යෙහෙළියගේ ගැටලූ හමුවේ උපකාර කිරීමට මේ දැනුවත් බව  ඔබට බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

ආයුර්වේදයේ කාය චිකිත්සාවේ කායික රෝග පිළිබඳ සාකච්ඡා කිරීමේදී ස්ත්‍රී රෝග යනුවෙන් රෝග සමූහයක් වෙන් කොට දක්වා ඇත. එසේම ඒ සඳහා සුවිශේෂී වූ චිකිත්සා ක්‍රමත් මැනවින් දක්වා ඇත. කාය චිකිත්සාවේදී සාකච්ඡා කෙරෙන බොහෝ රෝගයෝ ස්ත්‍රී පුරුෂ දෙපක‍ෂයටම පොදු ඒවාය. එහෙත් ස්ත්‍රී රෝග එසේ නොවේ. ලිංග භේදය අනුව ස්ත්‍රී පුරුෂ ලෙස ඛෙදීමේදී ඇය ස්ත්‍රියකයැයි සමාජය හඳුන්වන්නේ බාහිර වශයෙන් ඇය තුළින් විද්‍යාමාන වන අංග උපාංග සහ කාන්තාවන්ට පමණක් සුවිශේෂ වූ නාරි ගති ස්වභාවය සහ ලාලිත්‍ය සුකුමාර බව යනාදී විශේෂ ගුණාංග නිසයි. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ස්ත්‍රිය යන්න ආයුර්වේද මූල ග්‍රන්ථීවල ඉතා ගැඹුරු අරුතකින් සවිස්තරව දක්වා ඇත. එමගින් ස්ත්‍රී යන පදයට කෙතරම් සාධාරණීකරණයක් ලබාදී ඇත්ද යන්න ස්ත්‍රී යන පදය ආයුර්වේද මතානුකූලව විග්‍රහ කිරීමෙන් මනාව පැහැදිලි වේ.

”ස්න්‍යායති ගර්භො යස්‍යා මිති ස්ත්‍රී” යන සංස්කෘත පාඨයෙන් ගර්භයක් දරන්නිය ස්ත්‍රිය යන අදහස දී ඇත. අතීත කාලීන මතය අනුව ස්ත්‍රියක් ලෙස හැඳින්වීමට සුදුසු වන්නේ විවාහයෙන් පසු දරුවකු ප්‍රසූත කළ කාන්තාවක් පමණි. ප්‍රජා වර්ධනයේ මූලික හේතුව වන ඇය පරම්පරාවක් පවත්වා ගැනීමට උපකාර වන හෙයින් ස්ත්‍රිය පිළිබඳ සැලකිලිමත් වීම කාලානුචිත ද වේ.

ශරීර රචනාව (anatomy)  හෙවත් ශරීරය නිර්මාණය වී ඇති ආකාරය හදාරන විට ස්ත්‍රී ශරීරයෙහි පුරුෂ ශරීරයට වඩා විශේෂ ඉන්ද්‍රිය කොටසක් පවතින බව ප්‍රකට වේ. ඒ නිසා ස්ත්‍රියගේ සිරුරේ හැඩයෙහි, වස්ති කෝෂය (pelvic cavity -උකුල් ප්‍රදේශය) හැඩයෙහි විශේෂ වෙනසක් පවතී. මෙම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය මත ජීවිතයේ විවිධ අවස්ථාවල ස්ත්‍රිය මුහුණපාන විශේෂ ස්වභාවික සිදුවීම් ද කිහිපයකි. පුරුෂයා කෙරෙහි විද්‍යාමාන නොවන මල්වරය, මාසික ඔසප් වීම, පියයුරු වර්ධනය, ගර්භණීභාවය, ප්‍රසවය, පශ්චාත් ප්‍රසව කාලය, (දරුවකු බිහි කිරීමෙන් පසු කාලය) අර්ථවාභාවය යනු ස්ත්‍රීන්ට පමණක් පොදු වූ ශාරීරික කි්‍රයාවලියන්ය. මෙකී ක්‍රියාවන් මුල් කරගෙන ඇති වන විශේෂ රෝග අවස්ථා හා ඒ සඳහා විශේෂ චිකිත්සා කර්ම ද ඇත. ස්ත්‍රීන්ගේ විශේෂ ඉන්ද්‍රියයන් ඉහත කී විශේෂ අවස්ථාවන් ඇසුරු කොට හටගන්නා විවිධ වූ ස්ථානික, ආගන්තුක, ශාරීරික, මානසික සහ ත්‍රිදෝෂජ රෝග සියල්ල ස්ත්‍රී රෝග ලෙස හැඳින්විය හැක.

මෙම ස්ත්‍රී රෝග සඳහා විශේෂ චිකිත්සා ක්‍රම යෙදිය හැකි අතර ඒ සඳහා ක‍ෂාය, සම්පාදිත ඖෂධ, විවිධ ඖෂධ යෝධ හා අනුපාතවල උපයෝගීතාව යොදා ගනු ලැබේ. ඒ අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස වන අතර විවිධාකාර වූ බාහිර ප්‍රතිකර්ම රාශියක් ආයුර්වේදයෙහි දක්වා ඇත. චිකිත්සා උපාය මෙන්ම එම රෝගවලින් වැලකී සිටීමට හා රෝගී අවස්ථාවන්හි උපයෝගයට පථ්‍යාපථ්‍ය ලෙස ආහාර විහරණ භාවිතය ද වැදගත් වේ.

නූතන වෛද්‍ය විද්‍යාවේදී ස්ත්‍රී ජනනේද්‍රිය පිළිබඳ විවිධ රෝග හා චිකිත්සා ක්‍රම ඇති අතර ආයුර්වේද මූල ග්‍රන්ථවල යෝනි ව්‍යාපත් ලෙස හැඳින්වනුයේ ස්ත්‍රී ජනනේද්‍රියෙහි එක්තරා අංගයක් පිළිබඳ රෝග පමණක් ද යන්න ඔබට ගැටලූ විය හැය. කිමද ස්ත්‍රී යෝනිය යනු ජනනේද්‍රියෙහි එක් කොටසක් බැවිනි.

කෙසේ නමුත් ආයුර්වේදයෙහි යෝනි යන පොදු ඇරතින් ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල සහ යෝනී මාර්ගය යන සියලූ අංග විග්‍රහ කරනු ලබයි. නමුත් නූතන වෛද්‍ය විද්‍යාවේ යෝනිය යනු vagina නම් වූ එක් අංගයක් පමණක් ලෙස හඳුන්වයි. එබැවින් මෙහිදී නවීන වෛද්‍ය විද්‍යානු මතය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යානු මතය දක්වන යෝනි යන වචනයෙහි අරුත වැරදි ලෙස වටහා ගත යුතු නොවේ. ආයුර්වේදයට අනුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇති වන ඕනෑම රෝගී අවස්ථාවක් යෝනි ව්‍යාපත් ලෙස සලකයි. එබැවින් සාමාන්‍ය ව්‍යවහාර වන ස්ත්‍රී රෝග හා ආයුර්වේදානුකූල යෝනි ව්‍යාපත් යනුවෙන් හඳුන්වන්නේ එකම රෝග සමූහයකි.

යෝනි ව්‍යාපත් පිළිබඳ දැන ගැනීමට ප්‍රථමයෙන් ඔබ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කෙසේ නිර්මාණය වී ඇත්දැයි දැනගැනීම වැදගත් වනු ඇතැයි සිතමි. ඊලඟ ලිපිය  තුළින් ඒ හා සම්බන්ධ වටිනා ලිපියක් බලාපොරොත්තුවන්න.

මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ බාහිර කථිකාචාර්ය, ආයුර්වේද වෛද්‍ය කේ. අචලා ද සිල්වා (විලේපනවේදී)  මහත්මිය සමග සකසන ලද ලිපියකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here