හිත කියෙව්වා වගේ බිරිඳ ගැන දැනගන්න, හැම සැමියෙක්ම මේ ලිපිය කියවන්න

0
5256

දවසක අවසානය කොයිකාටත් විඩා බරයි. වැඩිහිටි අපිට විතරක් නෙවෙයි, පුංචිම පුංචි දරුවෙක්ට වුණත් දවසක් ගෙවෙන කොට පොඩි වෙහෙසක් දැනෙනවා ඇති කියලයි මගේ අදහස. රැකියාවට යන අම්මලා තාත්තලා තමාව ගන්න එනකං දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටින දරුවෝ, අච්චිලා සීයලාගේ ආරක‍ෂාව යටතේ මව්පියන් එනතුරු බලාසිටින දරුවො වගේම තමන්ගේ සැමියා එනතුරු දරුවන් එක්ක නිවසට වෙලා බලන් ඉන්න බිරින්දෑවරුත් ඕනෙ තරම් ඉන්නවා.

ඉතිං මේ හැම තැනකම සැමියා කියන චරිතයට ලැඛෙන්නේ සුවිශේෂී ස්ථානයක් කිව්වොත් වරදක් නැහැ. මොකද අම්මා නිවසට ආපු ගමන් දරුවන් එක්ක කතා කරායින් නොකරයින් යන්නේ මුළුතැන්ගෙට. තාත්තා තමයි දරුවන්ට ඉතිරි වෙන්නේ. අම්මා දවස පුරාම රාජකාරිවල නිතර වුණත් හෙට දවසටත් ලෑස්ති වෙන්න එපැයි. තාත්තා කියන චරිතය අම්මාගෙන් වෙනස් වෙන්නේ ඔතැනදි. තාත්තාට වගකීම් තියෙනවා. ඒත් අම්මාට තියෙන්නේ අනිවාර්ය වගකීම්. අම්මාගේ වගකීම් කිසිවක් කාටවත් පවරන්න පුළුවන්කමක් නෑ. ඒ වගකීම් සියල්ල අකුරටම ඉටුකරන්න වෙහෙසෙන ඇය එනම් නිවසේ අම්මා එහෙමත් නැත්නම් ඔබේ බිරිඳගේ හිතට පොඩ්ඩකට එඛෙන්න ආදරණීය සැමියෙක්ට බැරි වෙන්නේ කොහොමද?

හිතන්න, රාජකාරී දිනයක සන්ද්‍යා කාලය… ඔබේ බිරිඳ ඔබත් දරුවනුත් වෙනුවෙන් කෑම පිසිනවා. හරි කලබලයි. උදේ පිසින එළවළු මාළු සූදානම් කරනවා. ”බබා … කෑම පෙට්ටි වතුර බෝතල් ගේන්න… අම්මට වැඩ ඉවර කරන්න ඕනේ ඉක්මනට…” ඇය කෑ ගසනවා.  ඇගේ දෙපා ඇදුම් කනවා. ඇස් දනවා වගේ..

ඒ ඇයි? ඇය කැමතියි මේ සේරම වැඩ අවසන් කරලා බොහොම නැවුම්ව රාත්‍රියට පිවිසෙන්න. ඇඟ පත සෝදා ඇඳුම් ඇඳගත් පසු නැවත එළවළු මාළු අතගාන්න, ඉඳුල් අතගාන්න ඇයත් කැමති නෑ. ඉක්මනින් කෑම ටික උයලා හෙට උදේ වැඩ ටිකත් ඉවර කරලා හොඳ වොෂ් එකක් දාගෙන පුටුවකට බර වෙන්න ඇයත් කැමතියි. ඒකෙ වරදක් තියෙනවද?

බිරිඳ කොයිතරම් මහන්සියෙන් වුණත් රෑ කෑම හදන්නම ඕනෙද?

ඉතිං … ඔබ ඇයගේ සැමියා විදියට ඉඳලා හිටලා දවසකටවත් ”අද ඔයා උයන්න එපා… අපි අද පිටින් මොනවා හරි කමු රෑට…. ඔයාටත් මහන්සියිනේ….” මේ වදන් සිය දෙනෙකුට වුවත් කෑම පිසින්නට හැකි සවියක් ඇයට ගෙනෙනු ඇතැයි ඔබ සිතුවාද? අනිවාර්යෙන්ම අනේ නැහැ… මම උයන්නම්.. ඒ ඔබ ඇය ගැන සිතුවාට ඇය තුළ උපන් නැවුම් ආදර සිතිවිල්ලයි. ඇය වෙනුවෙන් යමක් කරන්නට ඔබේ සිතට නැගුණු සිතිවිල්ලට ඇයගේ ආදරණීය ප්‍රතිචාරයයි.

වෙහෙස ගැන නොසිතා ඈ පිසින කෑම වේලේ රස ගුණ කියන්න තරම්වත් ඔබට රූපවාහිනය මගහැරිය නොහැකිද?

සෑම අයෙක්ම තමන් කළ යම් කාර්යයක් සම්බන්ධයෙන් අනෙකාගෙන් ප්‍රතිචාරයක් අසන්නට කැමතියි. එය සාමාන්‍ය මනුෂ්‍ය ලක‍ෂණයක් කීවොත් නිවැරදියි. වෙහෙස වී නිවසට පැමිණි බිරිඳ සැකසූ ආහාර වේලේ රසය ක්‍රිකට් මැච් එකකට හෝ ප්‍රවෘත්ති විකාශයකට හෝ යට වෙන්නට ඉඩ අරින එක හරියි කියලා නම් හිතන්න එපා.

බිරිඳටත් පෙර ඔබ රාත්‍රී නින්දට ඇඳට යනවද?

නිවසක ආරක‍ෂකයා විය යුත්තේ සැමියායි. ඇය බිරිඳගේ මෙන්ම දරුවන්ගේත් ආරක‍ෂකයා විය යුතුමයි. නිවසේ වැඩ අවසන් කරන බිරිඳට ජනෙල් දොරවල් වැසීමේ වගකීමත් පවරන්නේ නම් ඔබ ඔබ ගැන ලැජ්ජා විය යුතු නොවේද? බිරිඳ වැඩ අවසන් කරන තුරු ජනෙල් දොරවල් පරීක‍ෂා කර බලා නිවසින් පිටත අමතක වූ යමක් තිබේද ගේට්ටුව හොඳින් ලොක් කර ඇත්දැයි බැලීමේ වගකීම පිරිමියෙකු ලෙස ඔබ පවරා ගත හැකි නොවේද?

ඔබ නිවසට පැමිනෙන්නට රෑ බෝවන දිනයන්හිදී අමතර යතුරක් රැගෙන යන්න හිතුවෙ නැද්ද

ඔබට නිවසට පැමිණීමට බොහෝ රෑ වෙන්නේ නම් බිරිඳට ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙන්න. ඒ වගේම රෑ මැදියම ඇයගේ නින්දට බාධා කරනවාට වඩා අමතර යතුරක් රැගෙන යාම වාඩාත් සුදුසු නොවේද? ඔබ මෙන්ම ඇයත් ගෙවුණු දිනයේ වෙහෙසට පත්ව සිටිනවා මෙන්ම එළැඹෙන දිනයේ වැඩකටයුතුවලට සූදානම් විය යුතුය. ඔබට ඇයට වඩා එක් පැය භාගයක් හෝ වැඩිපුර නින්දක් ලබාගත හැකි වන්නේ ඇයට මෙන් බවුම් පිහුම් කටයුතු ඔබට අනාවාර්ය නොව නිසාය. කෙසේ වුවද ඕනෑම බිරිඳක් තම සැමියා වෙනුවෙන් අවධිව බලා සිටීම කිසිදු විටෙක ප්‍රතික්ෂේප නොකරයි. නමුත් ”ඔයා නිදාගන්න, මම යතුරක් අරන් යන්නම්.. බොරුවට ඔයත් නිදිමරන්න ඕනේ නෑ” කියන ඔබේ පරාර්ථකාමී සිතුවිල්ල ඔබ වෙනුවෙන් සතියක් හෝ අවධිව සිටින්නට ඇයට ශක්තියක් වනු නිසැකය. තම සැමියා තමාගේ අපහසුතාවයන් පිළිබඳව කෙරතම් සිතනාව ද කියලා ඇයට හිතෙයි.

බිරිඳ ළඟට ආවම කරෙන් අත දාගෙන ළං කරගන්න ඔබට හිතුනෙ නැද්ද?

හිතන්න ඔබ පුටු සෙටියේ වාඩි වෙලා රූපවාහිනිය නරඹනවා. වැඩ අවසන් කළ ඔබේ බිරිඳ ඇවිත් ළඟින් වාඩි වෙනවා. ඔබ ඔහේ රූපවාහිනිය දෙසම බලා සිටිනවා. ඇයි ඔබට බැරි ඇයවත් සම්බන්ධ කරගන්න. ඔබ නරඹන විෂය සම්බන්ධව ඇය කැමැත්තක් නැති බව ඔබ දන්නා නිසා එසේ හැසිරෙනවා විය හැකියි. නමුත් ඇය ඔබ ළගට එන්නට ඇත්තේ ඔබ සමග එතැන රැඳී සිටීමට අවැසි නිසා විය හැකියි. ඉතිං ඔබට පුළුවන් නේද ඇගේ ගෙල වටා අත දමා ඇයව සමීප කරගන්න. වැඩසටහන නැරඹීමට ඇය කැමැත්තක් නැති වුණත් ඔබේ උණුසම ඇය සමග රැදෙන නිසා එතැන ඉන්න ඇය ආසා වේවි. ඇයට ඒ ගෙවන කාලය ගැන අපරාදේ කියලා නොසිතේවි.

බිරිඳගේ ඕනෑම ඉල්ලීමකට ඔබේ පිළිතුර පොඩ්ඩක් ඉන්න, මම මේක කරලා එන්නම් කියන එකද?

ඔබේ බිරිඳ ඔබට කතා කරනවා.. පොඩ්ඩක් ඉන්න මම මේක කරලා එන්නම්.. ඔබේ කාර්යය අවසන් වන විට ඇයට ඔබේ අවශ්‍යතාවයක් නොමැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉන්නෙත් දාලා එන්න බැරි වැඩික වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ඇයි කියලා අහන්න ඔබට පුළුවන් නේද? ඒත් හැම වෙලේම මේ උත්තරේම දෙන්න එපා. ඔබේ අවශ්‍යාවයට දෙවෙනි තැන දෙන්න හැකි හැම අවස්ථාවකම ඇයගේ අවශ්‍යතාවය ඉක්මනින් සොයා බලන්න

අඹු සැමි සබඳතාවකදී හැරෙන්න ඇයව සිපගන්න ඔබට අමතක වෙනවාද?

බොහෝ සැමියන් සිතා සිටින්නේ තම බිරිඳ සමග ආදරණීයව ගෙවිය යුත්තේ අඹු සැමි සබඳතාවයකදී පමණක් බවයි. ඒ හැරෙන්නට ඇයව සිපගැනීම ළංකරගැනීම මහා වරදක් සේ ඔවුන් සිතයි. එය එසේ විය හැකිද? සෑම බිරිඳ තම සැමියා සමග සුළු මොහොතක් හෝ ආදරයෙන් ගතකරන්නට ආසා කරයි. එහි වරදක් නොමැත. රැකියාවට පිටත්ව යද්දී ඇයව සිප ඔබට නිවසින් පිටත්ව යා හැකියි.

ඔබ රෑ බෝ වුවද බිරිඳ කුසගින්නේ ඔබ එනතුරු සිටිය යුතු යැයි ඔබ සිතනවාද?

සැමියා නිවසට පැමිණෙන තුරු රාත්‍රී ආහාර වේල ගන්නට ඇත්තෙන්ම බිරිඳකගේ සිතට හරිමදි කාරණයකි. ඇය කෙතරම් රෑ වුවද සැමියා නිරාහාරව එන බව දන්නේ නම් ඔහු එනතුරු බලා සිටී. ආදරය නිසා බිරිඳ එසේ සිටීම ඇතැමම්සැමියන් අනිවාර්ය කාර්යයක් ලෙස සිතීම විශාල වරදක් නොවේද? යම් හෙයකින් අධික කුසගින්නක් නිසා බිරි`ද කාලාතුරකින් හෝ ආහාර ගෙන සිටියොත් ඇය සමග කේන්ති ගනිමින් අදාල නොව දේ කෙරේ කෑ ගසමින් සිටින සැමියෙක් මේ තත්ත්වය මනාව අවබෝධ කරගත යුත් වේ.

ඔබට ඇති නිදහස ඇයට නැතිවෙන්නේ කොහොමද?

ඔබ පරිගණකයේ ඇති තරම් සැරිසරමින් වීඩියෝ ගේම්/චිත්‍රපට සමග විනෝදවෙන අතරේ ඔබේ බිරිඳ ෆේස් බුක් ගොස් කාලය නාස්ති කරනවා යැයි මැසිවිලි නගනවාද? එසේ නම් ඔබ නාස්ති කරන්නේ කාලය නොවේද? එවැනි අවස්ථා හමුවේ සාධාරණව සිතන්නට ඔබ කාරුණික විය යුතුය.

මිතුරන් සමග ප්‍රියසම්භාෂණ විනෝද චාරිකා සඳහා සහභාගී වන ඔබ බිරි`දට එවැනි අවස්ථාවක් ලබාදෙන්නට හිතන්නේ නැතිද?

සතුට/විනෝදය/නිදහස/මිතුරු ඇසුර කාන්තා පුරුෂ භේදයකින් තොරව අපි සැවොම පි්‍රයකරයි. ඉතිං ඔබට මෙන්ම ඔබේ බිරිඳ මෙවැනි අවස්ථාවක් සඳහා නිදහස් කරන්නට නිවසේ කාර්යයන් පවරාගන්න ඔබටත් පුළුවන්

ඔබ සමග ජීවිතය ඛෙදාගන්න ආදරණීය බිරිඳ ගැන මේ විදියටත් හිතන්න ඔබට හැකි නම් ඇයගේ සිත තුළ ඔබ වෙනුවෙන් වූ ආදරය දෙගුණ තෙගුණ වනු නිසැකය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here