සිතේ ඇති වන කනස්සල්ල නිසා ඔබත් මානසිකව පීඩා විදිනවාද?

0
4938

ගොඩක් අය මානසික ගැටලුවලින් පීඩා විඳිනවා. ඒක ඔවුන්ට වගේම ඔවුන්ගේ පවුල් වල අයටත් ලොකු පීඩනයක්. සමීක්ෂණ වලට අනුව ලෝක ජනගහනයෙන් හතර දෙනෙකු ගෙන් එක්කෙනෙක් ජීවිතයේ යම් අවස්ථාවකදී මානසික ගැටලුවකින් පීඩා විඳිනවා. මානසික ගැටලු අතරින් වැඩියෙන්ම දකින්න තියෙන්නේ විෂාදයයි. ඒත් කෙනෙක්ගේ එදිනෙදා ජීවිතයට වැඩියෙන්ම බලපෑම් කරන්නේ භින්නෝන්මාදය සහ බයිපෝල කියන මානසික රෝගී තත්වයන් දෙකයි. මානසික ගැටලු තියෙන හුඟ දෙනෙක් ඒවා හඳුනාගෙන නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ට නිසි ප්‍රතිකාර ලැබිලා නැහැ.

ඇත්තටම ඔයාට හරි ඔයාගේ පවුලේ කෙනෙකුට හරි මානසික ගැටලුවක් තියෙනවා කියලා දැන ගත්තොත් ඔයාට කොහොම දැනෙයිද? බය වෙන්න එපා. මානසික ගැටලු වලට ප්‍රතිකාර තියෙනවා. අද අපි කතා කරන්න හිතුවෙ මේ සමාජයෙ බොහෝ දෙනෙක්ට තිබෙන මෙන්න මේ මානසික පීඩාවන් ගැන.

ආගම, ජාතිය, වයස, සංස්කෘතිය, අධ්‍යාපනය හා ආර්ථික මට්ටම මොකක් වුණත් ඕනෑම කෙනෙකුට මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්. මානසික ගැටලුවක් කියන්නේ සිතන පතන විදිහේ හා හැසිරෙන විදිහේ ඇතිවෙන ලොකු වෙනසක්. ගෙදර දොරේ, කාර්යාලයෙ, පාසලේ,හා සමාජයෙන් එල්ල වන යම් යම් දේ නිසා ඔබ එයට ඇබ්බැහි වූවෙක් ලෙස ඒ පිළිබඳ වැඩි දුර වැඩි වේලා සිතන්නට යෑම නිසා ඔබේ සිතට පැන නැගෙන ප්‍රශ්න සැබවින්ම ඔබ මානසිකව ඇඳ දමන්න පුළුවන්. එවිට ඔබට ඔබේ හැගීම් පාලනය කර ගැනීමට නොහැකිව යම් අවස්ථාවන් හී ඔබ ඔබේ ජීවිතයට පවා හානි කර ගන්න පෙළෙඹෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා එදිනෙදා වැඩ කටයුතු වලටත් අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන්නත් ඒක ලොකු බාධාවක්.

ඇත්තටම මානසික ගැටලුවකදි පීඩා විදින ඔබේ මානසික රෝග ලක්ෂණ කොයි තරම් උත්සන්න වෙනවාද හා ඒක කොයි තරම් කාලයක් පවතිනවාද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මොකද ඔහු මුහුණ දෙන තත්වයන් හා ඔහුට තියෙන රෝගයේ ස්වභාවය ඒකට බලපානවා. ඒ වගේම තමයි නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා නම් සාමාන්‍ය තත්වයට පත්වෙන්න පුළුවන් වගේම සමහර පුද්ගලයන්ට වෙනස් ගතිගුණ හා පුරුදු තිබුණාට ඔවුන් මානසික ගැටලුවක් තියෙන අය කියලා කියන්න බැහැ .

මානසික රෝග පිළිබඳ විශේෂඥයන්ට ගොඩක් මානසික ගැටලුවලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අද්දැකීම් ලත් දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් රෝගී තත්වය ගැන හැම විස්තරයක්ම දැනගන්න. ඒ වගේම රෝගී තත්වය ගැන කතා කරන්න තියෙන බය නැති කරගන්නත් ඕනේ. විශේෂයෙන්ම උපකාර කරන විශේෂඥයන්ට නොසඟවා තොරතුරු කියන එක අත්‍යවශ්‍යයි. රෝගී තත්වය තේරුම්ගන්න, රෝගය නිසා මතු වන ගැටලුවලට මුහුණ දෙන්න අවශ්‍ය උපකාර ලබා දෙන්න හා නොකඩවා බෙහෙත් ගැනීමේ අවශ්‍යතාව තේරුම් කර දෙන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි. ප්‍රතිකාර ලබාගන්න යන අවස්ථාවලදී පවුලේ සාමාජිකයෙකු හෝ කිට්ටු මිතුරෙකුගේ සහය ලබාගන්න.

ඒ වගේම තමයි ඔයා කොයි වේලාවක වත් ඔයාට යම් ගැටලුවක් තියේ නම් තනියම ඒ ගැන කල්පනා කරන්න යන්න එපා.ඔයාට ළඟම කිට්ටු කෙනෙක් එක්ක ඔයාගෙ ප්‍රශ්න ගැන කතා කරන්න එයාගෙනුත් යම් උපදෙසක් ගන්න. පොඩි පොඩි දේවල් නිසා මානසික මට්ටම අන්තෙටම බැහැපු අය අප අතරෙ නැතිවම නෙවෙයි.ඉතින් ඔයා ප්‍රශ්න ගැන වැඩියෙ හිතලා හිත කලබල කර ගන්න එපා.පොඩි දේටත් හිත කලබල වෙලා බය වෙන ගතිය ඔබටත් තිබේ නම් ඇත්තටම ඔබ මානසිකව ගොඩක් දුර්වල මට්ටමක ඉන්න කෙනෙක්.

ඉතින් ඔයාට පුළුවන් නම් ඔයා තනියම ඉන්න වෙලාවට ප්‍රශ්න වලට ඉඩ නොදි සිත සැහැල්ලු කර ගන්න පුළුවන් විදියට භාවනා කරන්න, පොතක් පතක් කියවන්න, සිංදුවක් අහන්න හුරු වෙන්න.මොකද ප්‍රශ්න එන පලියට ඒවා ගැනම හිතන්න ගියොත් නම් ඔයාට නවතින්න වෙන්නෙ මානසික ලෙඩෙක් වෙලා.ඒ නිසා පුළුවන් තරම් ප්‍රශ්න මග ඇරලා ජීවිතේ විදවන්නෙ නැතිව විදින්න පුරුදු වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here