වන සතුන්ට කෑම දෙන්න ඔයාලත් කැමතිද?

0
3460
wild-life

ඉස්සර වගේ කතරගම යන්න දැන් ගොඩක් වෙලා යන්නේ නැහැ. පාරවල් ඉතාම හොඳ තත්වයේ තියෙන නිසා පැය තුනහමාරක් හතරක් විතර යනකොට ගාල්ලේ ඉඳලා කතරගමට යන්න පුළුවන්. ඉතින් කතරගම ඉඳලා උදේ එන්න පිටත් වුනාම වේලාසනින්ම ගාල්ලට යන්න ඕනේ නැති නිසා දවසක් අපි හිතුවා සිතුල්පව්ව පැත්තෙන් යන්න.

කතරගම ඉඳලා සිතුල්පව්වට 17km විතර දුර තියනවා. යාල වනෝද්යානයේ  කොටසක් තුලින් ගමන් කරන්න තියෙන්නේ. බතල කඳු වගේ තියෙන මැටි පාරේ ගමන් කරන්න අපි හිතපු තරම් පහසු උනේ නැහැ. පාරවල් තාර දාන්නේ හෝ කාපට් අතුරන්නේ නැත්තේ වේගයෙන් යන වාහන වලින් සතුන් ආරක්ෂා කර ගන්න වෙන්න ඕනේ.

ඔන්න වනෝද්යානය තුලින් ටික දුරක් ගමන් කරන වෙලාවේ අපි දැක්කා පාර අයිනේ වල් ඌරෙක් ඉන්නවා දළ දෙකකුත් තියෙන. වල් ඌරා කියන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ජීවත් වෙන සතෙක් උනත් දැකගන්න ලැබෙන්නේ කලාතුරකින්. අපේ ගම් වල ඉතුරු වෙලා ඉන්න ඌරො , ඉත්තෑවෝ, මීමින්නෝ ආදී සතුන්ට නම් දහවල් කාලයට නිදහසේ සැරිසරන එක හීනයක් වගේ. ඉතිරි වෙලා තියෙන ලඳු කැලෑ වල මිනිසුන් අටවන උගුල් වලින් බේරිලා ජීවත් වෙන්න වගේම කෑම සොයාගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න ඕන ඇති. රාත්‍රියට වගා පාළු කරන නිසා ගොවි මහතුන්ට නම් මේ සතුන් තරහ කාරයන්. ගෙදර මිදුළ අයිනේ හිටවපු වගාවන්ට උනත් රෑට හොරෙන් ඇවිත් හානි කරන්න මේ සතුන් පුරුදු වෙලා. සතුන් අතරින් මිනිසා පෘතුවි තලයම ආක්‍රමණය කිරීම ඇත්තටම අසාධාරණයි.

wild life1

එහෙම බැලුවම මේ සත්තු හරිම වාසනාවන්තයි. ඉතින් ඌරා හොඳින් දැක බලාගන්න ඕන නිසා අපි ගමන් වේගය බාල කලා . ඌ තව ටිකක් පාර මැදට එනවා මිසක් බයවෙන  වගක් තිබුණේ නෑ. වාහනය නතර කලාම අපිට තේරුණා ඌරා අපෙන් කෑම බලාපොරොත්තු වෙන බව. මේ විදියට ඉස්සරහට යනකොට මීටර සීයෙන් සීයට වගේ ඌරො පාරේ ඉන්නවා. හරි පුදුමයි. වාහන සද්දෙට පාරට එනවා ඇති. සතුන්ට කෑම දීමෙන් වලකින්න කියලා ඔටාරා පදනමෙන් මඟ දිගට දැන්වීම් සවිකර තිබුනත් එයින් ප්‍රතිපලයක් වෙලා තිබුනේ නෑ. බෝල වගේ පැටව් ගොඩක් එක්ක ඌරු පවුලකුත් හිටියා. ඊළඟ පරම්පරාවටත් මේ සිඟමනේ යාම දායාද වෙනවා දැකීම කණගාටුවට කාරණයක්. සතෙක් දැක්කාම කෑම ටිකක් දෙන්න හිතෙන එක හොඳ දෙයක් උනත් ඒකෙන් දිගු කාලීනව සිද්ධ වෙන්නේ යහපතක් නම් නෙමෙයි.මේ සතුන්ගේ ස්වාභාවික චර්යාවන් වෙනස් වෙනවා. පොලිතීන් වගේ දේවල් ශරීරයට එකතු වෙන්න පුළුවන්. සතුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙනවා. මිනිසුන්ටත් සතුන්ගෙන් කරදර වෙන්න පුළුවන්.

අපට දවස් කීපයක් මුණගැහිලා තිබුණා මේ වගේ කෑම ඉල්ලන අලි කතරගම – බුත්තල පාරෙදි. කෑම නොදී මිසක් යන්න බැරි විදියට ඒ අලි පාර හරස් කරනවා. ඒ ගැන දැනුවත් අය කෙසෙල් , අන්නාසි වගේ පලතුරු අරගෙන යනවා අලින්ට දෙන්න. ඒ අයගේ පිහිටෙන් අපට එතනින් මාරු වෙන්න පුළුවන් උනා ඒ දවස් වල. දැනටත් යාල නරඹන්න යන සංචාරකයන්ට අලින්ගෙන් වෙන කරදර නිතර අහන්න දකින්න ලැබෙනවනේ. මේ විදියට ගියොත් සමහරවිට වල් ඌරොත් මේ වගේ පාර හරස් කරන්න බැරි නෑ ඉස්සරහට.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here