පසුතැවිලි නම් වෙනවාමයි!

පසුතැවිලි නම් වෙනවාමයි

ලොකු, පොඩි, විශේෂ ඕනෑම වර්ගයේ තීරණයක අවසානයේ අනිවාරයෙන් ම පසුතැවිලිවීමක් නම් ඉතුරු වෙනවා. දෙපැත්ත, තුන් පැත්ත ගැන කොච්චර හිතලා කොයි තරම් අමාරුවකින් එක පැත්තක් තෝර ගත්තත් ඒකට අනුව ජීවත් වෙන්න ගියහම අර අතහැරුණු තීරණය ගැන පසුතැවිලි වෙනවාමයි. අපරාදේ මේක නැතුව ඒක කළා නම් හොඳයි වගේ දෙයක් හිතුනෙ නැත්නම් පුදුමයක්.

ඕන ම සම්පූර්ණයි කියලා හිතන මනුස්සයෙක් හරි අසම්පූර්ණයි කියලා හිතන මනුස්සයෙක් හරි ඒ කෙනා අනිවාරෙන් දෙයක් ගැන තීරණයක් ගන්න ගියහම එතනදි හිර වෙනවා. තීරණයක් ගන්න වෙන්නෙ එක පැත්තක් ඇතෑරලම දාලා වෙන්න පුළුවන්. එක පැත්තක් තෝර ගන්නම වෙන නිසා ඒක තෝර ගන්නවා. ඒත් ඒකට අනුව ජීවත් වෙන එක දවසින් දවස මිනිස්සුන් ව ප්‍රශ්නවල පටලවනවා. ඊට පස්සේ නිරතුරුව ම පසුතැවිල්ල කියන දේ රජයන්න පටං ගන්නවා.

කෙනෙක් අත්දැකීම් ලබනකොට විවිධ ස්ථරවල මිනිසුන් ඇසුරු කරනකොට තමයි ඒ අයගේ ජීවිත ගැන තීන්දු තීරණ ගන්නේ. එක තැන ඉන්නවට වඩා ඒ අයට සමාජේ අදුන ගන්න පුළුවන් වෙන්නෙ කරන කියන දේවලින් පවා ඉදිරියට යනකොට. ඒ අඳුර ගන්න සමාජය ඇතුළෙ මුල දි තමන්ට සමීප නොවුණ අය, තමන් ළඟ ඉන්නවට වඩා සිය දහස් ගුණයකින් හොඳ අය හම්බ වෙනවා. අපි තැනක නතර වෙලා ඉන්නවා වෙන්න පුළුවන් හැබැයි අපිට ඊට වැඩිය අවස්ථාවක් හම්බ වෙන්නේ අපිට තීරණයක් ගන්න හිර වෙලා ඉන්න තැනක වෙන එක නම් කරුමයක්. ඒත් එතනදී වැනෙන්නේ නැතුව තීරණයක් ගන්න ඕන.

රාජකාරි, ලව් කෙස්, ඉගෙන ගන්නකොට, යාළුවෝ ඇසුරු කරද්දි විශේෂයෙන් දෙයක් ඇතෑරලා තීරණයක් ගන්න ගියහම පසුතැවීම කියන දේ ප්‍රබල ව බලපෑම් කරන සාධකයක්. ඒක කරගෙන හිටිය නම් හොඳයි කියලා හිතෙන්නේ අලුත් එක පටං අරං ටික කාලයක් ගියාට පස්සේ. හැබැයි ඒ වෙනකොට හැරෙන්න බැරි තැනක ඉන්නවා ඇති. ඒත් අලුත් දේට අවතීර්ණ වෙනකල් හිතන්නේ අනේ දැන් නං මේක ඇති අර option එකට ගියා නම් හරි වගේ දෙයක්.

හොඳ නරක එක්ක දෝලනය වෙන මිනිස්සුන්ට කොයි තීරණය ගත්තත් එදිනෙදා මුහුණ දෙන්න තියෙන දේවල් සහ කල් යනකොට සාමාන්‍යවීම වගේ හේතු නිසා පසුතැවීම කියන දේ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒත් හොඳට හිතලා හෝ නැතුව ගත්තු තීරණ නිසා ගොඩක් සතුටින් ඉන්න අයත් ඉන්නවා. ගත්තු තීරණ නිසා පසුතැවිලි වෙන එක මෝඩ වැඩක්. හැරෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. ඒත් හැරෙන්නත් බැරි නම් තැවී තැවී ජීවත් වෙනවට වඩා ඒ ජීවිතේට සතුට ලංකර ගන්න පුළුවන් දේවල් ගැන හිතුව නම් හරි.

මිනිස්සු කියන්නේ කොච්චර තිබුණත් සෑහීමකට පත් වෙන ජාතියේ පිරිසක් නොවන නිසා කොයි දේ සම්බන්ධෙනුත් අවසාන වශයෙන් පොඩි හරි පසුතැවීමන් ඉතුරු වෙන්නෙ නෑ කියලා කියන්න බෑ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here