පිළිකාව ඇයට පරාජය විය

dinujaya-arts
පිලිකාවක්…

මේ අපි ජීවිතයේ අහන්න අකමැතිම මාතෘකාවක්.. ඒත් කෑගල්ල, රඹක්කන පදිංචි තක්ෂිලා ගුණතිලක මහත්මියට අකමැත්තෙන් වුනත් ඒ අවාසනාවන්ත ඉරණමෙන් පලා යන්න බැරි වුනා. ජීවිතය අපි හිතන විදිහටම සුන්දර නැති බව හිතුනේ ඒ වගේ වෙලාවටයි. කාන්තාව කියන්නේ සුලඟට සෙලවුනත් මහා කම්පාවට ඔරොත්තු දෙන චරිතයක් විදිහට සමාජගත වෙලා තියෙනවා වගේම තක්ෂිලා පිලිකාව ඉදිරියේ සැලුනේ නැහැ. ඇය ඉන්දියාවේ ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සමග ආර්ථික පැත්තෙන්ද ජීවිතය බොහෝ සේ ආපස්සට ගියා.

අත්වැලත් බිදුනා…

කාන්තාවන් විදිහට අපේ පුංචි කාලයේ පටන්ම සිහිනය දීගතල ගිහින් දරු මල්ලන් ලබා ගෙන එක වහලක් යට ජීවත්වීමේ සුන්දර සිහිනයක්. තක්ෂිලාටත් සාධාරණ වුන මේ සිහිනය ඇගේ ඇස් ඉදිරිපිටම නැති වුණා. විවාහය වෙනුවෙන් පිරිමියෙක් සොයා ගන්න ලෙහෙසියි. ඒත් අවසානය වෙන තෙක් රැ‍ඳෙන කෙනෙක් සොයා ගැනීම සමහර විට ගැටලුවක් වෙන්න පුලුවනි. ඇගේ සැමියා මේ පිලිකා රෝගී කාන්තාව හැර දමා ගියා. මේ වෙන විට ලොකු පුතාගේ වයස අවුරුදු 8 ක්. දැන් ඔබේ මනසේ මැවෙන සිතුවම දිහා ඔබම බලන්නකෝ.

ඒත් දරුවන්ට ජීවිතයක් එපායැ…

බිරිඳ කෙසේ වෙතත් තමන්ගේම ලෙයින් මසින් උපන් දරුවන් හැර පියා සැමියා ගියත් තක්ෂිලාට ඒ කාර්යය ලෙහෙසි පහසු වුනේ නැහැ. ඒත් ඇයට බොහෝ විවාහ යෝජනාවන් පැමිණියත් තක්ෂිලා ඒ වෙනුවෙන් කැමැත්තක් දැක්වූයේ නැහැ. කොහොම වුනත් දරුවන් දෙදෙනා හදාවඩා ගෙන ඉන්න ස්ථාවරයේ ඇය සිටියා. මේ වෙන විටත් ඇය රජයේ රැකියාවක නිරතව සිටියා.

ජීවිතය ගෙනියන්න මුදල් …..

වැටුපෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නැති නිසා අමතර ආදායමක් හොයන්න ඇය කල්පනා කලා. රක්ෂණ සමාගමක සේවයට ගියත් මට එතැන ඇති වුන ප්‍රශ්න නිසා එයින් අයින් වුණා. මේ අතර කඩදාසි පල්පවලින් නිර්මාණ කරන වැඩමුලුවක් ගැන දැනගන්න ලැබුණා. මම ඒ වැඩමුලුවට සම්බන්ධ වුණා. ඔවුන් යම්කිසි දැණුමක් ලබා දුන්නත් එය සම්පූර්ණ දැනුමක් නොවෙයි.

මට අලියෙකුගේ අච්චුවක් හදල දෙන්න..

මට අවශ්‍ය වුනේ අලියෙකුගේ අච්චුවක් හදා ‍ගෙන මුර්ති අඹලා වෙළඳපොලට ඉදිරිපත් කරන්න. ඒත් මට අච්චුවක් හදා දෙන්න ඔවුන් කැමැත්තක් දැක්වුයේ නැහැ. “අලියෙක් මැටියෙන් අඹාගෙන එන්න…එතකොට අච්චුවක් හදලා දෙන්නම්..” අවසානයේදී ඔවුන් මට කිව්වා.

අලියෙක් වෙනුවට දිවියෙක්..

මට අලියෙක් නිර්මාණය කරන්න හැකියාවක් ඇත්තේම නැහැ. ඒත් වාසනවාකට වගේ මගේ පුංචි කාලයේ පටන්ම ලංකාවේ දිවියට මම ඇලුම් කලා. ඒ නිසා මට දිවියෙක් නිර්මාණය කරන්න පුලුවන් වුණා. ඔවුන් මට අච්චුවක් සාදන විදිහ එහිදී කියා දුන්නා. පාඨමාලාව එතැනින් අවසානයි. මගේ ව්‍යාපාරය එතැනින් පටන් ගත්තා.

මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය එතැනින්..


මුලින් වැරදි වැරැදි නිර්මාණය කලා. ඒත් අතේ හුරුව සමග මගේ හිතට නිර්මාණශීලි අදහස් ලැබෙන්න පටන් ගත්තා. දැන් මට අලියෙක් වෙනුවෙන් අච්චුවක් හදලා මූර්තියක් නිර්මාණය කර ගන්න පුලුවන්. එක්තරා ප්‍රදර්ශනයකදී මගේ නිර්මාණ වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ලැබුනා. මේ අවස්ථාවේදී ජනකලා කේන්ද්‍රයේ සභාපතිතුමා මට බත්තරමුල්ලෙන් ප්‍රදර්ශනාගාරයක් පවා ලබා දුන්නා.දැන් මගේ නිෂ්පාදන මැටියෙන් සහ කඩදාසි පල්ප වලින් නිෂ්පාදනය වෙනවා. ඒ වෙනුවෙන් දේශීය වගේම විදේශීය වෙළඳපොලටත් දැන් ලබා දෙනවා. “සීරෝ” ආයතනය මට ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා.

මැටි වෙනුවට කඩදාසි පල්ප

මම මැටියෙන් ගණදෙවි පිලිමයක් නිර්මාණය කලා. ඒ වෙනුවෙනුත් ඉහල ප්‍රතිචාර ලැබුනා ඒත් මම මැටියෙන් කරන නිර්මාණවලට වඩා කඩදා සි පල්ප නිර්මාන සැහැල්ලුවයි. ආරක්ෂාවය. කැඩෙන බි‍ඳෙන බව අඩුයි. විදේශිකයන්ට තමන්ගේ රටට ගෙන යන විට ඇති ගැටලු නිසා මගේ නිර්මාණය කඩදාසි පල්ප වලිනුත් කරන්න පටන් ගත්තා. මේ අතර පූර්ණකාලීනව මගේම ව්‍යපාරයක නිරත වෙන්න අවශ්‍ය නිසා මම රැකියාවෙනුත් අයින් වුණා.

අනාගතය…

මට දැන් අවශ්‍යතාවය තිබෙන්නේ පිගන්මැටියෙන් මේ නිර්මාණ හඳුන්වා දෙන්නයි. ඒ තාක්ෂණය ඉගෙනගන්න මම ශිල්ප සභාව සමගත් සාකච්ඡා කරනවා.

ඕකිඩ් වගාවටත්…

මේ අතර මම ඕකිඩ් වගාවට යොමු වුනා. ඒ කරන්නේ ලාභය උපයන්න නොවෙයි. “දිනිජය ආර්ට් ඇන්ඩ් ෆෝලෝරා” සන්නාමය යටතේ මගේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. මල්පැල අලෙවියෙන් මාසිකව ප්‍රමාණවත් ආදායමක් ලැබෙනවා. මගේ දැණුම බෙදා ගැනීමට ඕකිඩ් වගා කිරීම වෙනුවෙන් පුහුනුවීම් මුල් කාලයේදී නම් නොමිලයේ සිදු කළත් දැන් නම් සුලු මුදලක් අයකරනවා. ඒ වුනත් ගම් මට්ටමින් දුෂ්කර ආර්ථික තත්වයක සිටින ගෘහනියන්ට නම් නොමිලයේ  පැල ලබා දෙනවා.

සින්ගල් මදර් සංකල්පය ඔබටත්..

විදේශ රටවල නම් සින්ගල් මදර් (Single Mother) වෙනුවෙන් සමාජයේ තිබෙන අත හිත දීම අපේ රටේ නැහැ. ආවත් ඒ බොරදියේ මාලු බෑමක් පමණයි. ඒත් කාන්තාවන් විදිහට අපි ජීවිතය දිහා සුබවාදීව බලන්න ඕන. රූපවාහිනිය ඉදිරියේ කාලය ගෙවනවාට වඩා වර්තමානය යහපත් සහ ඵලදායී දෙයකට යොමු කිරීම වැදගත්. අපි කවුරුන් මත හෝ යැපෙනවාට වඩා අපිටම කියල කීයක් හෝ හොයා ගන්න පුලුවන් නම් එය ආඩම්බරයක්.

ඔබ සම්බන්ධ වීමට…

මම දැනට බොහෝ ඇනවුම් ‍ෆේස් බුක් ඔස්සේ ලබා දෙනවා. එයිනුත් සෘජුවම පාරිභෝගිකයා හමු නොවන නිසා විවිධ ගැටලු තිබෙනවා. මා හමුවෙනවා නම්,

තක්ෂිලා ගුණතිලක
පොලීසිය පාර,
රඹුක්කන
දුරකථනය : 0773357978

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here