ස්මාට් ෆෝනය නොමැතිව ඔබ දවස ජය ගන්නේ කෙසේද?

0
2974
ස්මාට් ෆෝනය නොමැතිව ඔබ දවස ජය ගන්නේ කෙසේද?

ඔබගේ ස්මාට් ෆෝනය නොමැතිව ඔබට දවසක්වත් ගත කල හැකිද? අද ස්මාට් ෆෝන් අපගේ හොඳම සගයන් බවට පත්ව ඇත. රාත්‍රියේදි අපගේ සුව නින්දට ස්මාට් ෆෝනය නිතරම බාධා කරයි. ෆේස්බූක් මසේජ් එකක් එහෙමත් නැත්නම් ඊමේල් එකක් ඔබට ලැබෙන විට ඔබ නැවතත් ස්මාට් ෆෝනය දෙස බලයි. බැටරියේ චාර්ජ් එක අඩු වන විට අප කලබල වේ. දවසේ කර්තව්‍යයන් සඳහා අවධානය යොමු කරනවා වෙනුවට අද අපි ස්මාට් ෆෝනයේ ප්‍රශ්න හා පණිවිඩ ගැන වද වෙමින් සිටින්නෙමු.

මෙය ඇබ්බැහිවීමක්ද එසේත් නැත්නම් මානසික ආතතිය සම්බන්ධ ප්‍රශ්නයක්ද? සමහර විට මේ සියල්ලම විය හැකියි. මටත් මෙලෙසම ස්මාට් ෆෝනය සම්බන්ධ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවූ අවස්ථා ඇත. මගේ රාජකාරියේ ස්වභාවය අනුව මට ස්මාට් ෆෝනය සමඟ වැඩි කාලයක් යෙදී සිටිය යුතු වේ. මේ නිසා නොදැනුවත්වම මම ස්මාට් ෆෝන් ඇබ්බැහියෙකු බවට පත් වුණෙමි. නව වසර ස්මාට් ෆෝනය නොමැතිව ආරම්භ කරන්නට මම අදිටන් කර ගත්තෙමි. නමුත් මෙය අභියෝගයකි. ඊට නොභියව මුහුණ දෙන්නට මා ලෑස්තීයි. ඔබත් මාත් සමඟද? එහනම් ඔබත් පහත දක්වා ඇති ක්‍රම වේද අනුගමනය කිරීමෙන් ස්මාට් ෆෝන් ඇබ්බැහිවීමෙන් ගැලවෙන්නට උත්සාහ ගන්න.

අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කරන්න.

පළමු පියවර : අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කිරීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය ඇති කරගන්න. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබ ස්මාට් ෆෝනය සමඟ ගත කරන කාලය අඩුවේ. සැබෑ ජීවිතයේ ජිවත් වන්නට පුරුදු වේ. අන්තර්ජාල සම්බන්ධතාවය ඇති ස්මාට් ෆෝනයකින් ලැබිය හැකි ප්‍රතිලාභ අනන්තවත් ඇත. නමුත් ඔබ දිවා රෑඅ නොබලා එහි ඇලී ගැලී සිටින්නේ නම් ඔබගේ කොන්දට, ඇස් පෙනීමට හා මානසික සෞඛ්යට අහිතකර බලපෑම් ඇති විය හැක. නිතරම ෆේස් බුක් ටයිම් ලයින් එක දෙස බැලීමටත් ඊමේල් පරික්ෂා කිරීමටත් ඔබට ස්මාට් ෆෝනයකින් හැකියාව ලැබේ. මෙහි ඇති රසාස්වාදයෙන් මදකට මිදී ඔබගේ ඵලදායිතාව වැඩි කරගන්න. අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි කිරීමෙන් ඔබට කාලය මෙන්ම මුදල් ද ඉතිරි කර ගත හැක.

ඔබගේ ආශාවන් හා බලාපොරොත්තූන් හඳුනා ගන්න.
ඔබ සිහින සැබෑ කරගැනීමේ අරමුණින් ජීවිතය ගෙවන්නේ නම් ස්මාට් ෆෝනය ඔබට අත්‍යවශ්‍ය උපාංගයක් වන්නේ නැත. වෙනත් අරමුණක් කෙරෙහි අවධානය යොමු කරන නිසා ඔබට කම්මැලි කමක් දැනෙන්නේ නැත. අප නිතරම ලැප්ටොප් එක ඕන් කරගෙන හෝ ස්මාට් ෆෝනයේ සමාජ ජාල වලට ගොස් කාලය ගත කරන විට අපට සැබෑ ජීවිතයේ මිතුරන් හෝ අත්දැකීම විඳගැනීමේ අවස්ථාව අහිමි වේ. තිරයේ low battery සඥාව දිස් වූ විට අපට තනිකමක් දැනේ. මේ ඇබ්බැහිවීම තුලින් මානසික ආතතිය හා සම්බන්ධ ප්‍රශ්න ඇතිවේ. ඔබ තම පවුලේ අයට වඩා ස්මාට් ෆෝනයට වැඩි සැලකිල්ලක් දක්වන්නට පුරුදු වේ.

ඔබට රැකියාවේ කම්මැලිකමක් දැනෙන්නේ නම් ඔබ එහි කරන්නේ කුමක්ද? තම රැකියාව ඉමහත් උද්යෝගයකින් කරන අයට කවදාවත් කම්මැලිකමක් හෝ තෙහෙට්ටුවක් දැනෙන්නේ නැත. ඔබගේ සිහින රැකියාව සාක්ෂාත් කර ගැනීම සඳහා වෙර දරන්න. එවිට ඔබගේ ස්මාට් ෆෝන් ඇබ්බැහිවීම තුරන් වීමට ඉඩ ඇත. ඔබට නිවසේ කරන්නට කිසිම දෙයක් නැත්නම් ස්මාට් ෆෝනයේ සමාජ ජාල වල කාලය වැය කරනවා වෙනුවට අලුත් විනෝදාංශයක් තෝරා ගන්න. ඔබ ජීවිතය අර්ථවත්ව හා අරමුණක් උදෙසා ගෙවන්නේ නම් ඔබ කවදාකවත් ස්මාට් ෆෝන් ඇබ්බැහිවීමට ගොදුරු වන්නේ නැත.

සාමාන්‍ය දුරකතනයක් මිලදී ගන්න.
අයිෆෝන් හා අනෙකුත් ස්මාට් ෆෝන් වලට පෙර යුගය මතකද? ඒ කාලේ, අප දුරකතනයක් භාවිතා කලේ හදිසි අවස්ථා වල කිසියම් කෙනෙකු සම්බන්ධ කර ගැනීමටය. පවුලේ ජංගම දුරකතනයක් සතු වූයේ එක් කෙනෙකුට හෝ දෙදෙනෙකුට පමණි. පවුලේ සියලුම දෙනා උදෑසන තම රාජකාරි වල කාර්යබහුල වෙමින් සිටි අතර ඔවුන් විවිධ කටයුතු වල මහත් උද්යෝගකයකින් නියැලුණි. ඒත් අද සමජය දෙස බලන්න. ඔබ බස් එකේ හෝ දුම්‍රියේ ගමන් කරන විට ඔබ අසල සිටින අය සමඟ කතා කරන්නට තරම් විවේකයක් තිබේද? සෑම දෙනාම තම දෑස් ඉදිරියේ ඇති ස්මාට් ෆෝනය දෙස එල්බ ගෙන සිටිති.

සමාජශීලි බව අඩු කරන්න.
ස්මාට් ෆෝනයක් නැතුව ජීවත් වීම අද බරපතල ගැටලුවක් වී ඇත.මෙය මත්ද්‍රව්ය හා මත්පැන් ඇබ්බැහිවීම තරම් ප්‍රශ්නයක් වී ඇත. ස්මාට් ෆෝනයක් නැතුව ජීවත් විය නොහැකියි අපට විශ්වාස කල නොහැක්කේ ඒ තරමට අපේ ජීවිතයට එය ඉවහල් වන බැවිනි. ඔබට ඔබගේ ජීවිතය වෙනස්කර ගැනීමට අවශ්‍ය නම් ඔබගේ වටිනා ස්මාට් ෆෝනය විකුණා සාමාන්‍ය දුරකතනයක් මිලදී ගන්න. එම දුරකතනය ඇතිව සමාජශීලි පුද්ගලයෙකු බවට පත්වන්නට උත්සාහ ගන්න. ඔබගේ සමාජ ජාලා වලින් පිටත මිනිසුන් ඔබේ ලෝකයට එලියක් එකතු කරනු ඇත. අනතර්ජාලයේ මිතුරන් සමඟ අදහස් බෙදා හදා ගැනීම විනෝදකාමි වූවත් සැබෑ ජීවිතයේ සජීවි සංවාද වල යෙදීම ඊට සම කල නොහැකිය.

අනවශ්‍ය බිය දුරු කරන්න.
ස්මාට් ෆෝනයක් නොමැතිව ඔබට ජීවත් වීම අසීරුයි යන පුහු බිය නැති කරන්න. ඔබගේ මනස එක්තැන් කරගන්න. ඔබ කැමති දෑ, ඔබේ සිහින සැබෑ කර ගැනීම සඳහා වෙර දරන්න. ස්මාට් ෆෝනයක ඇලි ගැලී ඔබට ලැබුනු මෙම කෙටි ජීවිතය ගත කරන්නට ඔබත් කැමතිද? ස්මාට් ෆෝන් වලට ඇබ්බැහි වූ බොහෝ අය පවසන්නේ ඔවුන් දවසෙන් වැඩි කාලයක් නිකරුණේ කා දමන බවයි. ස්මාට් ෆෝනය නූතන ලෝකයේ බිහිවූ විනාශකාරි උපාංගයක් ලෙස මට සිතේ. මෙය මාගේ පෞද්ගලික මතයයි. ස්මාට් ෆෝනය නිසා බිඳ වැටුනු සම්බන්ධතා අනන්තයි, අප්‍රමාණයි. එසේ සිදු වී ඇත්තේ අපට අපව පාලනය කිරීමට ඉඩ දෙනවා වෙනුවට ස්මාට් ෆෝනය අපව පාලන කිරීමයි.

ස්මාට් ෆෝනයක් නැතිව ජීවත් වීම ඔබ සෙමන් සෙමෙන් කල යුතු ක්‍රියාවලියකි. මෙය ආරම්භ කර දින කිහිපයකින් ඔබ ස්මාට් ෆෝනය නොමැතිව ඉතිරි කර ගත් කාලය බලන්න. දවසේ එක් කාල සීමාවක් phone-free ලෙස යොදා ගන්න. නින්දට පෙර ස්මාට් ෆෝනයෙන් ඇත් වන්න. කුස්සියේ හෝ සාලයේ එය තබන්න. ඔබට රාත්‍රියේදි ලැබෙන whatsapp පණිවිඩ, viber, skype ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට එවිට ඔබට යම් ශ්‍රමයක් දරන්නට සිදුවේ. නවතම අයිෆෝනය වෙනුවට සාමාන්‍ය දුරකතනයක් මිලදී ගන්න. ඔබ මෙම තීරණයෙන් පසු තැවෙන්නේ නැත. ඔබත් ස්මාට් ෆෝනය නිසා ඇබ්බැහිවීමකට ලක් වූ කෙනෙක්ද? ස්මාට් ෆෝනය නොමැතිව ජීවත් වීම අසීරු යැයි ඔබ සිතනවාද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here