පියවර 4කින් ඔබේ සිහින රැකියාව තෝරාගන්න

0
2954

ඔබේ කැමතිම රැකියාව (Dream Job) සොයාගැනීම අමාරු කාර්යයක්ද? ‍ඇත්තෙන්ම එය එසේ නොවේ.

මතකද අපි පොඩි කාලයේ අපේ අම්මා තාත්තා නෑදෑයෝ අපි ලොකු වුනාම වෙන්න කැමති කවුද කියලා ඇසුවාම දුන්න පිළිතුරු. සමහරු වෛද්‍යවරයෙක් වන්නට ඕනෑ යැයි කියන්නට ඇති. තවත් අය ඉංජිනේරුවෙකු වන්නට අවශ්‍ය යැයි කියන්නට ඇති. එහෙත් ඔබ වැඩිහිටියෙකු වුනාම ඒ රැකියාව ලැබුණාද? සමහරක් අයට ලැබෙන්නට ඇති. ඒත් බහුතරයකට එසේ නොවන්නට ඇති.

අද මම කතා කරන්නට යන්නේ ඒ බහුතරයටයි. ඔබට ඔබේ Dream Job එකට යන්නට නොහැකි වුනාද? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාමයි. ඔබට ඔබේ සිහින රැකියාව එසේත් නැත්නම් Dream Job එක ගැන නිවැරදි තීරණයකට යා හැකි පහසු අදියරයන් හතරක් පහත දැක්වේ.

ඔබ කැමති කුමටද යන්න දැනගන්න‍

ඔබ ඔබේ දැනට පවතින රැකියාවෙන් අස්වීමට පෙර ඔබ තීරණය කළ යුතු පළමු කාරණය මෙයයි. ඔබ කැමති කුමටද ඔබ දක්ෂ කුමකටද යන්න ඔබ ඔබෙන්ම විමසිය යුතුයි. ඉන් අනතුරුව ඔබේ සමීපතමයන්ගෙන් ඔබව දක්ෂ ලෙස පෙනෙන්නේ කුමන අංශයකින්ද යන වග විමසිය යුතුයි. එවිට ඔබට ඔබ ගැන සිතෙහි යම් චිත්‍රයක් ඇදෙයි. ඒ අනුව ඔබ කැමති රැකියාව තීරණය කරන්න.

ඔබේ සිහින රැකියාව පිළිබඳව අන් අයගෙන් විමසන්න

පළමුවෙන්ම ඔබ කැමති කුමකටද යන්න සොයා බැලුවා.  දෙවන අදියරේදී ඔබ කළ යුත්තේ ඔබ තෝරාගත් අංශය සහ රැකියාව පිළිබඳ විමසීම් සිදු කිරීමය. මේ සඳහා එම අංශයේම වැඩකරන අය සමඟ සම්බන්ධතා ගොඩනගා ගෙන විමසීම් සිදු කිරීම කළ හැකිය.

ඔබ මෙය offline ලෝකයේ එසේත් නැත්නම් සැබෑ ලෝකයේ සිදුකරනවානම් ඔබ තෝරාගත් අංශයේ වැඩ කරන අය එක්රැස් වන Meetups වැනි දෑ පිළිබඳව සොයා බලා ඒවාට සහභාගී වීම කළ හැකිය. ඔබ විමසීම් කිරීම online ලෝකයේ ආකාරයට සිදුකරන්නේනම් ඒ සඳහා LinkedIn වැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිත කළ හැකිය.

විමසීම්වලින් ලැබුණු පිළිතුරු අනුව තීරණය කරන්න

දෙවන අදියර අනුව ඔබට ලැබුණු පිළිතුරු අනුව එම රැකියාව ඔබ සිතූ පරිදි රැකියාවක් නම් එම රැකියාව තෝරාගැනීම සුදුසු වන අතර එය එසේ නොවේ නම් නැවත පළමු අදියර වෙත පිවිස මෙම අදියර තෙක් යා යුතුය. මන්ද එසේ නැතිව ඔබ ඉදිරි පියවරට ගියහොත් ඔබට නැවතත් හිමිවන්නේ ඔබ දැන් කටයුතු කරනවා මෙන් ඔබ අකමැති රැකියාවකි.

ඔබට ගැළපෙන, ඔබ කැමති රැකියාව තීරණය කර ගත හැකි වනතෙක් මේ පියවර කිහිපය නැවත නැවත සිදුකරන්න.

සිහින රැකියාව තෝරාගන්න

පියවර අංක තුනෙහිදී ඔබට ගැලපෙනවා යැයි තීරණය කළ හැකි රැකියාවක් ගැන අදහසක් ලැබුණා යැයි සිතන්න. දැන් කළ යුත්තේ එම රැකියාව තෝරාගැනීමයි. තෝරාගෙන පමණක්ම මදිය. ඔබ රැකී රක්ෂා සඳහා අයදුම් කිරීමද අනිවාර්යය වේ. නැතහොත් ඔබට ඔබේ නව රැකියා සිහිනය මෙන්ම පරණ නීරස රැකියාවද අහිමි විය හැකිය.

ඉහත පියවර කිහිපය අනුගමනය කර ඔබ කැමති රැකියාව තෝරාගන්න. මතක තබාගන්න,  රැකියාවක් තවදුරටත් රැකියාවක්ම වන්නේ ඔබ එයට දක්වන ඇල්ම සහ උනන්දුව අඩු වීම මතයි. මන්ද ඔබ රැකියාවට දක්වන ඇල්ම සහ උනන්දුව වැඩිනම් එම රැකියාව ඔබේ විනෝදාංශය බවට පත්විය හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here