ආදරයෙන් ලොව වෙනස් කරන්න…

helping_others

ආත්මාර්ථයෙන්  ලොව වියලි  කාන්තාරයක්  වී  ඇති  මොහොතක  පොළව වෙලාගන්නා ආදරය  නම්  පොද  වැස්ස  පරිසරය  කොච්චර  ප්‍රබෝධවත්  කරනවද?  අප පුරුදු වී  සිටින්නේ අපගේ වාසියට ආත්මාර්ථකාමී  ව  කටයුතු  කරන්නයි. එහෙත්  ආදරයට  වඩා කෙනෙක්  සතුටු  වන , වටිනා  යම්  දෙයක්  තවත්  ලොව  තිබෙනවද?  පරිසරයට, සතුනට හිංසා  කර  ගමන් ගන්නා මාර්ගය තුල පෙරලා  පරිසරයෙන්  ලැබෙන  ප්‍රතිචාර  හමුවේ  සටන්  කරන්න නම්  අපට විශාල  ශක්තියක්  හිමිවිය  යුතුයි. එවන්  ශක්තියක්  අපට  නැහැ.  මා  සිතන්නේ  අප  කාටත් වගේම  ලොව  සෑම  සියලු  පුංචි  දෙයකටම අවශ්‍ය  වන්නේ  ආදරයයි. සිනහව, අනුකම්පාව, දයාව සහ  කරුණාව… මුදලට ගන්න  බැරි  බොහෝ  දේවල්  අතරින්  මේ  ඉතා  ස්වල්පයකි.  අවංකව අව්‍යාජව කරන පුංචි දෙයින්  පවා   ආදරය  පතුරුවන්න  පුළුවන්. එවන් සිතුවිලි  නැති  හෙයින්  අද  ඇතිවී  ඇත්තේ  ආත්මාර්ථයෙන්  පිරුණු වෛරයක්  පමණයි  නේද?

1. නැති  අය ඇති  අය  කරන්න  පුංචි  හෝ  උදව්වක්  කරන්න

වරක් වින්සන්ට්  චර්චිල්  කියා  තිබෙන  වටිනා  කියමනක්  මෙහිදී  මතක්  කල  යුතුයි. “අප ජිවත්වෙන්නේ  අප  ලබාගන්නා  දෙයිනි.එහෙත්  අප  ජිවිතයක් ඇතිකරන්නේ  අප  ලබාදෙන  දේවල්  වලිනි”.
හිසට  සෙවණක් , පවුලක්, සාධාරණ ආදායමක් ලැබෙන අප  කවුරුත් බොහෝ සැප පහසුවෙන් ජීවත්වන නමුත්   අප  අවධානය  යොමුකළයුතු වැදගත්  දෙය නම්  අපට  හැකි  ලෙසින්  එම  සතුට  එය  නැත්තවුන්ට ලබාදීමයි. ඔවුන්ගේ  ජිවිත  කතා  අප  දන්නේ  නැති වුවද, අප  සිතිය  යුත්තේ මේ  සමාජයේ  සැඟවී  ඇති  එවන්  චරිත  බොහොමයක්  ජිවත්වන  බවයි. ඔවුන්  හා  අප  අතර  ඒ  හැටි  වෙනසක්  ද  නැහැ එකම  වෙනස  අපට  ලැබෙන  අවස්ථා  ඔවුන්ට නොලැබීම  පමණයි. යාචකයෙක්, නැතිබැරි  අයෙක්  දුටුවිට  ඔවුන්ට  හැකි  විධියට  හදවතින්ම  ආධාරයක්  කරන්න  පුරුදුවෙන්න. මන්ද  එය  ඔවුන්ගේ  ජීවිතය  තවත්  එක  දිනකින්  හෝ  දිගු  කරන  නිසයි.

2.  පුංචි  දේවලින්  පවා ඔබේ  කරුණාව  පෙන්වන්න

මාර්ක්  ට්වේන්  පවසා  තිබෙන්නේ  කරුණාව  යනු  බිහිරෙකු  හොඳින්  සවන්දෙන්නෙකු  බවටත්, අන්ධයෙකු  හොඳින්  ඇස්  පෙනෙන්නෙකු  බවටත්  පත්කළ  හැකි  ක්‍රමයක්  බවයි. පුංචි  දේවලින්  පවා  මතුවන  කරුණාව  ලොවක්  වෙනස්කල  හැකි  බලගතු  ආයුධයකි. වයෝවෘධ  ඔබේ  අසල්වැසියන්ට  නැත්නම්  පාරක  ඔබ  දකින  එවන්  අයෙකුට  පාර  මාරුවෙන්න, වෙළඳපොලෙන්  ගෙනෙන  බඩුමලු  ඔසවාගෙන  ගොස්  උදව්වක්  කරන්න  ඔබට  හැකියි. ඇත්තටම  ඔබට  එයින්  ලැබෙන  කිසිම  භෞතික  දෙයක්  නැතත්  ඔබ යම්  අයෙකුට  අවංකව  උපකාර  කළා  නේද  යන  හැඟීම  තුල  ඇතිවන  සතුට  මුදලට  සම  කරන්නට  හැකිද?

3. හැකිනම්  සුරතල් සතෙකු  අරන්  හදාගන්න

“සතුන්ට  නපුරුවන්නා  මිනිසුන්  සමඟ  ගනුදෙනු  කරන්නෙත්  ඒ ආකාරයටමයි.
කෙනෙකුගේ  හදවතේ  ස්වභාවය  ඔහු හෝ  ඇය සතුන්ට  දක්වන  කරුණාව  සහ  ආදරය  තුලින්  බැලීමට  හැකිය.” – ඉමැනුවල් කාන්ට් පවසා  තිබෙන  කියමනක්…
ඔබට  හැකිනම්  අසරණ  වූ  බල්ලෙක් හෝ  බළලෙක්  ඇතිකරන්න  ගන්න. සෞඛ්‍ය කටයුතු  සම්බන්ධව  ප්‍රථමයෙන්  දැනුවත්  වී  අදාළ  ක්‍රියාවලීන්ට මුල්  තැන  දිය  යුතුයි. මන්ද  සතාගේ  සෞඛ්‍යය  සතාටත්  අවට  පරිසරයටත්  ඉතාම  වැදගත්  කරුණක්  වන  නිසා.සුරතල්  සතෙකු  ඇතිකිරීමෙන්  පුංචි  පුංචි  අපහසුතා  ඇතිවිය  හැකියි.  විනෝද  චාරිකාවක්  යනවිට  ඔබට  සුරතලා  නිවසේ  තනිව  දමා  යන  එක  ගැටළුවක්  වෙන්නට  පුළුවන්. කෙසේ  වුවත් මේ  සතුන්ගේ  හුරතලය  සහ  ඔවුන්  ඔබට  ආදරය  ප්‍රකාශ  කරන  ආකාරය  අනුව  ඔබේ  සතුට  තවත්  වැඩිවේවි. ඇත්තටම  සුරතලෙකු  නොමැතිව  ගතකරන  දිනය  අලස  දිනයක්  වැනියි.

සතුන්ට  සෙවණක් දෙන්න, නිවසක ඉන්න  ඔවුන්ට  අවස්ථාවක්  දෙන්න.  එයින්  පෙරලා  ඔබට  ලැබෙන්නේ  අන්  කිසිවක්  නොව,  සිමා  මායිම්  නැති  අවංක  ආදරයකි. ඔවුන්ට  සැප  පහසුව  ලබාදීම  අතිශය  වැදගත්.

4. ඔබ  ඔබට  ආදරය  කරන්න

ඔබ  විසින්  ඔබවම විවේචනය  කරගන්න  එපා.ඕනෑවට  වඩා සිතන්න,  කල්පනා  කරන්න  යන්නට එපා. “මම  ආකර්ශනීය  නැහැ, මම මගේ  සහෝදරයා  තරම්  බුද්ධිමත්  නැහැ, මම  දක්ෂ  නැහැ”  වැනි  සිතුවිලි  වලින් ඔබට  ලැබෙන  යහපත්  කිසිවක් නොමැත.
“ඔබ  ඔබට  ආදරය  කරන්නේ  නැත්නම්  ඔබ ඔබේ  අසල්වැසියන් ට ද  ආදරය  කරන්නේ නැත. කෙතරම්  උත්සාහ  කලත්  යහපත්  වෙන්නටද  බැරිය” – ජොඑල් ඔස්ටින්

ඇත්තටම  මෙයයි  ලොව  වෙනස්  කරන්නට  ඔබ  මුලින්  ඇතිකරගත  යුතු  ලක්ෂණය  ද වන්නේ. ඔබ  ඔබට  ගරුත්වයක්  නොදෙන්නේ  නම්  කිසිදා  අන්‍යයන්ටද  ගරුත්වයක්  දෙන්නේ නැත.ධනාත්මක  ආකල්ප  වලින්  ලොවක්  වෙනස්කරන්න  නම්  ඔබ  තුල  අනිවාර්යයෙන්ම  ධනාත්මක  සිතුවිලි  තිබිය  යුතුයි.

5. තමන්ගේම  අයගෙන්  පටන්ගන්න

“අප  ශක්තිමත්  වන්නේ  එකතු  වී  සිටීමෙනි… දුර්වල   වෙන්නේ  වෙන්  වීමෙනි..” – J.K රෝලින්ග්..හැරී පොටර් ඇන්ඩ්  ගොබ්ලට් ඔෆ් ෆයර්…
ලොවක්  වෙනස්  වීම  ආරම්භ  වන්නේ  ඔබ  සහ  ඔබේ  පරිසරයෙනි. ඉතින්  එතුලින්  පටන්ගන්න. ඔබේම  අයට  ඔබ  දක්වන්නේ  පිළිකුලක්  හෝ  අකාරුණික ආකල්පයක්  නම්  ඔබ  අන්‍යයන්ට  දක්වන ආදරය  තුල ලොවක්  වෙනස්  කරන්නට යන  සිතුවිල්ලෙන්  කිසිදු  පලක්  නැහැ. නැති  බැරි  ඔබ  අවට  අයට  උදව්  කරන්න  පටන්ගන්න. ඔවුන් ගේ  සිනහව  තුල ඔබේ  සතුට  දකින්න පුරුදුවන්න. මේ  පුංචි පුංචි  දේවල්  ඔබට  ලොකු  පිනක්  වේවි.

6. වෛර  කරන්න  එපා – ආදරය  හැම  තැනම සැඟවී  තියෙන  දෙයක්

මව සහ  දරුවන්, අම්මා  තාත්තා, ගුරුවරයා  සහ  ගෝලයා, සහෝදර  සහෝදරියන්, පෙම්වතුන්  පෙම්වතියන්, සුරතලුන් සහ  ස්වාමියන්… මේ  කවුරු  කවුරුත්  අතර විවිධාකාරව  ඇත්තේ  ආදරයයි.
ඔබ  දකින්න  අකමැති , කතාකරන්න  අකමැති, ඔබව  දකින්න  හෝ  කතාකරන්නට  අකමැති  පුද්ගලයන්  සිටිනවා  වෙන්නට  පුළුවන්. එහෙත්  ඔබේ  සිතෙන්  අහන්න.  “ඇයි  මම  මොවුන්ට  වෛර කරන්නේ? ඇයි  එතුලින්  මම  පිඩනයට පත්වෙන්නේ? කවුරු  මට  වෛර කලත්  මම  කාටවත්  වෛර කරන්නේ නැහැ..”
කිසිකුටත්  වෛර කර ඔබේ  වටිනා කාලය  නාස්තිකරගන්න අවශ්‍ය  නැත. ඔබට  ආදරය  කරන  පුද්ගලයන්  කෙරෙහි  අවධානය  යොමුකරන්න… ඔබට  වෛර  කරන්නන්ටත් ආදරය  කරන්න.අත්දැකීමෙන්  පැවසිය  යුතු  දෙයක්  ඇත. ඇත්තටම  මෙතුලින්  ඔබට  ලැබෙන  සතුට  සහ සැහැල්ලුව  ජිවිත  කාලයටම  ලැබෙන  වටිනා  දායාදයක්  වනු  ඇත.
ඔබේ  ජංගම  දුරකථනය පසෙක  තබා  ලොව  දෙස ඔබේ   දෑසින්  සජීවීව  බලන්න.ලොව  ලස්සන  තැනකි. අපූරු  ස්ථානයකි. අවශ්‍ය  එකම  දෙය  නම්  අන්‍යයන්  හා  සැහැල්ලුවෙන්  සතුටින්  ඉන්න  අප  එකිනෙකාට  දැක්විය  යුතු  ආදරයම   පමණයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here