ඔබේ සංචාරයට අලුත් අත්දැකීමක් , හැමදාම වගේ නොව අලුත් දැනුමක් සොයා සංචාරය කරන්න…

railway_station_in_srilanka

ලoකාවේ උසම දුම්රිය ස්ථානය මොකක්ද කියලා ඇහුවොත් අපි කවුරුත් දන්නේ ඒ පට්ටිපොළ දුම්රිය ස්ථානය කියලා.මුහුදු මට්ටමේ සිට අඩි 6204ක් උසින් පිහිටලා තියෙන පට්ටිපොළ දුම්රිය ස්ථානය අභිබවා ගිය උසකින් පිහිටි දුම්රිය ස්ථානයක් ඉස්සර තිබුණා කියා ඔබ දන්නවාද?

ඒ කඳපොළ දුම්රිය ස්ථානයයි.මුහුදු මට්ටමේ සිට අඩි 6316ක් උසින් පිහිටලා තිබුණ කඳපොළ දුම්රිය ස්ථානය තිබුණේ උඩුපුස්සැල්ලාව-රාගල දුම්රිය මාර්ගයේ.අපි නුවරඑළියේ  යනවානම් නානුඔයෙන් බැහැලා බස් එකක යන්න සිදුවෙනවා,නමුත් නානුඔය නුවරෑළිය දක්වා නොව රාගලටම දුම්රිය මාර්ගයක් තිබුණා,ඒ දුම්රිය මාර්ගයේ තමයි මේ කඳපොළ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ.1948 අගෝස්තු 2 වනදා මේ දුම්රිය මාර්ගය සදහටම වසා නොදැමුණානම් ලොව ඇති සුන්දරම දුම්රිය මාර්ගය විමටත් ඉඩ තිබුණා.

ඉස්සර ඉංග්‍රීසීන්  නුවර එළියට ඇවිත් වගා කටයුතු කළා.1867 ජේම්ස් ටේලර් තේ පැළය හඳුන්වා දුන්නත් සමඟම  තේ වගාව වැවිලි කර්මාන්තයක් වගේම අපනයන භෝගයක් ලෙසත් ප්‍රචලිත වෙන්න පටන් ගත්තා.වැඩියෙන්ම තේ වගාව සිද්ධවුණේ කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල.තේ,කොලඹ වරායට ගේන්න අවශ්‍ය  නිසා කොලඹ- බදුල්ල දුම්රිය මාර්ගය සාදා තිබෙනවා,ඒත් නානුඔය සිට නුවරෑළියට සැතපුම් 4 1/2ක් තිබෙණ නිසාත් එතරම් දුරක් ගමන් කිරීමට අපහසුව නිසාත් වැවිලි කරුවන්ට දුම්රියක අවශ්‍යතාව තදින්ම දැනෙන්න ගත්තා.

1895දී සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා ට කළ ඉල්ලීමත් එක්ක 1900 දී දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ගය ඉදිකරන්න කටයුතු සම්පාදනය කළා.සැතපුම් 19ක දුරක් ඉතා දුශ්කර මාර්ගයක් නිසා පටු හෙවත් නැරොව් ගෝජ් වර්ගයට තමා මේ දුම්රිය මාර්ගය අනුමත වුණේ,

නානුඔය සිට රාගලට දුම් රිය ස්ථාන 5ක් තිබුණා, ඉන් එකක් තමයි ලංකාවේ  උසින්ම පිහිටි දුම්රිය ස්ථානය තිබුණේ, බ්ලැක්පූල්,නුවර එළිය,කඳපොළ,බෲක්සයිඩ් හරහා රාගලට මාර්ගය වැටී තිබුණා.

ඉතාම සුන්දර,ඉතාම දුස්කර වගේම ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වුණේත් මෙයයි.1903 හෙන්රි  බ්ලේක් ආණ්ඩුකාරවරයා තමයි මේ දුම්රිය මාර්ගය මුල් අදියරය විවෘත  කළේ,ඒ නානුඔය සිට නුවරඑළිය දක්වා,1904 වනවිට මෙහි රාගල දක්වාම සියලුම කටයුතු අවසන්වුණා,1920 වනවිට ප්‍රවාහන දුම්රිය 11ක් හා මිශ්‍ර දුම් රිය 6ක් සමඟ දුම්රිය 16ක් දිනකට මේ මාර්ගයේ ගමන්කළා.

කෙසේ වුණත් පුංචි  කෝච්චියකින් හෙමින් හෙමින් දුරක් වියදම් දරා යන එකා නිෂ්ඵල වැඩක් ලෙස ඉංග්‍රීසි ජාතිකයන්ට දැනුණා,මේ නිසා  1940 වන විට මෙය සංචාරකයන් ට පමණක් විවෘත  කර ,ප්‍රවාහන කටයුතු ලොරි වලින් කරන්නට තීරණය කළා,1942 වනවිට නුවරඑළිය  දක්වා මාර්ගය වසා දැමුණා,එහෙත් දුම්රිය ස්ථාන ප්‍රවාහන මධ්‍යස්ථාන විදිහට යොදාගන්න තීරණය කළා.ලොර්‍රි වලින් ගෙන එන වැවිලි ලබාදුන්නේ දුම්රිය ස්ථානයටයි,මෙය දිගටම කරන්න සේවකයන් කැමති වුණේ නැහැ.

1948 වනවිට මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසාදමා එහි දුම්රිය ස්ථාන හැර අනික් සියලුම දේවල් ගලවා ඉවත් කරනවා.අද දකින්න පුලුවන් නටබුන් කීපයක් විතරයි.

නානුඔය දුම්රිය ස්ථානයට ගිය විට  එහි ආපනශාලව ඉදිරිපිට බිම පිරික්සුවොත් ඔබත එක් සාක්ෂියක් සොයාගන්නට  පුලුවන්,එනම් යූ පී ආර් (UPR ) ලෙස  බිම කොටා තිබීම.එහි දැක්වෙන්නේ නානුඔය සිට උඩු පුස්සැල්ලාව ,රාගල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ දිශාව.

බ්ලැක් පූල් පහුවුණාම හමුවන කැලේගාල කියන ප්‍රදේශයේ බිංගෙයක  නටබුන් තිබෙනවා.

නානුඔය සිට රාගල දක්වා මහා මාර්ගයට සමාන්තරව,නැත්නම් මාර්ගයේම  තමයි මේ දුම්රිය මාර්ගය තිබී ඇත්තේ. නුවරඑළිය තුරඟ තරග  පිටියට ආසන්නයෙන් තමයි  දුම්රිය නුවරඑළියට  පිවිසිලා තිබෙන්නේ,අදටත් දුම්රිය පාලමක් පිටිය ආසන්නයේ දක්නට ලැබෙනවා.

නුවරඑළිය  කඳපොළ තිබෙන තේ කර්මාන්තශාලව ආශ්‍රිත හෝටලයේ,එදා උඩුපුස්සැල්ලව,රාගල ගමන්ගත් දුම් රිය ටී.සී.කේ.6685 නමින් මැදිරියක් තිබෙනවා,එය අද රේල්වේ කැරේජ් එකක් ලෙස භාවිතා කරනවා, රාත්‍රී භෝජනයක් හෝ සවස තේ පානයක් ඔබට එහි සිට ගන්න පුලුවන්, එය කලින්ම වෙන්කරවා ගත යුතු වෙනවා, කඳපොළ එදා හඳුන්වා අත්තේ “හෙදර්සෙට්” නමින්.

මෙහි,අවුරුදු 30ක් විතර හරිම ලස්සන දුම්රිය සංචාරයක් තිබුණා. දැන් නුවරඑළිය  දක්වා හෝ දුම්රිය මාර්ගය හදන්න කටයුතු සැළසුම් කරගෙන යනවා වුණත් නැවත මෙය ගොඩනඟන්න බැරිවෙන්නේ නැහැ,මන්ද එදාට වඩා අද තාක්ෂණය දියුණු නිසා.හැමදාම නුවරඑළියේ ගියාම බලන ඒවාට අමතරව මෙහෙම අළුත් දේවල් බලන්නත් යොදාගන්න.

About The Author

Previous articleස්ට්‍රෙස් ඔයාටත් වදයක් ද ?
Next articleකහ ගැන ඔබ මේවා දන්නවද ?
මේ සත්‍යා. කුඩා දරුවන්ට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් ලෙස ඇය දැනට කටයුතු කරනවා. කවදා හෝ නීතිවේදිනියක් වී අසරණ මිනිසුන්ට උපකාර කිරීමට බලාපොරොත්තුවෙන් ඇය නීතිය විෂයක් සේ හදාරනවා. රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ස්වෙච්චා භාෂා පරිවර්තන කටයුතු කරනවා. දැනට ඇය ජපන් භාෂාව පිලිබඳ අධ්‍යයනය කරමිනුයි සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here