දෙමාපියන් දෙදෙනාම රැකියාවට යන නිවසේ දරුවන් සතුටින්ද?

0
4135
working_parents

අනේ අම්මේ අදවත් ගෙදර ඉන්නකෝ, තාත්තේ මට සෙල්ලම් කරන්න කවුරුත් නෑ අනේ අද මාත් එක්ක සෙල්ලම් කරමුකෝ කියලා ඔබේ දරුවාත් ඔබ රැකියාවට යන්න ලෙහෙස්ති වෙද්දී පුංචි ඉල්ලීම් කරනවාද? සමහර දරුවන් එයින් නොනැවතී අම්මාගේ සාරි පොටෙන් අදිනවා, වැඩට යන්න ලේස්ති වෙද්දී මහා හයියෙන් හඩා වැටෙනවා. මෙයින් ඔවුන් ඔබට හගවන්නේ ඔබ නැතුව නිවසේ සිටින්නට ඔවුන් අකමැති බව නොවේද?

මෙය කියවන ඔබත් රැකියාවට යන මවක් නම් මොහොතකට සිතන්න ඔබේ දරුවන් දිවා කල මවත් පියාත් දෙදෙනාම නැතිව කෙසේ දවස ගෙවන්නේද කියා. අද කාලයේ මවත් පියාත් දෙදෙනාම රැකියාවට යාම සුලබ දෙයක්. ඉහල යන ජිවන වියදමත් එක්ක සැමියාගේ රැකියාවෙන් ලැබෙන මුදල පමණක් ජීවිතය ගෙනියන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසාම බොහෝ මවුවරුන් දරුවන් කුඩා කලද රැකියාවට යනවා. මවත් පියාත් නැති නිවසේ මෙහෙකාරියක සෙවනේ හෝ ආත්තම්මා සීයාගේ තුරුලේ දරුවන් හැදී වැඩෙනවා. එසේත් නැතිනම් දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයක දිවා කල ගෙවන දරුවන් දෙමාපියන් වැඩ නිමවී ගෙදර එන විට ඔවුන් සමඟ ගෙදර පැමිණෙනවා.

ඉතින් ඔබේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දිවා කාලයේ  සිටිනවානම් ඔවුන්ගේ ආරක්ෂාව පෝෂණය ගැන වගේම එතැන දරුවන් ගැන හොඳින් සොයා බලන්නේද යන්න සොයා බැලීම ඔබේ යුතුකමක්. නැතිනම් ෆැෂන් එකට දරුවන් මොන්ටිසෝරි එක්කන් යන්නත් ඊට පස්සේ ඩේ කෙයාර් දාන්නෙත් නැතිව දරුවන්ගේ ළමා කාලය ගැනද සිතන්න.

මා මේ කියන්නට යන්නේ සත්‍ය සිද්ධියකි. අසල්වැසි නිවසක සිටිනා අවුරුදු 6ක් වයසැති පුංචි දෝණිය වයස අවුරුද්දේ සිට දහවල් කාලයේ සිටින්නේ ඩේ කෙයාර් එකේ. අම්මාත් තාත්තාත් ඉහල පෙලේ රැකියාවන් කරන නිසා රාත්‍රී 7 ට පමණ තමා නිවසට පැමිණෙන්නේ. මේ කුඩා දියණිය මගේ නිවසට පැමිණි දිනක මා සමඟින් කියා සිටියේ මං නම් අම්මාට ආදරේ නෑ පොඩ්ඩක්වත්, මං බෑ කියද්දී එයා මාව ඩේ කෙයාර් දානවනේ කියලා. දරුවන්ට ළමා කාලයක් අවැසි යි. ඔබේ ළමා කාලය ගැන සිතන්න. ඔබේ ළමා කාලයත් ගෙවී ගියේ ඩේ කෙයාර් එකකද?

දෙමාපියන් රැකියාවට යාම නිසා දරුවන් දෙමාපියන් අතර පවතින බැදීම් පලුදු විය හැකියි. එම බැඳීම ශක්තිමත් වන්නට නම් දරුවන් දෙමාපියන් අතර හොඳ අවබෝධයක්, හොඳ සන්නිවේදනයක් තිබිය යුතුයි. විශේෂයෙන් තරුණ වියේ සිටිනා දරුවන් සිටින විට ඔබ දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. තරුණ වියේ සිටිනා ගැහැණු දරුවෙක් සහ මවක් සිටිය යුත්තේ හොඳ මිතුරියන් මෙන් කියා ඔබත් මමත් අසා තිබෙනවා. ඉතින් දරුවන්ට සමීප වෙන්නට නම් ඔවුන් සමගින් කාලය ගත කල යුතුයි.

තවත් දෙයක් රැකියා ස්ථානය ඔබට බොහෝ පීඩාකාරී ස්ථානයක් වෙන්නට පුළුවන්. ඔබ බොහෝ විට ඒ පීඩනය මුදා හරිනුයේ නිවසේ සිටිනා දරුවන් මතින්, එසේත් නැතිනම් ඔබේ සැමියා හෝ බිරිඳ මතින්. එය දරුවන්ට වගේම ඔබේ ආදරණිය පවුලේ සමගිය බිඳ වැටෙන්නටත් හේතුවක් වෙන්නට හැකියි.

මෙහි හොඳ පැත්තක්ද ඇත. ඒ නම් ඔබේ පවුලට ආර්ථික අතින් ශක්තිමත් බවක් ලැබීමයි. “තනි පඩියකින් ජිවත් වෙන්න බැහැ මේ බඩු මිලත් එක්ක” බොහෝ ගෘහණියන්ගේ මැසිවිල්ලක් තමා ඒ.  මවත් පියාත් දෙදෙනාම මුදල් ඉපැයීමෙන් ආර්ථික අතින් ස්ථාවර බවක් පවුලට ලැබෙන අතරම එය දරුවන්ගේ අනාගත කටයුතු සඳහා බොහෝ මවුවරුන් ඉතුරු කරනු ලබනවා.

ඔබත් දරුවනුත් අතර ශක්තිමත් බැඳීමක් පවතින තුරු දරුවන් ඔබව ආදර්ශයට ගනු ඇති. දරුවන් ඔබගේ කැපවීම අගයනු ඇති. ඔබ සමාජයේ ඉහල පෙලේ රැකියාවක් කරන්නේ නම් දරුවන් ඔබ ගැන ආඩම්බර වනු ඇති. රැකියාවත් පවුලත් සමබර ලෙස පවත්වාගෙන යන මවක් ගැහැණු දරුවක්ට නිතැනින්ම ආදර්ශයක් සපයනවා.

කරුණු කාරණා කෙසේ වුවත් දරුවන් කැමති වනුයේ දෙමාපියන් සමගින් රැඳී සිටින්නයි. ඔබ දෙදෙනාම රැකියාවට යනවා වෙන්න පුළුවන්, ඒත් නිවසට පැමිණි විට දරුවන්ගේ පාසල් වැඩ ගෙන සොයා බලන්න, ඒවාට ඔවුන්ට උදව් කරන්න, පුංචි දරුවන් සිටින්නේ නම් කවි කතා කියාදෙන්න, ඔවුන් සමගින් සෙල්ලම් කරන්න. සති අන්තයේ අතිකාල කරන්නට පෙර දරුවන් සමගින් දවස ගෙවන්නට උත්සාහ කරන්න. ජීවිතය යනු මුදල් ම නොවේ. දරුවන් නොමග ගිය පසු පසුතැවිලි වන්නට පෙර ඔබම සිතා බලන්න.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here