දහම් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නොමඟ ගිය පිරිස් සුමගට ගැනීම සඳහාය

sunday_school_in_srilanka

උපතින් පුද්ගලයා ප්‍රභාස්වර වුවද ක්‍රම ක්‍රමයෙන් වැඩි වියට පත් වීමත් සමඟ ආගන්තුකව එන ක්ලේශ ධර්මයන් නිසා පුද්ගලයා වෙනසට බඳුන් වේ. ඕනෑම පුද්ගලයෙක් රාග දෝෂ මෝහ ශ්‍රද්ධා බුද්ධි විතක්ක යන චරිත හයෙන් එකකට හෝ කීපයකට හසු වේ. ඒ අනුව සලකා බැලීමෙන් වුවද දහම් අධ්‍යාපනික වටිනාකම තහවුරු වේ.

වර්තමානයේ දහම් අධ්‍යාපන‍යෙන් සිදුවන සේවය කියා නිම කළ නොහැකිය. දහම් අධ්‍යාපනය පුළුල් වශයෙන් දියත් කිරීම උදෙසා දහම් පාසල් ක්‍රමය ආරම්භ විය. ඒ සඳහා පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895 අගෝස්තු මස 03 වන දින ගාල්ල වැලිවත්තේ විජයානන්දාරාමයේ දී ඇමරිකන් ජාතික ඕල්කට්තුමා හා රුසියන් ජාතික බ්ලැවැස්ට්කි යන දෙපලගේ ප්‍රධානත්වයෙනි.

දහම් පාසල් ආරම්භයත් සමඟම මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ විපර්යාසයක් සිදු විය. එනම් මෙතෙක් පැවැති පාසල් අධ්‍යාපනය මඟින් මොළය දියුණු කළ ළමයා ඊට පසු හදවත දියුණු කිරීමටද පුරුදු වීමය. දම් සිසිල ළමයාගේ හදවතට ලබා දීමට පන්සල තුළම දහම් පාසල බිහිවීම ලක් වැසියා ලද සදාචාරාත්මක දියුණුවක ප්‍රගතියයි. දහම් පාසල් අධ්‍යාපනය ද ප්‍රායෝගික වශයෙන් ජීවිතයට සම්බන්ධ කර එයින් නිවැරදි ගමන් මඟ පාදාදීමක් සිදුකර දී ඇත.

දහම් පාසලක් තුළින් මූලික විෂය කරුණු ඉගැන්වීමක් සිදු නොකරන අතර, පුද්ගලයා හික්මවා ගුණ ගරුක චරිතවත් කෙනෙකු බවට පත්කරවන හෙවත් චරිත සංවර්ධනයක් සිදු කරන මධ්‍යස්ථානයක් බව පළමුව සිහියට නගා ගත යුතුව ඇත. ඒ සඳහා බුද්ධ චරිතය ජාතක කථා මාලා හා ආදර්ශවත් චරිත මත පදනම් වූ විෂයානුබද්ධ කරුණු උපයෝගී කරගනු ලැබේ. එය සෑම දරුවෙක්ම දැරියක්ම ලබාගත යුත්තේ ළමා මනස ගුණ ධර්ම පහන් සංවර්ධනය කර ගැනීම ‍උදෙසාය.

බුද්ධිමත්ව සිතාබලා හදවතින් ක්‍රියාකළ හැකි උත්තරීතර සත්පුරුෂයෙකු සමාජයට දායාද කර දීමේ වගකීම අද දහම් පාසල් තුළින් ඉහළ මට්ටමකින් සිදු වන ආකාරය දැකීම සතුටට කරුණකි‍. එහිදී සමාජය රට ලෝකය ගමන් කරන ආකාරය දෙස බලා දහම් අධ්‍යාපනය අවතක්සේරුවට පත් නොකළ යුතුය. දහම් අධ්‍යාපනය නොලැබූ ළමයාගේ ස්වභාවය වන්නේ දෙමාපියන් වැඩිහිටියන් මහණ බමුණන් නොහඳුනන යුතුකම් ඉටු නොකරන ආත්මාර්ථකාමී ලොවක් තුළ අගතිගාමීව ඔහුගේ දෙමාපියන් හා ඥාතීන් මෙන්ම තමාගේ අභ්‍යන්තරයද හඬවමින් දිවි ගෙවීමය. එනමුදු දහම් අධ්‍යාපනය ලබන දරුවා උතුම් වූ ප්‍රතිපදා මාර්ගයක් නිසි කළ සිට හදවත තුළට කාවද්දාගෙන ඒ තුළින් පෝෂණය වී හාත්පසම සුගන්ධවත් කරවන පියුමක් විලසින් දිවි ගෙවනු ඇත.

වත්මන් සමාජ තත්ත්වය දෙස බැලීමේ දී ළමා පරපුර යොමු වන පරිසරය කුමන ආකාරයක එකක්ද යන්න පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීමත්, එවැනි ළමා පරපුරට දහම් අධ්‍යාපනයේ වටිනාකම පහදා දීමත් වැඩිහිටියන්ගේ බලවත් යුතුකමකි.‍ එහිදී කුමන ආකාරයේ සිතුම් පැතුම් හැඟුමන් ඇති අය සමඟද බාල පරපුර මිත්‍ර වී සිටිනුයේ යන්න ගැන සැළකිලිමත් වීම වැදගත් වේ.

මෙම කරුණු පිළිබඳ විමසා බැලීමේ දී ළමා පරපුර යෝග්‍ය සුදුසු පරිසරයකට යොමු කළ යුතුව තිබෙන්නේ එය රටක අරමුණක් හැටියට බුද්ධිමත් ගුණ ගරුක උතුම් දරුවෙකු බිහිකර ගැනීමේ අවශ්‍යතාවය නිසාවෙනි.

දහම් අධ්‍යාපනයේ දී දරුවා ක්‍රමක්‍රමයෙන් මානසික සංවර්ධනයක් ඇති කර ගනු ඇත. පාසලේ දී විද්‍යාව, තාක්ෂණය ගණිතය වැනි මූලික විෂය ධාරාවන් ප්‍රගුණ කරනු අතර දහම් අධ්‍යාපනයේ දී කරුණාව, දයාව මෛත්‍රිය සත්වයාටම යහපත පිණිස පවතින උතුම් මානුෂික ගුණාංග වඩා වර්ධනය කරගනු ඇත.

විශේෂයෙන් අද දහම් අධ්‍යාපනයට ලැබී ඇති වටිනාකම මීට වඩා වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා ඉරිදා වැනි දිනය තුළ ටියුෂන් නවතා ළමයින් දහම් පාසල් වලට යොදවන නෛතිකමය ක්‍රමයක්ද ඇති විය යුතුය. එලෙසම දහම් අධ්‍යාපනයට තව තවත් නැඹුරුවීමේ දේශනා ක්‍රම ඇති කළ යුතුය. එහිදී ළමයින්ට දොස් පැවරීමට වඩා දෙමව්පියන්ගෙන් විය යුතු වගකීම නිසියාකාරව ඉටුවන්නේ ද යන්න පිළිබඳ සිතිය යුතුය. සතියකට එක දිනයක් පමණක් පවතින දහම් පාසලට තම ළමයා යවා තම දරුවා දහම් අධ්‍යාපනයකට හුරු කිරීමට අපොහොසත් වන දෙමව්පියන් ඒ ගැන පසුතැවිලි විය යුතුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here