නැන්දම්මා සමග විසීම

mother_in_law

නැන්දම්මා හා ලේලියගේ ගැටුම පවතින්නෙ අද ඊයෙක පටන් නොමෙයිනේ. නැන්දම්මා ලේලි ගැටුම් දුර දිග යෑම නිසා පවුල් පවා කඩා කප්පල් වූ අවස්ථා ඇත. ඇත්තටම නැන්දම්මා කියන්නේ එක් අතකින් ගත් කල විවාහයෙන් පසු තවත් අම්මා කෙනෙකු හමු වීමය. නැන්දම්මා ලේලි හබය කීවාට හිතන්නකො අපි අපේ අම්මා එක්කම කොයි තරම් නොහොඳ නෝකාඩුකම් ඇති කර ගන්නවද කියලා. ඒත් අපි ඒ තරම් ඒ දේවල් හිතට ගන්නෙ නැහැ. මොකද ඒ අපේම අම්මනේ. ඒත් නැන්දම්මා සමග නම් එහෙම නෙමෙයි. ඇගේ මුවින් ගිලිහුණ පොඩි වචනයක් පවා අපේ හිත රිද්දලා අවුරුදු ගණන් අපේ හිතේ සනිටුහන් කරගන්නවා. ඇත්තටම නැන්දම්මා කියන්නෙත් පෘථග්ජන මනුස්සයෙක්නෙ. හිතන්නකො දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා පරිස්සමට රැක බලා ගත්ත තමන්ගෙ පුතා තවත් කෙනෙකුට ආදරය කරද්දි ලං වෙද්දි දුකක් ඉරිසියාවක් හිතෙන එක අසාමාන්‍ය දෙයක්ද කියලා. හොඳම දෙය නැන්දම්මා ඉදිරියේ එයාගේ පුතා එක්ක ඕනෑවට වඩා ලෙංගතු නොවී හැසිරෙන එකයි. අනිත් එක ඉස්සර වගේම අම්මට ආදරෙන් ඉන්න තමන්ගේ සැමියවත් පොළඹවන්න. තමන්ට පුතාගේ ආදරේ වෙනසක් නැතිව ලැබෙන කොට අපි ගැන නැන්දම්මා අහිතක් හිතන එකක් නැහැ.හැබැයි නැන්දම්මත් හිතනවනම් මේ මගේම දරුවෙක් කියලා ගැටුම් ඇති වන්න තියෙන ඉඩ කඩ අඩු වේවි.

නැන්දම්මා ලේලිය ආරවුල පටන් ගන්නෙ කුස්සියෙන්නේ අන්න ඒ නිසා අපි ටිකක් සුක්ෂම වෙන්න ඕනී. ඒත් එක්කම ඇය කැමති ආහාර හඳුනා ගන්නත් උත්සහ කරන්න.

අද වටිටක්කා හදනවා 

කියනවා වෙනුවට

” අම්මේ අද වටිටක්කා හදමුද? ” කියලා අහන්න පුලුවන්.

ඒ මොකද දන්නවද? තනි තීරණ ගන්නවට ,අණ දෙනවට නැන්දම්මලාගෙ කැමැත්තක් නැති නිසා. අපි වුණත් අණ දෙනවට අකමැතියිනේ. ඒත් පවුල ඉදිරියට ගෙන යාමත් සතුට රැඳවීමත් තියෙන්නෙ අපේ අතේ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලත් කියනවනේ.

බොහෝ වෙලාවට නැන්දම්මාගෙ පිළිවෙල නැති වුණත් එයාලා අපේ පිළිවෙල නම් තිතටම බලාපොරොත්තු වන බව අමතක කරන්න එපා.කොහොම වුණත් පුංචි පුංචි මත ගැටුම් ඇති නොවුණොත් නම් පුදුමයක්. සැමියාට ඔහුගේ මව පිළිබඳ වැරදි කීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. ඔබ කොයි තරම් නිවැරදි වුණත් නිතරම මව පිළිබඳ වැරදි අසන විට ඔබේ සැමියාටත් එය වදයක් සේම ඔබ පිළිබඳ  ඇති පැහැදීම පලුදු වන්නට ඉඩ ඇත.

වයසට යාමත් සමගම අපි කවුරුත් සිතින් මෙන්ම ගතින්ද දුර්වලය. එකට ජීවත් වන විට නැන්දම්මාගේ සැප දුක බලන්නට අමතක නොකරන්න. ඇයත් ඔබේ මව මෙන්මය. වෙන් වෙන්ව ජීවත් වනවා නම් දවසට වරක් හෝ ඇමතුමක් ලබා දී ඇයගේ දුක සැප විමසන්න. එය ඇයට සතුටක් වනු ඇත. අසනීප වූ විටම ඔබ ඇයත් සමග වෛද්‍යවරයා වෙත යන්න. ඇය ඔබේ සිත රිද්දුවද ඇයගේ සිත නොරිද්දා ඉන්නට උත්සහ කරන්න.

ඇය සමග දොඩමලු වන්න. ඇය ඔබට වඩා ජීවිතයේ අත්දැකීම් අතින් පොහොසත්ය. ඔබට විසඳාගත නොහැකි ගැටලුවකට ඇය ළඟ පිළිතුරු තිබිය හැකිය. ඇයගේ ළමා කාලය තරුණ අවදිය විවාහා ජිවිතය පිළිබඳ අසන්න. ඇය ඒ අතීතය ඔබ සමග ආවර්ජනය කරන අතර ඔබ දෙදෙනාගේ සබඳතාවයද ශක්තිමත් වනු ඇත.

 

About The Author

Previous articleදහම් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නොමඟ ගිය පිරිස් සුමගට ගැනීම සඳහාය
Next articleමැරෙන්න හිතන ඔබ වගේම හැමදෙනාම මඳක් නවතින්න ….. කියවන්න…
මම දිශාන්ති වෙදගේ. මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here