ණයක් කළ හදියක් … ඔබත් ප්‍රවේසමෙන්

lending-money

අපි ඉස්සර කාලයේ කියමනටත් කිව්වේ ණය නිසා මුදලත් මිතුරත් දෙකම නැති වේවි… කියල වුනත් අද දවසේ ණය නිසා මුදල පමණක් නොව සැමියා / බිරිඳ නැති වෙන තැනටත් පත් වෙන්න පුලුවනි. ඒ කතාවට පසුබිම් සත්‍ය සිදුවීමක් මේ විදිහට කියන්නම්කෝ…

ඔවුන් ආදර සම්බන්ධතාවයකින් විවාහ වුනා. බිරිඳ බැංකු කෙෂත්‍රයේ රැකියාවක් කළත් සැමියා විවිධ ව්‍යාපාර කටයුතුවල යෙදුනා. කෙසේ හෝ අනාගතය ගොඩනගා ගත යුතු  නිසා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුද්ගලයෙකුගෙන් ණයක් ලබා ගත්තා. බිරිඳ බැංකුවක නිසා ගත හැකි සියළු ණය මේ වෙන විට ලබා ගෙන තිබුණා. පුද්ගලයාගෙන් ලබා ගත් ණය යොදවා ව්‍යාපාරයක් ආරම්භ කළත් එයත් අන්තිමට බිඳ  වැටුණා. ණය හිමියා විටින් විට ණය ඉල්ලා කරදර කරන්න පටන් ගත්තා.

එක් දිනක් බිරිඳ රැතියාව අවසානයේ නිවසට එන විට මුලින් කි ණයහිමියා ඔහුගේ මෝටර් රථය නවත්වා මේ කාන්තාවට එයට නගින්න ආරාධනා කලා. ඔහුගේ දෙනෙතේ තිබුන හැඟීම් නිසා ඇය ඉතා විනීතව ඒ ආරාධනය ප්‍රතික්ෂෙප කරමින් මෙහෙම කිව්වා..”බොහොම ස්තුතියි…මට තව බඩු වගයක් ගන්න ටවුමට යන්න ඕන..”

“හරි යමු මාත් එක්ක..” ඔහු කිව්වා.

“නෑ අනේ බොහොම ස්තුතියි..” ඇය එකඟ වුනේ නැහැ.

අන්තිමේදී කෝපයට පත් ඔහු මෙහෙම කිව්වා “සාප්පු ගිහිං ලස්සන සාරි ඇදගෙන සුවඳ ගහන්න යන්න පුලුවනි.. අපෙන් ගත්තු සල්ලි ගෙවන්න තමයි හිඟමන…” මේ විදිහට කියමින් ඔහු යන්න ගියා.

එදා පටන් රාත්‍රියට වාහනයෙන් ඇවිත් ඔහු ණය ඉල්ලමින් නිවසේ ගේට්ටුව ඉදිරිපිට මේ අඹු සැමියන්ට බැණ වදින්න  පටන් ගත්තා.එක් දවසක් ණයහිමියා සැමියාගෙන් මේ කාන්තාවගේ ජංගම දුරකථන අංකය ඉල්ලා සිටියා. දෙවරක් හිතුවත් අවස්ථාවේ හැටියට ඔහු දුරකථන අංකය ලබා දුන්නේ එසේ නොමැති වුනොත් සමහර විට බැංකුවට ගොස් මේ පුද්ගලයා බිරිඳට අපහාස කිරීමට ඉඩ ඇති නිසයි. කාලය ඔය අන්දමට ගෙවුණා.

දැන් බිරිඳගේ හැසිරීම වෙනදාට වඩා වෙනස්. ඇය සැහැල්ලු මනසකින් සිටිනවා පමණක් නොව ගමන් බිමන් පමණක් නොව සති අන්තයේවත් නිවසේ රැ‍ඳෙන්නේ  නැහැ. වෙනදා වගේ වාහනයක් නිවස ඉදිරිපිට නැවැත්වූ විට කිසිම බයකුත් නැහැ. ණය හිමියා ණය ඉල්ලමින් කරදර කරන්නෙත් නැහැ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත කියන්නා සේම බිරිඳ සහ ණය හිමියා අතර අනියම් සම්බන්ධතාවයක් දැන් ගොඩ නැගී තිබෙන බව සැමියාටත් තේරුම් ගියා. ඔහු දැඩි මානසික පීඩාවට පත්ව සිටින්නේ ආදරයෙන් තිබුන පවුලට සිදු වුන විනාසය නිසයි.

ඉතින් මේ වගේ සිදුවීම් අපි නොහිතන පැත්තකට හැරෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි ණයක් ගැනීමේදී පනින්න පෙර හිතා බලනවා වගේම හිතන්න ‍බොහෝ දේ තිබෙනවා.

සමහර උදවිය ණය ගන්නේ අවශ්‍යතාවයට වඩා ගන්නන් වාලේ තියෙන අනුකරනයට. අහවල් තැන ණයක් දෙන බව ආරංචි වුනොත් උවමනාව තිබුනත් නැතැත් ණය ගන්නා අය අප අතරේ ඉන්නවා. රාජ්‍ය සේවකයින් පවා හිතන්නේ නිතරම රජයට ණය වී හිටියාට කමක් නැත යන ආකල්පයයි. ඒ වුනත් මාසික වැටුප ණයට කැපිලා ලැබෙන විටවත් ඔවුන් මේ ගැන තේරුම් ගන්නේ නැහැ.

ණය ගන්නා ආයතනය ගැන හිතන්න

අවශ්‍යතාවයක් වුනොත් ණයක් අරගෙන හෝ අපේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට ඕන. ඒ නිසා ණය නොවී ඉන්නවා කියන සහතිකයේ අපිට ඉන්න බැහැ. එහෙම නම් අපි ණය ලබා ගන්නේ කොහොමද….?

නීත්‍යානුකූල ආයතනයක් වෙත යන්න

අපේ රටේ බැංකු ජාලය වගේම රාජ්‍ය ලියාපදිංචිය ලත් මුල්‍ය ආයතන තිබෙනවා. එවැනි ආයතන වෙතින් ණය ලබා ගැනීමේදී ඔබට මුලින් වූ සිද්ධිය වගේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු නොවෙනු ඇති. ණය නිසා හෙම්බත් වුන තැන මුලින් කී කාන්තාව වරදේ බැදෙන්න ඇවැසි පරිසරය නොදැනීම ඇති වුණා. ඇයගේ ප්‍රතික්ෂෙප වීම තුළ වෙනත් සිදුවීම් ගැන කියමින් ඔහුගෙන් ලත් තර්ජනය සමහර විටෙක මේ තත්වයට හේතු වන්නට ඇතැයි ඇගේ සැමියා පවා පිලිගන්නවා. නමුත් රාජ්‍ය ආයතනයකින් හෝ වෙනත් ව්‍යවස්ථාපිත ආයතනයකින් ණයක් ලබා ගත්තා නම් මේ වගේ ඉරණමක් ඔවුන්ට අත්වෙන්නේ නැහැ.

ණය වීමේ සීමාවක් අවශ්‍යයි

මේ කාන්තාව තමාගේ බැංකු ආයතනයෙන් ලබා ගත හැකි ණය සීමාව උපරිමව ලබා ගැනීම නිසා මේ තත්වයට පත් වුනා. ඒ නිසා ණයක් ගැනීමේදී ස්වයංසීමාවන් පනවා ගන්න.

ණය ගන්න පෙර ගෙවීමේ ක්‍රමවේදය ගැනත් හිතන්න

ණයක් ගැනීමේදී එය ගෙවන්න ඔබට හැකියාවක් තිබෙනවාදැයි බලන්න. ණය දෙන්නේ අපට ආදරයටම නොවෙයි. එහි පොළිය ආයතනයේ ලාබයයි. අපි අදාල දිනට නොගෙවු විට පොළිය තවත් ඉහළ යනවා. ඒ නිසා අදාල දිනයට ගෙවීම වගේම ගෙවන්න හැකියාව ගැනත් අනිවාර්යෙන්ම කල්පනා කරන්න.

පොළිය

ගිනි පොළී ගෙවනවා යැයි අපි ආයතන වෙතට චෝදනා නගනවා. ඒත් අපිට පොළිය පිලිබඳව තීරණ ගැනීමට පුළුවන්. සමහර ආයතන විසින් සඳහන් කරන්නේ මාසික පොළිය බව අමතක කරන්න එපා.එය වාර්ෂිකව සසඳා බලන්න. එවිට යම් තීරණයක් ඔබටම ගත හැකියි. වාර්ෂික පොළිය 12 % ක් කීවිට අපෝ…යැයි සිතන ඔබ මාසික පොලිය 2% ක් වූ තැන නැවතුනවත් එහි වාර්ෂක පොළිය කොතරම් ඉහලදැයි දැන් තේරෙන්න පුලුවනි. මුල්‍ය ආයතන විසින් තමා වෙත පුද්ගලයන් ආකර්ශනය වෙනුවෙන් වූ ප්‍රචාරණ ඉදිරියේ පාරිභෝගිකයින් වන ඔබගේ බුද්ධිමත් හැසිරීම ඉතා වැදගත්.

ඇපකරුවන් අසරණ නොකරන්න

ඔබ ණයක් ලබා ගන්නා විට ඇපකරුවෙක් ලෙසින් යම් කෙනෙක් ඉදිරිපත් වුනොත් විශ්වාසය පලුදු නොවන සේ කටයුතු කරන්න. ඔබ ණය ගෙවීම පැහැර හැරීම යනු ඇපයට සිටි පුද්ගලයා ඒ ණය ගෙවීමට නීතියෙන් බැඳී සිටීමක් නිසා ඒ ගැන වඩාත් අවධානයක් දක්වන්න. ඔබ ණය නොගෙවු විට ඇපකරු අසාධු ලේඛනයට ඇතුලත් කරන අතර ඒ තැනැත්තාට බැංකු ජාලයෙන් කිසිදු ගනුදෙනුවක් වෙනුවෙන් ඇති වරප්‍රසාද ඔබ ණය ගෙවන තෙක් හෝ ඇපකරැ මේ වෙනුවෙන් බැංකුවට සාධරණයක් ඉටු කරන තෙක් අවහිර කිරීමක් සිදු වේ. ඒ නිසා ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් වෙනත් අයෙකු අපහසුතාවයට පත් කිරීම එතරම් සුදුසු නොවන තත්වයක් බව සිතීම ඉතාම වැදගත්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here