සකසුරුවමට හුරු වෙමු

2017 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වී තිබෙන්නේ වෙනස ඉදිරියේ බිය නොමැතිව මුහුණ දෙමු යන්නයි. ඇත්තටම කාන්තාව පවුල නැමැති භූමිකාව තුළ ආර්ථික ලෙසින් ඉතා ශක්තිමත් පදනමක් ගොඩ නැගීමේ දායකත්වය ලබා දීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුය. මේ වෙනුවෙන් ඇය තුළ ඉතා හොඳින් සංවිධානය වුන කළමනාකාරණයක් පැවැතිය යුතුය.

ඉස්සර කාලයේ අම්මාවරුන් තම දියණියට බාල කාලයේ පටන්ම කියා දෙන ලද අපූරු කථාන්දරයක් තිබුණා. අම්මා කෙනෙකුට එකම දියණියක් සිටියා. ඇය විවාහකයි. මේ දියණිය ගංගාවෙන් එගොඩත් අම්මා මෙගොඩත් ජීවත් වුණා. හැම දවසකම අම්මා තම දියණියගේ ආහාර වෙනුවෙන් හාල් ටිකක් ගෙන යන අතර ඒ හාල් වට්ටියට වී ඇට දෙක තුනක් දමා ගෙන ගියා. ඇය මේ දේ කළේ උවමනාවෙන්මයි.

දැන් වේලකට සෑහෙන්න වී ඇට ඇතැයි අම්මාට හිතුනා. එක දවසක් වැස්සට ගඟ දෙගොඩ තලා  වතුර ගලද්දී දුව වී ඇට ඉතුරු කර ගෙන හිටියා නම් අද ඇයගේ රෑ ආහාර වේලට ඇති…අම්මා හිතුවා. පහුවදා ඇය දුවගෙන් ඇහුවා දුවේ ඊයේ රාත්‍රියේ මොකද කළේ…මට හාල් අරගෙන එන්නත් බැරි වුණා..කියලා

දුව උත්තර  දුන්නේ මෙහෙම…හැමදාම අම්මා මට එවපු හාල්වල තිබුන වි ඇට එකතු කර ගෙන හිටියා…මම ඒ ටික හාල් කර ගත්තා..

මම හිතා මතාම ඔය වී ඇට ටික එව්වේ දුවගේ සකසුරුවම බලන්න අම්මා කිව්වා…ඇත්තටම කාන්තාවක් වුනොත් අරපිරිමැස්ම, සකසුරුවම අනිවාර්යෙන්ම අවශ්‍යයි. අද වගේ එදා කාන්තාව රැකියාවක් නොකළත් ඇය ඉතා පරිස්‍සමෙන් පවුලේ ආර්ථිකය සංවිධානය කළා. නිතරම ඇය හිතුවේ හෙට දවස ගැනයි. ලැබෙන ආදායමෙන් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න නිතරම උත්සාහ කලා.

අද කාන්තාව නිතරම හිතන්නේ අපි ජීවත් විය යුත්තේ අනාගතයේ නොව වර්තමානයේ බවයි. ඒ වුනත් එදා කාන්තාව හිතුවේ අපි මැරිලා ගියත් දරුවන්ට යමක් ඉතුරු කරන්න ඕන කියලයි. මේ නිසාම ඔවුන් නිතරම උපයන විට ඉතුරු කරන්න පුරුදු වුනා. සල්ලි කැටයකට දාලා නොදැනම ඉතුරු කරන්න පුරුද්ද ඇති වුණා. සීට්ටු විදිහට සල්ලි නොදැනම ඉතුරු කරන්න පුරුද්දක් අතීතයේ තිබුණා.

අද නම් බැංකු ජාලය දියුණු නිසා කාන්තාවට ඉතුරු කරන්න අවශ්‍ය තරම් ක්‍රමවේද තිබෙනවා. උපයන විට ඉතුරු කරන්න වගේම බැංකුව ගේ දොරකඩට ඇවිත්…මේ නිසා කාන්තාවට ඉතුරු කරන ක්‍රම සොය සොයා සිටින්න අවශ්‍ය නැහැ. ඒත් එක අඩුවක් තිබෙනවා. අද කාන්තාවන් අතර ඉතුරු කරන්න එතරම් උනන්දුවක් නැහැ.

ඔවුන් හැම විටම රැල්ලට යනවා මිසක තමන්ගේ ඕනෑ එපාකම් ගැන හිතන්නේ නැහැ. අල්ලපු ගෙදර සොෆා සෙටියක් ගත්තොත් තමන්ගේ නිවසේ ඉඩ පාඩු නැති වුනත් සොෆා සෙටියක් මිළට ගැනීම අවශ්‍ය වෙනවා. මේ නිසා අනවශ්‍ය වැය බරකට ඔවුන් යොමු වෙනවා. එතැන පටන් මේ මුදල ගෙවන්නේ කොහොමද යන පශ්චත්තාපයෙන් පීඩාවට පත් වෙනවා.

ඒ වගේම එදා කාන්තාවට තිබන එකම සැපත ණයක් නොවී ජීවත් වීමයි. මේ ගැන බුදුරජාණන්වහන්සේගේ දේශනාවන්හි පවා සඳහන් වෙනවා. ණය නිසා මුදලත් මිතුරත් දෙදෙනාම නැති වෙන බවට වූ කියමන නිසා ණය වෙන්න ඔවුන් යොමු වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. රැකියාවක් කරන කාන්තාව තමන්ගේ වැටුපෙන් ගත හැකි උපරිම ණය ලබා ගන්නවා. බැංකු ණයත් ලබා ගෙන ඉතිරි අඩු පාඩුවට පහසු ගෙවීමේ ක්‍රමයට විවිධ ආයතන මගින්ද අවශ්‍ය නොවුනත් යම් යම් දේ මිළට ගන්නවා. මේ සියල්ලටම පොළියක්ද එකතු වුනාම කාන්තාවට ඇගේ සහ ස්වාමිපුරුෂයාගේ වැටුපත් සමග සම්බන්ධ වුනත් ප්‍රමාණවත් නැහැ. මේ නිසා නිතරම තමන්ගේ අවශ්‍යතාවයන් ගැන මිසක ආදායමට සරිලන විදිහට වියදම ගලපා ගන්නේ කොහොමද යන්න ගැන දෙවරක් හිතන්නේ නැහැ.

ඒ වගේම එදා කාන්තාව බෙහෙවින් අරපිරිමැස්මට යොමු වුනා. බුදුරජාණන්වහන්සේගේ දේශනාවට අනුව සිවුරක් පරිහරනයෙන් පසුව පා පිස්නාවක් විදිහටත් , එයින් පසුව ගොම මැටි පිරිමදින විටත් දිරිගිය සිවුරු කොටස් ඇතුලත් කලා. අතීතයේදී කාන්තාව තුලත් අරපිරිමැසුම් ක්‍රම බොහෝ තිබුනා. අත්යන්ත්‍ර සහ කපු රෙදි දිරා ගිය විට එහි කොටස් ඉවත් කරල පොරවනා , අත්පිස්නා විදිහටත් පාවිච්චි කලා. ඇතැම් අවස්ථාවලදි පාපිස්නාවන් විදහටත්, කොට්ට උර ලෙසටත් පාවිච්චි කලා. නිවසේ රෙදි මසා ඉතිරි වෙන රෙදි කැබැලි මූට්ටු කර ගෙන අලංකාර කොට්ටඋර නිර්මානය වුණා. අද පැච් වර්ක් කලාවට  ඉතාම ආසන්න විදිහට තේ පෝච්චි , ගමන් මලු නිර්මානය කර ගත්තා. අතින් නිර්මානය වුන කොට්ට උර මිසක ඒ වෙනුවෙන් වැය බරක් දැරුවේ නැහැ. නිවසට පැමිණෙන නෑදෑයන් වෙනුවෙන් පමණක් අලුත් රෙදි පෙරෙදි පාවිච්චි වුණා. අද අල්මාරියකින් පලාතක්ම වෙන් වෙන්නේ පරිහරනය නොකරන ඇඳුම් වෙනුවෙන් බව ඔබටම තේරුම් යනු ඇති. ඒත් සාප්පු සවාරියේදී මිතුරියන් සමග නොනවතින තරඟයේදී තමන්ට අවශ්‍ය නැති වුනත් මිළට ගැනීමට දක්වන උනන්දුව නිසා මුදල් පසුම්බිය නොදැනම හිස් වෙන්නේ වෙනත් දෙයකට තිබෙන මුදල තවත් අර්බූදයක් සඳහා යොමු කරමින් බව අමතක නොකරන්න.

දරුවන්ටත් ඉතුරු කරන්න කියා දීම අම්මාගේ යුතුකමයි. අද පමණක් නොවෙයි හෙටත් කියා දවසක් තිබෙන බව ඔවුන්ට පහදා දෙන්න. පුංචි කාලයේ පටන්ම සතෙන් සතය ,රුපියලෙන් රුපියල ඉතුරු කරන්න ඔවුන්ට උපදෙස් දෙන්න. ඉතුරු නොකරන විට අනාගතයේ ඇති අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අපොහොසත් බව පෙන්වා දෙන්න.කුඩා දරුවන්ටත් අත මිට තිබෙන වේලාවට ඔවුන්ගේ කැටය වෙනුවෙන් මුදලක් ලබා දෙන්න. බැංකු පොතේ ගිණුම වර්ධනය වෙන අන්දම ඔවුන්ට අත්විඳින්නට අවස්ථාව දෙන්න. එය දරුවන්ට රසවත් අත්දැකීමක් වෙනු ඇති.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here