විදෙස්ගත වීමට පෙර ඔබත් මේ දේවල් ගැන හොඳින් සිතන්න.

0
3338
girl_at_airport

ඇත්තටම ගොඩක් දෙනා රට රැකියාවක් කරන්න යන්නෙ නැති බැරිකම නිසාම නෙවෙයි. මෙහෙ තියෙන ප්‍රශ්න වලින් සහනයක් ලැබේවි කියලා මව් රට අතැරලා විදෙස්ගත වන බොහෝ පිරිසක් අප අතර සිටිනවා. ඉතින් ප්‍රශ්න වලින් මිදෙන්න හිතන්  විදෙස්ගත වන බොහෝමයක් දෙනා තවත් ප්‍රශ්න කෝටියක් ඇති කරගෙන සමහර අවස්ථා වලදි තම ජීවිතෙන් පවා වන්දි ගෙවන අවස්ථා නැතුවාම නොවෙයි. අන්න ඒ නිසාම රට රැකියාවට යන ඔයා  විදෙස්ගත වෙන්න කලින් හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. කියමනටත් කියනවා නේ  ” දැනන් ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා” ඉතින් ඒ නිසාම රට රැකියාවට යන්න කලින් ඔයත් මේ දේවල් ගැන දැනගෙනම ගියොත් ඒක ඔයාට ගොඩක් හොඳයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිද ?  


ඔබ මොන තරාතිරමක විදෙස් රැකියාවකට ගියත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්යයි. එතනදී ඔබේ රැකියාව, ඔබට ලැබෙන වැටුප, නිවාඩූ කාල සීමා, ඔබේ රාජකාරී තත්වය වගේම ඔබේ ආරක්ෂාව පිළිබඳවද  ඔබ නොදන්න ගොඩක් දේවල් එතනින් ඔබට කියා දෙනවා.  ඔබ වෙනත් විදේශ ආයතනයක් හරහා විදෙස්ගත වුනත් ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අයෙක් නම් ඔබව මුලා කරන්න කාටවත් පුළුවන් කමක් නෑ.

අදාල ලියකියවිලි 


ඔබ කුමන ආකාරයේ රැකියාවකට, මොන ආයතනයක රැකියාවක් සඳහා විදෙස්ගත වුනත් ඔබේ රැකියාවට අදාල  හැම වාර්තාවක්ම වගේම ඔබව විදෙස්ගත කිරීමට මූලික වුන ඒජන්සිය පිළිබඳව ඇති ලියකියවිලිත් ඔබ ළඟ වගේම ඔබේ පවුලේ භාරකාරයෙකුටත්  එහි පිටපත් දීලා තියන්න. ඒක ගොඩක් වටිනවා. මොකද ඔයා වෙනුවෙන් පෙනී ඉන්න ඔයාගෙ පවුලෙ අය හරි ඒ විස්තර දැන ගෙන ඉන්න එක හරි වැදගත්.

ගමන් බලපත්‍ර හා හැඳුනුම්පත 


ඔබ විදෙස්ගත වන විට ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය වගේම ඔබගේ ජාතික හැදුනුම්පතත් ඔබ ළඟම තියා ගන්න. හැමදේටම වඩා ගොඩක් පරිස්සමෙන් ඒ දෙක ආරක්ෂිතව ඔබ ළඟ තියා ගන්නවා වගේම ඒවායේ පිටපත් කිහිපයක් ඔබේ පවුලේ භාරකාර සාමාජිකයකුටත් දීලා තියන්න.

ඔබ විදෙස්ගත වෙද්දි සුළුවෙන් හරි යම් මුදලක් ළඟ තියා ගන්න


මොකද ඔබ ඒ රටට ගිහින් රැකියාව කරලා පඩියක් අතට ගන්නකම් ඔබට ඔබගේ අවශ්‍යතා පිරිමහා ගන්න ඔබ අතේ මුදලක් තිබිය යුතුමයි.  පුළුවන් නම් අපේ රටින්ම මුදල් මාරු කරගෙන අරගෙන යන්න ඒක ඔයාට ලේසියි. නොදන්න රටකට ගිහින් එකපාර මුදල් මාරු කරන්න ගියොත් ඔයාව රැවටීම් වලටත් අහු වෙන්න බැරි නෑ.

කිසිම කෙනෙක් පමණට වඩා විශ්වාස කරන්න එපා


ඔයා විදෙස්ගත වෙන්න සහාය පතන ඒජන්සිය ගැන මුලින් ටිකක් හොයා බලන්න. ඒ ආයතනය හරහා විදෙස්ගත වුන පිරිස් වලට යම් යම් ගැටලු එහෙම ඇති වෙලා තියේද කියලා හොයන්න. එකපාර මුදල් දීලා  ඔයාට තියෙන හදිස්සියට අතරමං වෙන්න බලන් නම් විදෙස්ගත වෙන්න යන්න එපා. ඒ නිසා පනින් පෙර හොඳින් සිය දහස් වතාවක් හිතන්න. ඔයා ඉදිරියේ මොන තරම් දේවල් මවා පෑවත් සමහර විදෙස් ඒජන්සි මුදලට මිනිස්සු රට පටවලා අතරමං කරනවා. ඒ නිසා කල්පනාවෙන්.

ඔයා විදෙස්ගත වෙන්න ඉන්න රට මොකක් වුනත් යන්න කලින් ඒ රටේ තත්වය ගැන ටිකක් හොයා බලන්න


දේශගුණය ඔයාට ඔරොත්තු දෙනවද , ඒ රටේ ශ්‍රමය වැය කරන තරමට ඔයාට වැටුපක් ගන්න පුළුවන් ද,  යුධ ගැටුම් , ස්වභාවික විපත් බහුලද යන කාරණා ගැනත් හොඳට හිතලා හොයලා බලලා හොඳනම් විතරක් යන්න.

ඉතින් ඔයත් විදෙස්ගත වීමට පෙර මේ කියපු දේවල් ගැනත් හොඳින් හිතන්න. කරදරයකින් තොරව ඔබේ ආරක්ෂාව සලසා  ගෙන විදෙස්ගත  වෙන්න මේ කරුණු  ඔබටත් ප්‍රයොජනවත් වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here