ඔබේ විනෝදාංශය ඔබේම ව්‍යාපාරයක් කර ගන්නේ කෙසේද?

0
6498
ඔබේ විනෝදාංශය ඔබේම ව්‍යාපාරයක් කර ගන්නේ කෙසේද?
Woman working in hairdressing salon

බිරිඳක් මවක් ලෙස හිරු නැගෙන මොහොතේ සිට රාත්‍රිය පහන වෙන තුරු පවුල වෙනුවෙන් වෙහෙසෙන ඔබ ඉඩක් ලද මොහොතක පොතක් පත්තරයක් බලනවා වෙන්නට පුළුවන්. එසේත් නැතිනම් හුස්මක් ගන්න හෝ විවේකයක් නැති බැව් පවසමින් සැමියාට මැසිවිලි නගන බිරිඳක් වෙන්නට පුළුවන්. ඔබත් එසේ මැසිවිලි නගන්නේ නම් පළමුව දවසේ පැය විසි හතර නිසියාකාරව කළමනාකරණය කරගන්න. එවිට දිනකට පැයක් දෙකක් හෝ විවේකයෙන් ගත කරන්න ඔබට පුළුවන්.

ඔබ දරුවන් පාසලට යවා ගෙදර දොර වැඩ කටයුතු නිමා කර විවේකයෙන් ගත කරන එම පැය කිහිපය ඔබගේ විනෝදාංශ සදහා යොදා ගන්නේ නම් මෙම ලිපිය ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

මදක් සිතා බලන්න ඔබගේ හැකියාවන් ගැන. ඔබ කලාකාමී හදවතක් ඇති කාන්තාවක්ද? මැහුම් ගෙතුම් වැඩ වලට දක්ෂතාවක් ඇත්තියක්ද? එසේත් නැතිනම් ඔබ අතින් පිසින ලද කෑම වර්ග රසවත් යැයි සියලු දෙනා ඔබව අගය කරන්නේද? ඔබ මොහොතකට හෝ සිතුවාද ඔබගේ හැකියාවන්ගෙන් යම්කිසි මුදලක් උපයා ගන්න?

තවදුරටත් සිතා බලන්න ඔබගේ විනෝදාංශ ගැන. පොත් පත් කියවීම,අන්තර්ජාලය පරිහරණය ආදී නොයෙකුත් විනෝදාංශ අතරේ ඔබ විවේකයට අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්නේද? නැතිනම් පුංචි දුවට හැඩ මල් ගවුම් පොඩි මහන්නේද? එසේනම් ඔබගේ විනෝදාංශය, ඔබගේ හැකියාව ඔබේම කියා ව්‍යාපාරයකට අඩිතාලමක් කර ගන්න. කාන්තා ව්‍යවසාය සහ තරුණ ව්‍යවසාය මේ දින වල ජනප්‍රියම මාතෘකාවක්. ඉතින් උත්සාහයත් කැපවීමත් තිබේනම් ඔබටත් හැකියි සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වන්න.

පහත විස්තර කර ඇත්තේ එලෙස ව්‍යාපාරයක් බවට පත් කල හැකි විනෝදාංශ කිහිපයක්. ඔබටත් ඔබේ විනෝදාංශය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කරගෙන ගෙදර වියදම් වලටත් සහයක් වෙන්න පුළුවන්.

  1. සුබ පැතුම්පත් නිර්මාණය

ඔබ ඔබේ ආදරණීය සැමියාගේ එසේත් නැතිනම් ඔබේ හිතමිතුරන්ගේ උපන් දිනයට ඔබේ අතින්ම නිර්මාණය කරන ලද සුබ පැතුම්පතකින් සුබ පතන්නේද? ඔබට එවැනි නිර්මාණශීලි හැකියාවන් පවතින්නේ නම් එය ව්‍යාපාරයක් දක්වා සංවර්ධනය කරන්න ඔබට හැකියි. ඔබ ෆේස්බුක් පරිහරණය කරන්නියක් නම් සුබ පැතුම් පත්,උපන් දින සැරසිලි ආදිය ව්‍යාපාරයක් ලෙස සාර්ථක කර ගත් දිරිමත් කාන්තාවන් බොහොමයක් මුණ ගැසේවි. වියලි මල් කොළ,මටළු වගේ ස්වාභාවික දේවල් වගේම මිලයට ගන්න පුළුවන් පබළු,විවිධ මෝස්‌තර සහිත කොළ වර්ග සහ බෝඩ් වර්ග භාවිතයෙනුත් ඔබට ඉතා අලංකාර සුබ පැතුම් පත් නිර්මාණය කර ගන්න පුළුවන්. ‘හෑන්ඩ් මේඩ්’ කාඩ් වලට බොහොමත්ම හොඳ වෙළදපලක් අගනුවර ආසන්නයේ තිබෙනවා. ලිපි ද්‍රව්‍ය අලෙවි කරන බුක් ෂොප් එකක හෝ ෆේස්බුක් හි සාදන ලද පේජ් එකක් තුලිනුත් ඔබට අලෙවිය සිදු කරන්න පුළුවන්. ඔබට මේ සදහා වැඩිදුර හදාරන්න අවශ්‍ය නම් යූ ටුයුබ් හි මිලියන ගණනක් වීඩියෝ ඔබට දැනුම ලබා දේවි.

  1. ආභරණ නිර්මාණය

වෙළදපොලෙන් මිලට ගන්න පුළුවන් විදුරු එහෙමත් නැතිනම් ප්ලාස්ටික් පබළු වලින් වගේම කඩදාසි,සිප්පි කටු වලිනුත් ඔබට ආභරණ නිර්මාණය කරගන්න පුළුවන්. වර්තමානයේ පොල් කටු,කිරි මැටි වගේ පරිසරයට හිතකර ද්‍රව්‍ය වලින් නිමවූ ආභරණ වලට හොඳ වෙළද පොලක් පවතිනවා. රන්,රිදී ආශ්‍රිත ආභරණ නිර්මාණය කිරීමට නම් ඔබට විශේෂිත දැනුමක් මෙන්ම උපකරණද අවශ්‍ය වෙනවා. රන් ආභරණ නිර්මාණය පුහුණු කරන පාඨමාලාවක් හැදෑරීමෙන් ද ඔබට ආභරණ නිර්මාණ කලාවේ නිපුනත්වයක් ලබා ගන්නට හැකියාව පවතිනවා.

  1. ඇඳුම් මැසිම

ඔබ රැකියාවට යන කාන්තාවක් නම් අලුත් සාරියක් ගත් සැනින්ම එයට සාරි බ්ලවුස් මස්සවා ගැනීමට ඔබ සිදුවෙනවා. සාමාන්‍යයෙන් රු.500 සිට රු.1500 ක් පමණ මුදලක් ඔබට මේ සඳහා වැයවෙනවා. නිකමට සිතා බලන්න ඔබ මැහුම් ගෙතුම් පිළිබද දැනුමක් ඇත්තියක් නම් නිවසේ මහන මැෂිමක් තිබේ නම් මෙය ඔබට කදිම ආදායම් මාර්ගයක් නොවේද ? ඔබ ඔබගේ පුංචි දුවට පුතාට ඇඳුම් මසන්නේ නම් ඔබ ඔබගේම ඇඳුම් මසා ගන්නේ නම් ඔබට මේ සඳහා කාලයත් තිබේ නම් හිතවතුන්ට ඇඳුම් මසා පුංචි ව්‍යාපාරයක් අරඹන්න. මහරගම පමුණුව පාරෙන් සහ පිට කොටුවෙන් රෙදි සහ ඇඳුම් මැසිම සඳහා අවශ්‍ය සියළු දේ ඔබට මිලට ගන්න පුළුවනි.

  1. චායාරූපකරණය

ඔබ විනෝදාංශයක් ලෙස අවට පරිසරයේ නැතිනම් ඔබේ දරුවන්ගේ සොඳුරු මතක චායාරුප ගත කරන්නේ නම් ඔබට ගුණාත්මක බැවින් වැඩි කැමරාවක් තිබේ නම් ඔබට පුළුවන් උපන් දින සාද ආදිය චායාරුපගත කරන්න. මෙය බොහෝ තරුණ තරුණියන් ව්‍යාපාරයක් ලෙස සාර්ථකව කරගෙන යන විනෝදාංශයක්. අඩු වියදමකින් ෆේස්බුක් හරහා ප්‍රචාරණය සිදු කිරීමටත්‍ඔබට හැකියි. ඔබට අවශ්‍ය නම් පිළිගත් ආයතනයකින් මේ සඳහා පුහුණුවක්ද ලබා ගන්නට හැකියි. ඔබේ හිතවතුන්ගේ නැතිනම් ඔබේම දරුවන්ගේ උපන් දින සාද,සුහද හමු ආදියෙන් මුල් පියවර තබා මංගල චායාරූපකරණය දක්වා දුර ගමනක් යන්නට ඔබට හැකියි.

  1. කේක් , සහ විවිධ ආහාර වර්ග සැකසීම

ඔබට කේක් ,බිස්කට් වර්ග, විවිධ අතුරුපස සහ පැණිරස කෑම වර්ග රසවත්ව සැකසිය හැකි නම් ඔබට එය ආදායම් මාර්ගයක් කර ගත හැකියි. උපන් දින සාද සඳහා වර්තමානයේ බොහෝ අය පුදුරු වී සිටින්නේ නිවසේදී සාදන ලද නැවුම් කේක් ගෙඩියක් මිලට ගන්නයි. තවද චට්නි වර්ග,අච්චාරු වර්ග මෙන්ම රසකැවිලි සඳහාද ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඉතින් ඔබ ආධුනිකයෙක් නම් ඔබට අන්තර්ජාලය හරහා විවිධ අලුත් කෑම වට්ටෝරු අත්හදා බලන්න හැකියි.

කාන්තාවනි ඔබට ජිවන ගමන් මගේ ව්‍යාපාරික කාන්තාවක් ලෙස ඉදිරියටම යන්න අවස්ථා නම් බොහෝමයි. අවශ්‍ය වන්නේ ඔබගේ උත්සාහය සහ කැපවීම පමණයි. උත්සාහ කර බලන්න ඔබට ලෝකය ජය ගත හැකියි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here