හෙට දින, ලොව දිනන දරුවන් උදෙසා යහපත් දරු පරපුරක් බිහි කිරීම වැඩිහිටි අපගේ යුතුකමකි.

0
5862
caring_of_kids

වර්තමාන වන විට නොයෙකුත් හැල හැප්පීම්, සමාජ පීඩන , ආර්ථික අපහසුතා, දෙමාපිය රැකවරණය යන දේවල් පාදක කර ගත් අර්බුදකාරී වාතාවරණයකට අප සමාජයේ බොහෝ දරුවන් පත්ව ඇත. එකම සමාජතලයක   දුප්පත් , පොහොසත් ලෙස අද ඉපදෙන දරුවාගේ පටන් වෙන් කරලීමට මෙම සමාජය නපුරු වී ඇත.  පරිපූර්ණ ළමා වටපිටාවක් ගොඩ නගන්නට ප්‍රධාන අඩිතාලම දැමිය යුතු වැඩිහිටි උදවිය විසින්ම එම අත්වැල කඩා බිඳ දැමීමට සැහැසි වී සිටී. අද සමාජය දෙස බලන කල අපට පෙනී යන්නේ එදා අප වැඩිහිටියන් අපට ඉගැන්වූ ඒ උදාර ගුණයන් ගිලිහි යන බවක්ය. වැඩිහිටි පරපුරෙහි මඟ පෙන්වීම හමුවේ අපගේ දරුවන් විපතින් මුදවා යහමගට යොමු කිරීමට  මෙම සමාජයේ වෙසෙන වැඩිහිටි උදවිය ලෙස ඔබට මටද විශාල මෙහෙයක් සිදු කිරීමට ඇත. ඒ සඳහා තම පවුල තුලින්ම මූලික අඩිතාලම දැමිය යුතුය. පවුල තුලින් තම දරුවන් හට නිසි ආදරය, රැකවරණය ලැබේ නම් දරුවන් හට ඇති අර්බුදකාරී තත්වය මග හරවා ගැනීමට අපහට හැකිය.

අනාගත දරුවන්ගේ රැකවරණය උදෙසා යහමඟ පෙන්වන දෙමාපිය වැඩිහිටියන් නිතර නිතර තම දරුවන් සමඟ දරුවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමත්, දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමත්, කළ යුතු දෑ දරුවන්ට කියා දීමත් වැඩිහිටි සැමගේ වගකීමකි. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපන තත්වය පිළිබඳව සොයා බලා දරුවන්ට පාසල සම්බන්ධව ඇති දේවල් පවත්වා ගත යුත්තේ කෙසේදැයි යන්න අවබෝධ කර දිය යුතුය.

අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ  පරම යුතුකමකි. ඉපදුන දින සිට දරුවකු ලොකු මහත් කිරීමට මාපියන් මහත් පරිශ්‍රමයක් දරන අතර  දරුවන් කිහිප දෙනෙකු සිටින පවුලක දෙමාපියන්ට ඇති වගකීමද ඉතා විශාලය. එහිදී මාපියන්  වැඩිහිටි දරුවන්ටත් වඩා අවදානය යොමු කරන්නේ බාල දරුවන් උදෙසාය. එහිදී තමා වෙත මාපිය ආදරය නොලැබෙනවායයි සිතන දරුවන් බොහෝමයක් දෙනා  තම පාලුව, කාන්සිය මකා ගැනීම සදහා  අන්තර්ජාලය , රූපවාහිනිය, වගේ දේවල් සඳහා වැඩි උනන්දුවක් දක්වනු ලබති.

එය   දරුවෙකුගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු කරන්නා වූ අත්දැකීම් විය හැකිය. අන්තර්ජාලය හරහා  පුද්ගලයන් හදුනා ගැනීම තුලින් ඔබගේ දරුවන් වෙනස්ම මඟකට යොමු විය හැකි අතර අන්තර්ජාලය හරහා නරඹන දේවල් පිළිබඳව ද වැඩිහිටියන් ලෙස ඔබ හොද අවදානයෙන් සිටිය යුතුය. දෙමාපිය රැකවරණය යටතේ හැදී වැඩෙන දරුවන් වැරදි දේවල් වලට යොමු වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුවේ.

දරුවන් සිදු කරනු ලබන සෑම නිවැරැදි ක්‍රියාවක්ම අගය කරනු ලබන්නේ නම් එය දරුවන්ගේ මානසික මට්ටම නගාලීමටත් සංවර්ධන වේගය වැඩිදියුණු කිරීමටත් බලපානු ඇත. එමෙන්ම වැඩිහිටියන් ලෙස ඔබ කළ යුත්තේ දරුවන්ට ජීවත් වීමට සුදුසු පරිසරය හා වටපිටාව  පිරිසිදු , කරුණාව, දයාව හා එකමුතුකමින් පිරි එකක් බවට පත් කර දීමය. තවද එකමුතුව හා සහෝදරත්වය තිබෙන  තැන දරුවන් රදවා තබා ගැනීම තුලින් දරුවන්ගේ යහපත් ගති පැවතුම් මෙන්ම ආරක්ෂාවද රදා පවතී.  වැඩිහිටි ඔබ ඔබගේ දරුවන් හට කුඩා කළ සිටම ඉවසීම හුරු කළ යුතු අතර කෝපය ,වෛරය, සබකෝලය වැනි දෑ ඔවුන් තුලින් තුරන් කල යුතුය. දරුවන්  ජීවත් වන ගෙදර පරිසරය ද දරුවන්ට යෝග්‍ය පරිදි  නිදහසේ හැදී වැඩීමට ගැලපෙන ලෙස සකස්කර දීම තුලින් කායික ශක්තිය මෙන්ම දරුවාගේ ආරක්ෂාව ද තහවුරු කර ගත හැකිය.  සෑම විටම දරුවන් වැඩිහිටි පාර්ශවය අනුකරණය කිරීම තුලින්ද දරුවන් හට විවිධ වූ ආකල්ප ගති    පැවතුම් හුරු වේ. එම නිසා වැඩිහිටියන් ලෙස අපද දරුවන් ඉදිරියේ  හැසිරෙද්දී ,කතා බහ කරද්දීත්  හොදින් සිතා බලා කටයුතු කල යුතුය. දරුවන් වැඩි ලෙසම බොහෝ දේ ඉගෙන ගන්නේ තම වැඩිහිටියන්ගෙනි. එම නිසා දරුවන්ට නිසි දේ කියා දීම වැඩිහිටි අපගේ වගකීම වේ.

අද වත්මන් සමාජයේ දිනෙන් දිනම වැඩි වන දූෂණය , වංචාව, මිනීමැරුම් , මත් ද්‍රව්‍ය , සුරා සූදුව රජයන ලෝකයේ දැනුම් තේරුම් ඇති වැඩිහිටි අප සැමගේ  පරම යුතුකම වන්නේ රන් වන් වටිනා අපගේ දරුවන්  හොදින් රැක බලා යහපත් දේ කියා දෙමින් යහපත් අනාගත පරපුරක් බිහි කරලීමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here