සිහිනයත් යතාර්ථයත් අතර බැඳුනු පාලම – Virtual Reality

0
2319
Virtual Reality ගැන සිංහලෙන්

VR එසේත් නැත්නම් Virtual Reality තාක්ෂණය කියන්නේ විශේෂ හිස් ආවරණයක් හෝ කණ්ණාඩියක් වැනි විශේෂ ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් පුද්ගලයෙකුට අන්තර් ක්‍රියා කළ හැකි ත්‍රිමාණ රූපී අත්දැකීමකී. මෙම විශේෂ හිස් ආවරණ එසේත් නැත්නම් Headset දැනට වෙළඳපොළේ විවිධ මිල ගණන් යටතේ පවතී. මින් වඩාත් ජනප්‍රිය Headset ලෙස Oculus Rift, Google Cardboard  හැඳින්විය හැකිය. මෙම තාක්ෂණය තවමත් දියුණුවෙමින් පවතින තාක්ෂණයක් වුවද දැනටමත් විවිධ ක්ෂේත්‍රවල විවිධ කාර්යයන් පහසු කරගැනීමට සමත් වී ඇත.

Virtual Reality භාවිතා කරන ක්ෂේත්‍රයන්

විනෝදාස්වාදය

Gaming කියන්නේ මේ වනවිට වර්චුවල් රියලිටි තාක්ෂණ යොදාගන්නා මූලිකම අංගයකි. මීට අමතරව Film hall එකකට ගොස් චිත්‍රපටියක් නරඹන විට ලැබෙන අත්දැකීම ඔබට නිවසේ සිටම Virtual Reality Headset එකක් භාවිත කර  ලබාගැනීමට පුළුවන. සමහරක් අවස්ථාවල මෙම අත්දැකීම තවත් පුළුල් වී ඔබ චිත්‍රපටිය තුළ සිටිනවා යන හැඟීමද ඔබට ඇතිකිරීමට මෙම තාක්ෂණය සමත් වී තිබේ. චිත්‍රපට වලට පමණක් නොව ක්‍රීඩා (Sports) තරඟ නැරඹීම වැනි දෑ සඳහාද Virtual Reality තාක්ෂණය වර්ථමානයේදී යොදාගනී. මෙහිදී ඔබට ක්‍රීඩා පිටියකට පිවිසීමකින් තොරව ක්‍රීඩා පිටියකදී ඔබට ලැබෙන අත්දැකීම මෙම තාක්ෂණය හරහා ලබාගැනීමට හැකියාව ලැබේ. ඔබ සංචාරය කිරීමට කැමති අයෙක් නම් මෙම තාක්ෂණය මහත් සේ වැදගත් වේ. මීට හේතුව දැනට සමහරක් සමාගම් විසින් ඔබ සිටින ස්ථානයේ සිටම ඔබ කැමති රටක් Virtual Reality තාක්ෂණය හරහා දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබීමයි

විශ්වයේ සැරිසැරීම

අපි කවුරුත් දන්නා NASA ආයතනය වෙනත් ග්‍රහලෝකවල ජීවයක් පවතීද යන බව දැනගැනීමටද Virtual Reality තාක්ෂණය භාවිත කර රෝබවන් පාලනය කිරීම වැනි දෑ සිදු කරයි. මේ නිසා කලින් මේ සඳහා තිබූ අවදානමද තරමක් දුරට අඩු වී තිබේ.

අතීතයට යෑම

Virtual Reality තාක්ෂණයේ තවත් එක් භාවිතයක් ලෙස මෙය හැඳින්වීමට හැකියි. මෙහිදී ඔබට ඔබ සිටිනා ස්ථානයේ සිටම Virtual Reality Headset එකක් භාවිත කර අතීතයේ යම් ප්‍රසිද්ධ ස්ථානයක් පැවතුනේ කුමන ආකාරයකින්ද යන වග නැරඹීමට හැකිවේ.

වාහන නිෂ්පාදනයේදී

වාහනයක් නිර්මාණය කිරීමේ සිට ආකෘතියක් බිහිකිරීම දක්වා සෑම අදියරක් සඳහාම දැන් Virtual Reality තාක්ෂණය භාවිත කරයි. ලෝකයේ ජනප්‍රිය වාහන නිෂ්පාදන ආයතනයක් වන Ford ආයතනය තම සේවකයින්ට ආයතනයේ නිර්මාණය කිරීමට සැලසුම් කරන වාහන වල අභ්‍යන්තර සහ බාහිර පෙනුම නැරඹීමට Virtual Reality තාක්ෂණය හරහා අවස්ථාව උදා කර දී තිබේ. මෙහිදී වාහනය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව ඇති විය හැකි ගැටලුවලට විසඳුම්ද වාහනය නිෂ්පාදනය කිරීමට ප්‍රථම සොයාගැනීමට හැකිවීම සුවිශේෂී අංගයකි.

අධ්‍යාපනය

අධ්‍යාපනය සඳහා Virtual Reality තාක්ෂණය බොහෝසෙයින් වැදගත් අංගයකි. ඔබට අමාරු විෂය කොටස් Virtual Reality හරහා ඉතාමත් සරළ ලෙස ඉගෙනගැනීමට හැකිවීම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මීට අමතරව සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Toyota ආයතනය නොසැලකිලිමත් රිය ධාවනය පිළිබඳව ළමුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමට Virtual Reality තාක්ෂණය භාවිතා කරයි.

අන්තර්ජාලයේ භාණ්ඩ මිලදීගැනීම (Online Shopping)

වර්ථමානයේ භාණ්ඩ මිලදී ගැනීම වැනි ක්ෂේත්‍රවලටද Virtual Reality තාක්ෂණය පැමිණ තිබේ. මෙහිදී තමන්ට ඇත්ත shopping market එකක ස්වරූපයෙන් යුත් පරිසරයක shopping කිරීමේ හැකියාව ලැබෙන අතර මෙහි තවත් අංගයක් ලෙස ඔබට ඔබගේ යහළුවන් සමඟද shopping කිරීමට හැකියාව ලැබේ.

Virtual Reality තාක්ෂණයේ වාසි

Virtual Reality තාක්ෂණය ඉගෙනීම වැනි දෑ පහසු කරවයි

එය පරිශීලකයන්ට පහසුවෙන් විවිධ ප්‍රසිද්ධ ස්ථාන නැරඹීමට අවස්ථාව ලබාදෙයි

මෙම තාක්ෂණය නිසා තමන්ගේ කාලය ඉතිරි වේ.

නිෂ්පාදනයන් ආදිය සිදුකිරීමේදී ඇතිවන අවදානම අඩුවේ.

Virtual Reality තාක්ෂණයේ අවාසි

Virtual Reality Headset වැනි උපකරණ මිල අධික වේ.

එම නිසා මෙම තාක්ෂණය සෑම අයෙකුටම භාවිත කිරීම අපහසු කරුණකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here