සිත් පැහැර ගන්න චරිතයක් වෙමුද ?

0
8063
attractive_girl

මග තොට හමුවන දහසක් මිනිසුන් අතරේ ඇසුරු සැනින් හිත පැහැර ගන්න චරිත ඔබටත් මුනගැසී ඇති. සමහර මිනිස්සු නළු නිලියන් තරම් ලස්සන නොවුනත්, හොඳ ගති ගුණ ඔවුන්ගේ කතා බහ, හැසිරෙන විදිය අපිව වශි කරගන්න තරම්.

හැමෝම කැමතියිනේ ඒ වගේ ආකර්ශණීය චරිතයක් වෙන්න. ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ වගේ ප්‍රියමනාප ආකර්ශණීය පුද්ගලයන්ගේ රහස් ටිකක්.

හොඳ සවන් දෙන්නෙක්

බොහෝ මහත්මා ගති ඇති පුද්ගලයන් හොඳ සවන් දෙන්නන්ද වෙනවා. ඒ වගේ අය ඔබ කතා කරද්දි කතාවටම විතරක් අවධානය යොමු කරනවා. ඒත් බොහොමයක් අය තව කෙනෙක්ගේ කතාවට ඇහුම්කන් දෙන ගමන් මොබයිල් ෆෝන් එකේ වැඩක්, එහෙමත් නැතිනම් වටපිට බල බල අවධානය වෙනතකට යොදවනවා. ඒකෙන් වෙන්නෙ කතා කරන කෙනාට තේරෙනවා ඔබ ඔහුට කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැහැ කියලා.තවත් දෙයක්, ඔයා දුකෙන් ඉන්න වෙලාවට යාලුවෙක්ට කතා කරන්නේ හිතේ තියෙන දුක කියන්න, දුක බෙදාගන්න. ඒත් යාලුවා ඔයාගේ කතාව නවත්තලා එයා ඔයාට උපදෙස් දෙනවානම්, ඔයාට තරහා යන්නත් පුලුවන්. ඒත් සමහර අය ඉන්නවා ඔයාගේ කතාව අන්තිම වෙනකම් අහගෙන ඉඳලා ඔයාට උපදෙස් ඕන නම් විතරක් උපදෙසක් දෙනවා.

පැහැදිලිව කතා කිරීම

අපි ඇසුරු කරන සමහර අය ඉන්නවා හරිම වේගෙන් කතා කරනවා. සමහර වෙලාවට කතා කරන වේගය වැඩි නිසාම අහන් ඉන්න කෙනාට හරියට තේරුම් ගන්නත් බැරි වෙනවා. තවත් අය හරිම හෙමින් සද්දේ ගොඩක්ම අඩුවෙන් කතා කරනවා. එතකොටත් කියන දේ පැහැදිලිව අහගන්න බැරි වෙනවා. තවත් අය ඉන්නවා කටට එන හැමදේම හිතන්නේ බලන්නේ නැතිව ඔහේ කියනවා.  ප්‍රියමනාප වැදගත් අය බොහෝවිට අඩුවෙන් කතා කරන අය. ඒත් එයාලා කතා කරද්දී හරිම විශ්වාසයෙන්, පැහැදිලිව, කෙටියෙන් කියන්න තියෙන දේ කියනවා.  ඒ වගේම දෙයක් කියන්න කලින් දෙතුන් වරක්ම හිතල බලලා තමා කතා කරන්නේ. අනුන්ගේ ඕපාදුප වගේ දේවල් කතා කරන කෙනෙක් නම් කවදාවත් ප්‍රියමනාප වැදගත් කෙනෙක් වෙන්නේ නැහැ.

අව්‍යාජ මිනිසුන් වීම

සමහර මිනිස්සු ලෝකෙට පේන්න ලස්සන වෙස් මුහුණු දාගෙන හිටියත් ඇතුලෙන් සතුන්ටත් වඩා නරක ගති ගුණ ඇති අය. අපි කවුරුත් අකමැතියි රැවටෙන්න.  හිතන්න කවුරුහරි ඔයාව රැවැට්ටුවා කියලා. ඊට පස්සේ ඔයා අනිත් අය දිහා බලන්නෙත් වපර ඇසින්. අනිත් අය ඔයාව විශ්වාස කරන්න නම්, ඔයා ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕන ඔයා විශ්වාසවන්ත කෙනෙක් කියලා. සරල, අව්‍යාජ, අවංක මනුස්සයෙක් වෙන්න පුළුවන් නම් අනිත් අය අතරේ ඔයාව කැපී පෙනේවි.

ෆෝන් එකට වඩා මිනිසුන්ට මුල් තැන දෙන්න

අද ස්මාට් ෆෝන් එකක් නැති තරුණ කෙනෙක් හොයාගන්න නැති තරම්. බස් එකේ යන ගමන්, ඔෆිස් එකේ නිවාඩු වෙලාවක් ලැබුනම, ගෙදර ගිහින් නිවාඩු පාඩුවේ ඉන්නකොට ෆෝන් එක තමා අපේ ලගින්ම ඉන්නේ. ගොඩක් තරුණ ළමයි අම්මාගෙන් බැනුම් අහනවා ෆෝන් එකේම ඉන්නවා කියලා. හිතන්න ඔයා කාත් එක්ක හරි කතා කරද්දී අනිත් කෙනා නිතරම ෆෝන් එක දිහා බලනවා, එහෙම නැතිනම් තව කෙනෙක් එක්ක මැසේජ් කරනවා කියලා. එයා නොකියා කියන්නේ එයාට ඔයාට වඩා ෆෝන් එක වටිනවා කියලා  වගේ දෙයක් ඔයාටත් හිතේවි. ඒනිසා තවත් කෙනෙක් එක්ක කතාබහ කරද්දී ඔයාගේ සම්පුර්ණ අවධානය කතා කරන කෙනාට දෙන්න.

නමින් කතා කරන්න

අපි හැමෝම කැමති අපේ නම කියලා කතා කරනවානම්. ඉතින් ඔයා කාත් එක්ක හරි කතා කරද්දී එයාගේ නමින් කතා කරනවානම් (ඔයා මෙයා කියලා කියන්නේ නැතුව නමින්ම කතා කරද්දී) අනිත් කෙනාට විශේෂයක් දැනේවි, මගේ නමත් මෙයාට මතකයි කියල වගේ.අ නික කොහේහරි ඔයාගේ නම කියනවා ඇහෙද්දී විශේෂයෙන් හැරිලා බලනවානේ. ඒ නිසා ලොකු පොඩි කියලා බලන්න නැතුව අනිත් අයගේ නම් මතක තියා ගන්න. ඒ වගේම අපිට වඩා අඩු රැකියාවක ඉන්න කෙනෙක්ට වුනත් ප්‍රියමනාප විදියට කතාබහ කරන්න.

අනිත් අයගේ ජයග්‍රහණ සමරන්න

අනිත් අයගේ ජයග්‍රහණ සමරන්න නම් ඔබ ඊර්ශාව කියන දෙයින් තොර වෙන්න ඕන. බොහොමයක් මහත්මා ගති ගුණ වලින් පොහොසත් පුද්ගලයින් අනිත් අයගේ දියුණුව, ජයග්‍රහණ වලට පිරිසිදු සිතින් සුබ පතනවා. සමහරු ඉන්නවා බොරුවට අනිත් අයට පේන්න ඔබට සුබ පැතුවත් හිත යටින් ඔබට අයහපතක් වෙන්න ප්‍රර්ථනා කරන අය. ඒ වගේම හොඳ ගති ගුණ ඇති අය අනිත් අයගේ දියුණුවට උදව් කරනවා.

මේ හැමදේමත් එක්ක ඔයා කතා කරන ටෝන් එක, බොඩි ලැන්ග්වේජ් වගේ දේවලුත් බලපානවා අනිත් අය අතරේ කැපී පේන්න.ඒ වගේම අනිත් අයගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් විදියට වැඩකරන්න, බොරුව කියන දේ ජීවිතේට ළං කරගන්න එපා. නිතරම සිනාවෙන් දවස ගෙවන්න. ප්‍රසන්න විදියට අනිත් අය එක්ක කතා බහ කරන්න. එතකොට ඔයාටත් පුළුවන් හැමෝම අතර කැපී පෙනන ආකර්ෂණිය පුද්ගලයෙක් වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here