ඉස්හොරි කරදරයෙන් අත් මිදෙන්න කළ යුත්තේ කුමක්ද?

ඉස්හොරි කරදරයෙන් අත් මිදෙන්න කළ යුත්තේ කුමක්ද ?

කාන්තාවන් සියලුම දෙනාට තිබෙන තවත් ගැටලුවක් තමයි මේ ඉස්හොරි. ඉතින් මෙම කරදරයෙන් ගැල්වීමට අපි නොයෙකුත් දේවල් සිදු කරනවා. නමුත් එම දේවල් කිරීමට කලින් මොහොතක් වත් සිතුනෙ නෑ නේද ඒ දේවල් අපේ හිසකෙස් වලට,   සමට,  අපට  කෙසේ නම් බලපාවි ද කියලා.
අපි දෙයක් සිදු කරන්න කලින් ඒ දේ අපට කුමන ආකාරයෙන් බලපාවිද කියලා නිකමටවත් හිතුවෙ නෑ නේද ?

දැන් වෙළඳපොළේ ඇති නොයෙක් ආකාරයේ ඉස්හොරි මර්දන  ෂැම්පු වර්ග බෙහෙවින් කෙමිකල් වර්ග අඩංගු ඒවා. එම ෂැම්පු වර්ග භාවිතා කිරීම තුළින් සමහර විට ඔබට තිබෙන කෙස් ගස් ටිකත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම කළු කෙස් සුදු වෙන්නත් පුළුවන්.
එහෙයින් ඔබ ඉස්හොරි සඳහා ෂැම්පු  වර්ගයක් ගන්නේ නම් එය වෛද්‍ය උපදෙස් මත තෝරා ගැනීම ගොඩක් සුදුසුයි. එසේම එය පාවිච්චි කිරීමේදී  එහි ඇති උපදෙස් වලට අනුව එය භාවිතා කල යුතුයි. ඒ වගේම තමයි ෂැම්පු  වුවත් නිතරම පාවිච්චි කරන්න හොඳ නෑ. ඉස්හොරි මර්දන ෂැම්පු එකක් පාවිච්චි කරනවා නම් එය සති දෙකකට හෝ තුනකට වරක් භාවිතා කිරීම සුදුසුයි.

සමහර අයගේ  සිරුරේ නීරෝගීකම නොමැතිවීම හා මල බද්ධය ඇති වීමද ඉස්හොරි  වැඩි වීමට  හේතු වෙනවා . මේ නිසා දිනපතා වතුර පානය කිරීම, අලුත් එළවළු හා පළතුරු,, පලා වර්ග ගැනීමත් මල බද්ධය මැඩපවත්වා  ගැනීමෙන් ඉස්හොරි පාලනය කර ගත හැකියි. එමෙන්ම  මෙවැනි  අයට  රතු කැකුළු  හාලේ  බත් මෙන්ම, විශේෂයෙන්  නිවිති, සලාද කොළ  වැඩිපුර ආහාරයට  එක්කර  ගැනීම ද වඩාත් සුදුසුයි.
මෙවැනි ආහාර වර්ග ආහාරයට ගන්නවා වගේම  සැර කෑම බීම ජාති ගැනීමෙන් වැලකී සිටීමෙන් ද ඉස්හොරි මර්දන කරගත හැකිය. විශේෂයෙන් අච්චාරු, බලමාලු,  සෝස් වර්ග, විනාකිරි හා අධික ලෙස තුන පහ අඩංගු කළ කෑම මෙන්ම ටින් කල ආහාර වර්ග ගැනීමෙන්ද වැලකිය යුතුයි.

වියලි එසේ නැතිනම්  කුඩු මෙන්  ගැලවී යන ඉස්හොරි  ඇත්නම් දිනපතා හිස පහළට දමා පීරන්න. දිනපතා මෙලෙස හිස පීරීමෙන් ඉස්හොරි කුඩු ක්‍රමිකව ගැලවී යාවී. මෙසේ හිස පීරීමෙන් කෙස් මුල් වලට හොඳින් ලේ ගමනාගමනය සිදුවී හිසේ වියළි බව දුරුවන අතර ඉස්හොරි මර්දනයට එය හේතුවක් වේවි.
ඔබට තිබෙන්නෙ තෙල් සහිත ඉස්හොරි ඇති සමක් නම් මෙසේ දිනපතා හිස පීරීම මගින් එය තව දුරටත් වැඩි වෙන්න පුළුවන්. හැම විටම තම හිස පිරිසිදුව තබා ගත යුතු වෙනවා. ඒ වගේම ඉස්හොරි  මර්දනයට වගේම හිස පිරිසිදු කිරීමට නිතරම ස්වාභාවික ද්‍රව්‍ය හෝ ස්වාභාවික ද්‍රව්‍ය වලින් සැකසූ ආලේපන යොදා ගැනීම වඩාත් සුදුසුයි. එයින් හිස කෙස් වගේම ඉස්හොරි මර්දනයටත් ඔබට සහයක් වේවි. ඉස්හොරි මර්දනයට කොහොඹ, කෝමාරිකා, ගොඩපර  වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින් පිරි ෂැම්පු වර්ග භාවිතය වඩාත් උචිතයි.
එමෙන්ම ඔබ නෑමට ප්‍රථම දෙහි යුෂ ගෙන එය හිසට දමා හොඳින් හිස සම්භාහානය කරන්න. එයද ඉස්හොරි වදයෙන් මිදීමට පහසු ක්‍රමයක්.  ඔබට පුළුවන් නම් මෙම ප්‍රතිකාර ක්‍රමය කර බලන්න එමගින් නිට්ටාවටම ඉස්හොරි වඳ කර ගැනීමට පුළුවන්.   ගොඩපර ගෙඩි කිහිපයක් ගෙන උළු හාල් හා දෙහි ගැට කිහිපයක් දමා හොඳින් තම්බා ගන්න. නෑමට පැයකට පෙර එම තම්බාගත් ගොඩපර හොඳින් පොඩි කර හිසේ ගාන්න.  පසුව හිස හොදින් සෝදා පිරිසිදු කරන්න. මෙහිදී  ෂැම්පු හා සබන් භාවිතා නොකොට හිස පිරිසිදු කර ගන්නේ නම් එය වඩාත් හොදයි.

ඉස්හොරි ඇති අය ස්නානයේදී එකවරම හිසට වතුර දමා සේදීම නොකළ යුතුය. එසේ කිරීමෙන් හිසේ ඇති ඉස්හොරි මුහුණට  වැටීමට ඉඩ තිබෙනවා. එම නිසා මුහුණේ  කුරුළෑ  ආසාදන රෝග හට ගැනීමට පුළුවන්. එම නිසා ඉස්හොරි ඇති අය හිස පහතට නමා  පළමුව හිස හොඳින් පිරිසිදු කර ගත යුතු වෙනවා.

මෙම ඉස්හොරි කරදරයෙන් මිදීමට අප නිතරම පිරිසිදුව සිටිය යුතු වෙනවා. ඔබත් මෙම දේවල් අත් හදා බලන්න. ඔබටත් මින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වේවි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here