පීඩාවට පත් කාන්තා ඔබට සහනයක්

පීඩාවට පත් කාන්තා ඔබට සහනයක්

ඇත්තටම මේ සමාජයේ සතුටින් සැනසීමෙන් ඉන්නෙ කාන්තාවන් අතුරින් බොහෝම අල්ප ප්‍රමාණයක්. ගොඩක් දෙනෙක්ට තමන් මවපු හීන මාලිගා තනන්නත් ප්‍රථම ඒවා කඩා ඉහිරිලා ගිහින්. ඔයා නම් දන්නවා ඇති පවුල් ජීවිතේක මොන තරම් ඉවසීමෙන් වැඩ කරත් පොඩි පොඩි නොහොද නෝක්කාඩු නැතිවා නම් නෙවෙයි. ඒත් ආදරේ කරන කාලෙදි අපේ තරුණ පරම්පරාව නම් කියන්නෙ රණ්ඩුවක් එහෙම නොවුනොත් ඒ ආදරෙත් හරිය‍ට ගොරවන්නෙ නැතිව  වහින වැස්ස වගේ කියලා.කිසිම ගතියක් නෑ කියලා. ඒත් ආදරේ කරන වයසෙදි වගේ නෙවෙයි නේද අඹු සැමි පවුල් ජීවිතයක් කියන්නෙ ගොඩක් දුර යන්න තියෙන ගමනක්. සමහර උදවිය නම් සුළු සුළු දේවල් මහා ලොකුවට පෙන්න පෙන්න ගිහි ගෙය ගිනි ගෙයක් කර ගන්නෙ කිසිම ඉවක් බවක් නැතිව. ඒත් අපේ සමාජයෙ ඉන්න බොහෝ පුරුෂයන් අතර අන්තම අඩියට වැටුන අයත් නැතිවා නෙවෙයි. එහෙම උදවියට නම් ගැහැනිය කියන්නෙ සෙල්ලමක්.

සමහර සල්ලාල බේබදු පිරිමි උදවිය හිතන් ඉන්නෙ එයාට වඩා ජගතෙක් තවත් නෑ කියලා. එහෙම හිතා ගෙන මර තිස් පැයේ කට ගොන්නක් බී ගෙන ඇවිත් ගෙදර සියලුම බර කරට අරන් කරන තම බිරිඳට දස වඳ දෙනවා. උයාගත්ත එනයි බතයි වත් හිත  සතුටින් ගෙදර ඉන්න පොඩි වුන් එක්ක කන්න බෑ. අපේ රටේ සමහර මාධ්‍ය වලින් පවා මේ වගේ සිද්ධි එළියට අරන් පෙන්නපු අවස්ථා තියෙනවා.  බී ගෙන ගෙදර එන්නෙ එක්කො ගෙදර ගෑනිව කන්න බලන් නැත්තම් ගෙදර පොඩි උන්ව කන්න බලන්. ඇත්තටම අපේ රටේ පීඩනයට පත් වෙන කාන්තාව වෙනුවෙන් හඩක් නගන්න දැන් කාලය එළඹිලා කියලයි මට නම් හිතෙන්නෙ. ගෙයක් දොරක් හදා ගන්න කියලා පිට රට සල්ලි හොයන්න යන අපේ කීයක් නම් කාන්තාවන්ට මොන තරම් දුක්ඛිත ඉරණමක් අත් වුනාද? ගෙදර ඉන්න හාමු පුතා පිනවන්න යන තත්වෙට පත් වුන අපේ කාන්තාව අරන් ගිය හීන විසි කරලා යලිත් එන්නෙ අත පයවත් පණ නැතිව. ඉතින් මෙන්න මේ වගේ තම සැමියාගෙන්, එහෙම නැතිනම් වෙනත් තමන් දන්න හෝ නොදන්න පිරිමි කෙනෙක්ගෙන් පීඩාවට අතවරයට ලක් වුන කාන්තා ඔබ වෙනුවෙන් අපේ රටේ ආයතන කිහිපයක්ම පිහිටුවා තියෙනවා ඔබ වැනි පීඩාවට පත් වුන උදවිය වෙනුවෙන්.  ඇත්තටම අපේ රටේදි වගේම පිට රටකදිත් කාන්තාව වැඩියෙන්ම පීඩාවට පත් වෙන්වෙ ගෘහස්ථ හිංසනයෙන්. අපේ රටේ පමණක් 80%ක්  දක්වා මෙම ගෘහස්ථ හිංසනය නිසා කාන්තාවන් පීඩා විදිනවා කියලයි කියන්නෙ. මේ විදියට ගෘහස්ථ හිංසනයෙන් පීඩා විදින අපේ කාන්තාවන් ශාරීරික මෙන්ම මානසිකවත් පීඩා විදින තත්වයට පත් වෙලා. ඉතින් මේ හේතු නිසාම අපේ කාන්තාව වැඩි වැඩියෙන් මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕන. ඒ නිසා ඔබට සහනයක් ලබා ගත හැකි මෙන්න මේ කියන්න යන ආයතන පිළිබඳ ඔබ දැන ගෙන ඉන්න එක නම් තව දුරටත් හොදයි.

ඔබ අහලා ඇති කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය ගැන. ඔබ වගේ පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න වැදගත්ම රාජ්‍ය ආයතනයක් තමයි කාන්තා කර්යාංශය කියන්නෙ. ඔබට අවශ්‍ය උපදෙස්  හා සහය ලබා ගන්න 1938 යන දුරකථන සේවාව මගින් හැකියාව තියෙනවා.  ඒ වගේම විපතට පත් කාන්තා ඔබ වෙනුවෙන් දීප ව්‍යාප්ත උපදේශන මධ්‍යස්ථානද රට පුරා සියලු උසාවි පරිශ්‍රයන් තුල පිහිටුවා තිබෙනවා.

ඒ වගේම තමයි Win Women Agent කියන්නෙත්  ලංකාවෙ ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වය හා කාන්තා හිංසනය පිටු දැකීමට පුරෝගාමී මෙහෙවරක් කරන ආයතනයක්.  මෙම ආයතනය මගින්   විපතට පත් කාන්තා ඔබට සෙත සලසන්න බැදී සිටිනවා.මෙහිදී ඔබට ඉදුම් හිටුම් නීති සහය, උපදේශන සේවා පවා ලබා ගැනීමට හැකියි.  0114 718585  යන දුරකථන අංකය හරහා ඔවුන්ගේ සහය පැතීමට දැන් ඔබට හැකියි.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ කියන්නෙත් ඒ වගේම ඔබට සහය ලබා ගත හැකි තවත් ආයතනයක්. පීඩනයට පත් ඔබ වෙනුවෙන් ඔබගේ මානසික තත්වය ගොඩ නැගීම සඳහා උපදේශන සේවාවන් ක්‍රියාත්මක කිරීමට පවා මොවුන් නොමද දායකත්වයක් ලබා දීමට නිරන්තරයෙන් ඔබට සහාය වෙනවා.  011 2 696666 යන දුරකථන අංකය හරහා ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට ඔබටත් පුළුවන්.

ඉතින් ඕනෑම ආකාරයේ පීඩනයකට පත් කාන්තා ඔබට දැන් එයින් මිදී ක්‍රියා කිරීමට කාලය එළඹ ඇත. මෙම ආකාරයට පීඩාවට පත් වුයේ ඔබ දන්නා ඔබගේ සහෝදරියක්, දුවෙක්, යෙහෙළියක්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්.කාන්තාවක් ලෙස ඔබටත් එය පෙන්වා දී මෙහෙවරක් ඉටු කිරීමට මේ හොඳම අවස්ථාවකී.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here