ජීවිතයට දිනපොත

ජීවිතයට දිනපොත

දිනපොතක් යනු ඔබේත් මගේත් පුද්ගලික මිතුරෙක්. එදිනෙදා ජීවිතයේ තමා මුහුණදෙන්නා වූ සියළු අත්දැකීම් දිනපොතකට ගොනු කිරීමට ඇතැම් අය පුරුදුවී සිටිනවා. මෙය වාසිදායී හොඳ පුරුද්දක් බැව් ඔබ දන්නවාද?

ඔබගේ අයි කිවු (IQ) එක, එහෙමත් නැත්නම් තර්කන බුද්ධිය දිනපොතක් ලිවීම තුළින් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය කරගන්න පුළුවන්. නිර්මාණශීලීව දිනපොතක් පවත්වාගෙන යාමෙන් වාග් මාලාව සහ භාෂාවේ පරිපූර්ණ බව වර්ධනයකරගතහැකියි. තර්කන බුද්ධියට භාෂාව සහ වාග් මාලාව බොහෝ සෙයින් අනුබල දෙනවා.

ඔබගේ සිහින,අරමුණු, අනාගත බලාපොරොත්තු දිනපොතෙහි ලියැවෙනවා. ඒතුළ කුරුටු ගෑවෙන මේ අපේක්ෂාවන් ඔබට ඉදිරිය පිළිබඳ සැළැස්මක් ලබාදෙනවා. ඒ තුළ ඔබට කළයුතු දෑ මතක් කර අනාගතයේ ඔබගේ ජයග්‍රහණ ලබාගන්නට හොඳ අත්තිවාරමක් ලබාදෙනවා. රෙටිකියුලර් ඇක්ටිවේටින්ග් සිස්ටම් reticular activating system (RAS) ,එහෙමත් නැත්නම් ඔබගේ අවධානයට අත්‍යවශ්‍ය දේවල් පමණක් මතක් කරදීමට මොළය ක්‍රියාකාරිවීම වේගවත් කරන්න දිනපොත සමත්වෙනවා. උදාහරණයක් ලෙස ඔබ ගුවන්තොටුපළ තුළ මඟී පර්යන්තයේ ගමන් කරනවා යැයි සිතමු… විවිධ ශබ්ද ඔබට ඇසෙනවා. එහෙත් ඔබේ ගුවන්ගමන හෝ ඔබේ නම කියා නිවේදනයක් ඒ අතර නිකුත්කරනවා. ඔබ අර සියළු ශබ්ද පසෙකලා එයට සවන්දෙනවා. එය ඉබේ සිදුවන්නක්. ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් එයට මූලිකත්වය දීම ආර්. ඒ. එස් ක්‍රමයෙන් සිදුකරනවා. ඉතින් දිනපොතත් ඔබගේ අවධානය සහ මූලිකත්වය දියයුතු ස්ථාන මතක්කොට දෙන්නේ එලෙසයි. එය නැවත් නැවත කියවීමෙන් ඔබ මතකය,අවධානය අවදිකරගන්නවා.

දිනපොතක් පවත්වාගැනීම ඔබට ස්වයං හික්මීම සහ හැඟීම් පාලනය කරගැනීමට විශාල අනුබලයක් දෙනවා.ඔබගේ දුක,සතුට සියල්ලක්ම දිනපොතේ නියෝජනය කරන්නේ වචන වලින්. එවිට ඔබ එක් කරුණකට අවධානය යොමුකරනවා. එයින් ඔබට අසීමිත ලෙස ඇතිවෙන්නාවූ ආවේගයන්, දුක වැනි දේවල් හොඳින් පාලනයකරගත හැකිවෙනවා.

එක් තැනක එක් අරමුණකට වී වැඩ කිරීමටත් ඔබ මෙයින් පුරුදුවෙනවා. එයින් ඔබට ස්වාධීනව හික්මීමක් ලබාගතහැකියි.

ඔබගේ සන්නිවේදන හැකියාවත් මෙයින් වර්ධනය වෙනවා. මේ තුළ මා ඉහත කී ලෙසම ඔබ අළුත් වචන සහ අළුත් කලාවන් ඉගෙනගන්නවා. හොඳ තර්කන හැකියාවකින් සන්නිවේදනය කරන්නත් පුළුවන් වෙනවා

වෛද්‍ය ජේම්ස් පෙනිබෙකර් ගේ ව්‍රයිටින්ග් ටු හීල් (Writing To Heal) නම් ග්‍රන්ථයේ එතුමා කියා තිබෙන්නේ අත්දැකීමක්,දුකක්,සතුටක් ඔබ වචනවලට හැරවීමේදී ඔබේ වේදනාවන් කෙමෙන් කෙමෙන් අවම වී යන බවයි, දිනපොත ඔබට එහිදී උදවු කරන මෙවලමක්

කලාකාමී බව, නිර්මාණශීලිත්වය සහ එතුළ ලෝකය දෙස සංවේදීව බලන්නට පුළුවන් සිතක් දිනපොතක් පවත්වාගැනීමෙන් ඔබට ලබාදෙනවා. එමෙන්ම ඔබගේ ආත්ම ශක්තියද වැඩිකරනවා.

ලොව විශිෂ්ට පුද්ගලයන් මෙන්ම නවකතාකරුවන් අතර ද සිය ජීවිතයේ දිනපොතක් පවත්වාගත් අය ඉතා බහුලයි. ඈන් ෆ්‍රෑන්ක්,හැරී ටෲමන්,සැමුවෙල් පෙපිස්,ඇල්බර්ට් අයින්ස්ටයින්,චාර්ලට් බ්‍රොන්ටේ,නික් කේව්,මැරලින් මොන්‍රෝව්,තෝමස් එඩිසන්,මාර්ක් ට්වේන් ඒ අතරින් කිහිපදෙනෙක්.

දිනපොතක් යනු තවත් එක් පොතක් නොව හොඳම මිතුරායි. හේතුව කිසිදා දිනපොත පෙරළා අපට බනින්නේද නැත, එමෙන්ම දිනපොත සිය නිහඬ බව උපයෝගීකරගෙන තාර්කිකව හරි දේ කුමක්දැයි සිතීමටද අපට කියාදෙනවා

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here