නත්තලට තෑගි ගනිමු …

0
2363
gift-for-this-x'mas

නත්තල ලබන්න තියෙන්නේ තව සති 10 කටත් අඩු කාලයක්!

මේ වාරේ නත්තලට නෑදෑ ගමන් යද්දී… යහළුවෙක් කෑමකට ආරාධනා කලාම ඒ ගෙදරට යද්දී “පණ ඇති තෑග්ගක්” ගෙනියමුද? පණ ඇති තෑග්ගක් ?? ඔව්! තෑග්ගට පැළයක් ගෙනියමු. ම්ම්ම්… පැළයක් ? වැඩක් තියේවිද? ඔබට හිතේවි. ඔබ යන හිතවතාගේ ගෙදර කොයි තරමේ ඉඩමක් සහිත නිවසක්ද? ඒ අය එහි ස්ථිර පදිංචි කරුවන්ද? කුලී පදනමකින් එහි වෙසෙනවද? කියා ඔබ දන්නවනේ. ඉතින් ඉඩ කඩ තියෙන ගෙවත්තක් තියෙන හිතවතෙක් නම් අලිගැට පෙර පැළයක්… දෙළුම්පැළයක්… කතුරුමුරුංගා පැළයක්… අඹ පැළයක්… අරගෙන යන්න.ඉඩකඩ නැති මිදුලක්…. හෝ ස්ථිර පදිංචි කරුවන් නෙවි නම් ස්ලැබ් එකක බැල්කනියක වවන්න පුළුවන් විදියේ බඳුන්ගත මාළු මිරිස් පැල ටිකක්….මිරිස් පැල ටිකක් අරන් යන්න… බිම ඉතා සීමිත අපාර්ට්මන්ට් එකක ඉන්නවා නම් කුස්සියේ සින්ක් එක ළඟ හිරු එලියට ගේ ඇතුලේ හොඳට හැදෙන බඳුන්වල පැළ කළ බැසිල්,තයිම් ,ඔරිගනෝ,මිංචි පැළ කිහිපයක පුංචි හර්බ්ස් පෝච්චි 3-4 ගෙනියන්න.බොහෝ ගෘහණියන් දැන් නිතර ගෙදරදීම පීසා… විවිධ සෝස් වර්ග හදන නිසා මේ ප්‍රයෝජනවත් තෑග්ග ගැන ඔබේ හිතවතිය බෙහෙවින් සතුටට පත්වේවි.ඔබ අලිගැට පේර පැළය… අඹ පැළය තෑගි දුන් නිවැසියන්ට ඔබව ජිවිතේ සෑහෙන කලක් දිනපතා මතකට නැගේවි.

සති 6-7ක් තියෙනවා තෑගි ටික හදාගන්න. නෑදෑ ගමන්… ආරාධනාවන්.. ලැයිස්තුවක් හදලා… ඒ ඒ අයගේ ඉඩමට /ගෙදරට ගැලපෙන දැනට නැති පැළ ලැයිස්තුවකුත් හදාගෙන තෑගි ටික සුදානම් කර ගනිමු.

නත්තලට විතරක් නෙවි… අලුත් අව්රුද්දට  නෑගම් යද්දී…. යාළුවෙකුගේ ගෙට ගෙවදීමකදී… හොඳම යාළුවෙකුගේ උපන්දිනයකදිත් මේ පැළ තෑගි ඉස්තරම්. ඒ විතරක් නෙවි දරුවෙක් බලන්න යද්දී… ඒ බබා ලැබුණු ගෙදරට නිවිති පැළ ටිකක්…. ගොටුකොල හිටවපු පෝච්චියක් තෑගි අරගෙන යන්න… මාස කිහිපෙකින් දරුවාට බත් තලපය දෙද්දී ඒ නිවිතිවැලෙන් කොලයක් දෙකක් එකතු කරගන්න පුළුවන් වේවි.

මේ තියෙන වැඩ ටික කරගන්න පැය 24 මදි… වවන්න කොහේ තියෙන වෙලාවක් ද? වවන්න නම් ආසයි….අනේ…එත් ගේ හැදුවට පස්සේ වවන්න ඉඩ නැනේ. ඔබේ හිත පස්ස ගහවි.

ඉඩ තියෙන හැටියට වවමු. පුංචි පාත්ති හදල මිරිස් ගස් 4-5 වම්බටු පැළ 2-3 බණ්ඩක්කා පැළ 3-4 වවන්න පටන් ගනිමු. ඊට වඩා ඉඩ තියේනම් නිවිති වැලක්… කරවිල වැල් 2-3 බතල වැල් ටිකක්… කරපිංචා ගහක්… තක්කාලි ගස් කිහිපයක් හදමු. ඊටත් වඩා පොඩ්ඩක් ඉඩ තියේනම්… හොඳ රස අඹ ජාතියකින් අඹ පැළයක්… අලිගැටපේර පැළයක් වත්තට එකතු කරමු. කමාරන්කා පැළයක්… පේර පැළයක්…වුනත් ඉස්තරම් .මේ කිසිම දේකට ඉඩ නැත්නම් පෝච්චිවල, පුංචි බකට් වල, පලතුරු ඇසුරා ඉවත දමන රිජිෆෝම් පෙට්ටිවල… හාල් උරවල වවමු… ඒවා ස්ලැබ් උඩ-බැල්කනි උඩ තියලා වවමු.

එළවළු පළතුරු වලට කෘමිනාශක,පොහොර යෙදීම නිසා අපි වස කන බව දසතින් අසෙද්දී “අනේ වස තමයි දැන් කන්න ලැබෙන්නෙම…” කියා සුසුම් හෙලුවත් බෙහෙත් වැඩිපුරම ගහන තක්කාලි පැළයක් ගෙවත්තේ සිටුවලා බලන්නවත් අපි හිතුවේ නෑ නේද? අධික මිලක් ගෙවා කාබනික එළවලු පලතුරු සල්ලි වලට ගනිද්දී…. ගෙවතුවගාවක් නිකමටවත් සිතුවේ නෑ නේද?

කාබනික එළවළු පළතුරු ඇති ගෙවත්තක් හිමි අභිමානවත් පවුලක් වෙන්න ඔබට බැරි නෑ. වැඩිපුර ලැබුණු තක්කාලි,අමු මිරිස් පලදාව යාලුවො අතර බෙදාගන්න…. යෙහෙළියකගේ බබා බලන්න යද්දී ගෙදර ගහෙන් වස විස නැති අඹ ගෙඩි දෙක තුනක් අරන් යන්න… පුළුවන් වෙනවා නම් ඔබ නුතනලෝකයේ අභිමානවත් කාන්තාවක්.

ඇටයක් හෝ පැළයක් පැළ කරලා හෝ පැළය දළු රිකිලිලන කොට… ඉස්ස ඉස්සෙල්ල්ලම මලක් පිපුන දවසට…. කරලක් / ගෙඩියක් ආව දවසට දැනෙන සතුට වචනෙන් කියන්න අමාරු ඉතා ඉමිහිරි හැඟීමක්… ඒක මනුස්සයෙක් හැටියට හැම කෙනෙක්ම ජීවිතේ අත් වින්දින්නම ඕනේ ඉමිහිරි අත්දැකීමක් කියලයි මට හිතෙන්නේ. ඔබ වවන පුංචි පැළවලට ආදරෙන් කතා කරන්න… ආදරෙන් අතගාන්න. වටේ පස බුරුල් කරලා කොම්පෝස්ට් ටිකක්.. ගොම්පස් ටිකක් දාද්දි… “ඔන්න පුතේ මම රස කෑම ගෙනාවා” කියල කියන්න. වතුර ටික වත් කරද්දී ඕනෙවට එපාවට විසික් කරන්නේ නැතුව වතුර ටික ආදරෙන් වත් කරන්න. ගස් වැල් දරුවෝ වගේ… එයාලටත් ආදරේ ඕනේ. ඉතින් වල් උදුරලා… වතුර දාල… සාත්තු කරද්දී ආදරෙන් කරන්න.

අනේ!! අප්පෝ…. කොහේ තියෙන වෙලාවක් ද? ඔබට හිතේවි… එත් හිතන්න. වෙලාව නෑ කියල, අපි ඉතාම ආස දේවල් ඔය තරමටම කැප කරලා තියෙනවද?… මේ හැටි කාර්ය බහුලයි කියන ජීවීතේ ඇතුලේ අපි කොහොම හරි-අපි ආස දේවල් ටික ටික හරි කරන්න වෙලාවක් හොයාගෙන තියෙනවා වගේ මේ වැවිල්ලට වෙලාවක් හොයාගන්න එක අමාරු නෑ. පාන්දර උයලා… ඔපිස් ගෙනියන.. ඉස්කෝලේ ගෙනියන කෑම බෙදල.. ඔපිස් යන්න ලෑස්තිවෙන්න කලින් “පැළ පුතාල” ටික බලන්න දුවල එන්න. අක්කර ගණන් වතු පිටි දැන් අපිට නැහැනේ ඉතින් ගෙවත්තේ පාත්තිවල. බකට් වල ඉන්න “පැළ පුතාල” ටික බලල එන්න විනාඩි 20 වැය කරන්න. මාව විශ්වාස කරන්න, ටික දවසක් යද්දී ඔබ දවසේ හරිම ආදරෙන් කරන දෙයක් බවට මේ වැඩය පත් වෙනවාමයි. පණ ඇති කෙනෙක්… දරුවෙක් ඔබ එනකල් මග බලාගෙන ඉන්නවා වගේ උදේ පාන්දරට ඔබේ “පැළ පුතාල” ටික බලන්න ඔබට ඉවසිල්ලක් නෑ කියල ඔබටම හැගී යාවි. …. ඔබ උදෑසන වැඩ ටික වෙනදට වඩා යුහුසුළුව කරා වී “පැළ පුතාල” එක්ක වැඩිපුර වෙලාවක් ගත  කරන්න ඕනේ කමටම. ඒ විනාඩි 20 කාලය ඔබව දවස පුරාම සුවයෙන් ප්‍රබෝධයෙන් තබන්නට හේතුවක් වේවි. අලුත් රිකිලි … අලුත් මල්…. පුංචි කරල්.. ගැට… ඔබේ දවස ප්‍රබෝධයෙන් පටන්ගන්න හේතු සාධක වේවි.

නිවාඩු දවසට අම්මා – තාත්තා – දරුවෝ ඔක්කොම එකතුවෙලා මේ ගෙවත්තේ වැඩ කරන්න. ගෙවතු වැඩ අතරේ ඔබේ පෙර පාසල් යන පුංචි දෝණි ප්‍රභාසංස්ලේෂණය ගැන ඉගෙන ගෙන තියෙන්නේ, ඔබ ඉස්කෝලේ යද්දී කටපාඩම් කරලා ඉගෙන ගත්තු වයසට වඩා ගොඩක් පුංචි වයසේදී … ඔබටත් නොදැනීමයි කියල ඔබට දැනගන්න ලැබේවි… දෙක වසරේ පුංචි පුතා මි මැස්සෝ… සමනල්ලු… ඉඟුරු ගොළුවෝ ගැන විස්තර අහද්දී… ඔබ පස් ටික පෙරලන ගමන් පරාඝණය ගැන දරුවන්ට ලොකු දැනුමක් දීලා තියේවි. වල් ගලවන්න… ගොම්පස් දාන්න…. ඔබ ගලවල දෙන ලීක්ස් ගස් ටික දෝතට ගන්න… පස් හාරන්න ගෙදර ඉන්න පුංචි අත් ඔක්කොම සහබාගි කරවගන්න. ඇටයකින් පැළයක් හැදිලා ඒ ගසෙන් ගෙඩියක් හටගන්නා සම්පුර්ණ චක්‍රය ඔබේ දරුවා අත්දැකීමෙන්ම උගනිවී.

එක බණ්ඩක්කා කරලකට අපි කොච්චර කල් බලාන උන්නද ? ඒ වෙනුවෙන් කොච්චර වැඩ කළාද කියල වැඩ කරන ගමන් කතා කලොත්… ඔහු කිසිම හැඟීමකින් තොරව බත් පතේ ඉතුරු බත්, මාළු පිනි  කුනුකූඩයට හලන…. ඔබ මහන්සියෙන් උපයා සපයා දෙන දෙය නිස්කාරනේ අපතේ හරින දරුවෙකු නොවේවි. ඔබ එළවළු වැවු ආදරණීය මහන්සිය දකින දරුවා… බත සැපයු ගොවියා හෙලු දහදිය ගැනත් ගෞරවණිය හැඟීමක් ඇතිකරගනිවී.

වැවිල්ලේ ඵල ලැබෙන්නේ බත් පතට… මුදල් පසුම්බියට… සිරුරට පමණක් නොවෙයි … එය මේ ගස් වැල් ඔබේ ගෙවත්ත පුරා  විහිදී පැතිරෙනවා හා සමානවම ඔබේ පවුලේ සියලු දෙනාගේ ජීවිත වෙනස් කරමින් පැතිරී… දැඩිවී… වැඩේවි.

 කතුවරිය ගැන


deepikaදීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.


            

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here