උදේ ආහාරය මඟ හරින්නේ බලාගෙනයි

0
3729
උදේ ආහාරය මඟ හරින්නේ බලාගෙනයි

‘රජෙක්‌වගේ උදේට කන්න ඕන’ අපේ ආච්චිලා සීයල නම් කිව්වේ එහෙමයි. ඒත් අද අපිටත් නොදැනීම උදේ කෑම අපිට මඟ හැරෙනවා නේද? උදේට තේ කෝප්පයක් එහෙමත් නැතිනම් කිරි කෝප්පයක් විතරක් බීලා රැකියාවට යන්නත් දරුවන්ව පාසලයට යවන්නත් අපි පුරුදු වෙලා නේද?

ඔබ රැකියාවට යන යුවතියක් නම් උදෑසනින්ම දහවල් ආහාරයත් පිළියෙළ කරගෙන කඩිමුඩියේ රැකියාවට යන්න සුදානම් වෙනවා වෙන්නැති. බැරි වෙලා හෝ ඔබට පරක්කු වෙලා උදේ ඇහැරුනොත් ඔබ උදේට කිසිවක් ආහාරයට නොගෙන රැකියාවට පිටත් වෙනවා නේද? කාර්ය බහුල බව සුවබර දිවියකට බාධාවක් කර නොගෙන ජිවත් වෙන්න ඔබටත් පුළුවන්. ඒ සඳහා ඔබත්  පුංචි උත්සාහයක් දරන්න මේ උපදෙස් පිළිපදින්න.

උදේ ආහාරය කිසිසේත්ම මඟ නොහැරිය යුතු කෑම වෙලාවක්. ඔබට උදෑසන ආහාරය මඟ හැරුණහොත් දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට සිදු වෙන්නේ කලින්දා රාත්‍රියේ ආහාරයට ගත් කෑම වල ශක්තියෙනුයි. ආමාශය ආහාර කිසිවක් නැතිව බොහෝ පැය ගණනක් පැවතීම නිසා අම්ල පිත්ත රෝගයත් ඔබට පහසුවෙන් වැලදෙන්න පුළුවන්. ඊට අමතරව අමාශගත රෝග වගේම ඉරුවාරදය, හිසරදය වගේ රෝග තත්වයන්ද පහසුවෙන් වැලදෙන්න හැකියාවක් පවතිනවා.

අනෙක් කරුණ තමයි උදේ කෑම නොගත්ත ඔබට දවසේ ඉතුරු වැඩ කටයුතු කිරීමට ශක්තිය නොමැති වීම. ඔබ වැඩිපුර තැකීමක් නොකලත් ඔබට රැකියා ස්ථානයේ රාජකාරි වැඩ කටයුතු අතරේ නිදිමත දැනෙන්නේ අලස කමක් දැනෙන්නෙත් ඔබ උදේට නිසිලෙස ආහාර නොගන්න නිසායි. බොහෝ පාසල් දරුවන් ඉගෙනීමට අලසකමක් දක්වන්නේත් ,පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදෙන්නේත් ඔවුන් නිසිලෙස උදේ ආහාරය නොගන්න නිසයි.

උදේ කෑම මග හැරීමෙන් ශරීරය කෙට්ටු කරගන්න එහෙමත් නැතිනම් බර අඩු කරගන්න පුළුවන් කියන වැරදි මතයකුත්‌සමාජයේ පවතිනවා. එහෙත් එය කිසිඳු විද්‍යාත්මක පදනමක් නැති අමුලික බොරුවක්. කෑම පාලනය සඳහා ඔබ උදේ ආහාරය මඟ හරිනවානම් එයින් ඔබ බොහෝ රෝගයන්ට අතවනනවා යැයි මා පැවසුවොත් එය නිවැරදියි.

උදේ කෑම මඟ හරින ඔබට දවස පුරාම බඩගිනි ස්වභායක් දැනීම සාමාන්‍යයි. ඒ නිසාම ඔබට තව තවත් ආහාර ගන්නට සිදුවෙනවා. ඔබට නොසිතුනාට එයින් සිදුවන්නේ ඔබ තවත් ස්ථුලභාවයට පත්වීමයි.

උදෑසන කිරි වීදුරුව පමණක් ඇති කියන මතයත් අපි අපේ පහසුවටම හදාගත්ත දෙයක් කිව්වොත් මා නිවැරදියි. ඇත්තෙන්ම කිරි වීදුරුවකින් පමණක් අපගේ පෝෂණ අවශ්‍යතාවන් සම්පුර්ණ වෙන්නේ නැහැ. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්,මේදය වගේම විටමිනුත් අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. මේ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් අපේ ආහාර වේලෙහි අඩංගු විය යුතුයි.

කඩල,කව්පි, මුං ඇට වගේ ධ්‍යාන වර්ගයක්‌පොල් සමගින් උදේ ආහාරයට එකතු කරගන්න ඔබට පුළුවන්. ඒත් එක්කම කෙසෙල් ගෙඩියක් එහෙමත් නැතිනම් නැවුම් පලතුරු යුෂ වීදුරුවකුත් උදේ කෑම මේසයට එක් කරගන්න.

උදෑසනට පලතුරු යුෂ වීදුරුවක්‌පානය කිරීමෙන් ශරීරයට පැහැපත් බවක් ලබා ගන්න වගේම සම,නිය සහ කෙස් වල පවතින ගැටළු අවම කරගන්නටත් ඔබට පුළුවන්.

කොළ කැඳ වීදුරුවක් උදෑසන පානය කිරීම දැන් විලාසිතාවක් බවට පත් වෙලා.ඇත්තෙම එය පැසසිය යුතු හොඳ පුරුද්දක්.අපේ මුතුන් මිත්තන් පවා උදෑසනට කොළ කැඳ , කුරක්කන් කැඳ පානය කල බව අප අසා තිබෙනවා.

ඔබට හැකි සෑම විටම ක්ෂණික නුඩ්ල්ස්,රෝල්ස්,පැටිස් ආදී කෙටි කෑම වර්ග වලින් ඈත් වෙන්න. රාත්‍රී නින්දට යන්නට පෙර පසුදා උදෑසන ආහාර සකස් කිරීමට අවශ්‍ය දෑ සුදානම් කරතබා නින්දට යන්න. එය ඔබට පහසුවක් වනු නොඅනුමානයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here