නීතීය නොදැන ගෘහ සේවයට යන්න එපා!

‘ දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමග ‘

‘ මහත්තයෝ හැමදාම අපි කූලි ගෙවල්වල ඉඳලා හරි යන්නේ නෑ. අපිටත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්න්වා. අපේම කියලා ගේ පොඩ්ඩක් හදා ගන්න ඕන “
‘ ඒත් අපිට කොහෙන්ද එච්චර සල්ලියක් ‘

දරිද්‍රතාවයෙන් බැට කන පවුල් වලට මෙවැනි කතා අරුමයක් නොවේ. නිවසක් සාදා ගැනීම, තමන්ටම කියා ඉඩම් කෑල්ලක් මිලදී ගැනීමට, දරුවන්ගේ සිහින සැබෑ කිරීමට රට රැකියාවකට යන බොහෝ දෙනා ලෝකයට ණය වෙමින්, ඉඩම් උකස් තබමින්, දරුවන් හුදකලා කර බොහෝ දුක්කම්කටොළු මධ්‍යයේ ජීවිත සරීකර ගන්නීය.

නොහදුනා පිටස්තර භූමියක තනිවන ඔවුන්ගේ පිහිටට කිසිවෙකුත් නොමැත.සහරාවේ තනිවෙන ඇතැම් අසරණීයෝ අසීමිත වධහිංසනයන්ට ලක්ව ජීවිත වලින් ද වන්දි ගෙවති.වසරකට මිය යන විශාල සංඛ්‍යාවක් මෙරටට එවන බව සමාජ සමීක්ෂණ වලින් හෙලිදරව් වී ඇත. ඉදිකටු ගැසීම, ඇණ ගැසීම, පිලිස්සීම, පහරදීම ආදී දරුණු පිඩාකාරී පීඩන වලට පත්වන්නීය. ඒසේම තාඩන පීඩන වලට ලක්වන කාන්තාවන් සේම ප්‍රෝඩාකාරී ලෙස ස්වාමි පුතා හෝ වෙනත් නිවැසියන් සමඟ අයථා සබඳතා ගොඩනගා ගෙන මුදල් හම්බ කිරීමට පෙලඹෙන පිරිස් ද සිටිති. මේ සියලු දෙනාගේ පරමාර්ථය කෙසේ හෝ යම් මුදලක් ඉතිරි කර ගැනිමයි.

විදෙස්ගත කාන්තාවන්ට සිදුවන අක්‍රමිකතා වලට එරට නීතියෙන් සාධාරණයක් ඉටු වීම සිහිනයක්‍ පමණක් වී ඇත. ලාංකීය කාන්තාවන් අතින් යම් වැරද්දක් සිදු වු විට හෝ තමන්ගේ වැරදි වසා ගැනීමට ගෘහ සේවිකාවන් වැරදිකරුවන් බවට පත් කරමින් එරට නීතිය ක්‍රියාත්මක කරවූ අවස්ථා නම් බොහෝය. පසුගිය කාලයේ වයස අවුරුදු 18 නොඉක්මවු රිසානාගේ ජීවිතය දුක්ඛිත ඉරණමකට ලක්වුයේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. බුද්ධ දේශනාවේ කාමය වරදවා හැසිරීම පවක් ලෙස අර්ථ දක්වා ඇත. සැබෑවටම පිටරටවල් වලදී මුදල් ඉපයීමේ මාර්ගය ලෙස කාම සේවනය තෝරා ගන්නා කතුන්ට පැවසිය හැකි වන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියාය.

වෙනත් රටක නීතියකට අපිට බලපෑම් කල නොහැක. ලංකාවේ නීතිය අනුව අනාචාරය යනු සාරධර්ම වලට එරෙහි ක්‍රියාවකි. නමුත් ලංකාවේ නීතියට අපරාධ වරදක් නොවේ. සෞදි අරාබි වැනි මැදපෙරදිග රටවල් වල ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් නිතීයයි. ඒ නිසා දඩුවම සහ දඩුවම් දෙන ක්‍රමවේදය වෙනස් වෙනවා. ඒ රටේ අනාචාරය කියන්නේ මරණීය දණ්ඩනය හිමිවෙන වරදක්. රට සේවයට යන විට අත්සන් කරන සේවා ගිවිසුමේ ඇති සිවිල් කරුණු ඒ රටේදී වරදක් කරොත් බලපාන්නේ නෑ. ඊට බලපාන්නේ ඒ රටේ නීතිය. ඒ නිසා අදාල පුද්ගලයාට ඒ රටේ නීතිය අනුව දඩුවම තීරණය වෙනවා.

ගෘහ සේවයට යන්න හේතු වන්නේ රටක පවතින ආර්ථික තත්වය. තමන්ට කියලා ගෙයක් හදාගන්න, තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්න තමයි ගොඩාක් කාන්තාවෝ පිටරට රැකියාවකට යන්නේ. ව්‍යාජ එජන්සි කරුවන්ට බොහෝ කාන්තාවන් රැවටෙනවා. පිටරට යන සෑම කාන්තාවක්ම විදේශසේවා නියුක්තියන්ගේ කාර්යාලයේ ලියාපදිංචිවීම අනිවාර්යයෙන්ම කල යුතුය. හොඳ පුහුණුවක් ලබා ගෙන දැනුම වැඩි කර ගත යුතුයි. එතරම් පුහුණුවක් නොලැබුණාම කාන්තාවන් නොයෙකුත් අතවරයන්ට ලක් වෙනවා. මේ තත්වයන් අවම කර ගන්න අපි උත්සාහ කල යුතුයි.

ලංකාවේ තිබෙන ආර්ථික හා සමාජ වටපිටාව තුල මිනිස්සුන්ට අති විශාල ලෙස මුදල් අවශ්‍ය වෙලා තියෙනවා. මේ තුල තමයි පුද්ගලයන් කෙසේ හෝ මුදල් ඉපයිය යුතුයි කියන මානසික මට්ටමට වැටෙන්නේ. මුදල් සෙවීමේ ආශාව නිසා විදෙස් ගත වීම එහි එක් පැතිකඩක් වෙලා තියෙනවා. එසේම , මින් වැඩි පිරිසක් ආර්ථිකමය හේතු නිසා නොව සමාජය තුළ පිලිගැනීමක් හා විශේෂත්වයක් ඇති කර ගැනීම යන සමාජ කාරණා ඊට හේතු වෙලා තියෙනවා. මේ තත්වය වලකාලීමට නම් ආශාවන් පසුපස දීවිම නතර කල යුතු වෙනවා. රැකියාවක් නොකරන කාන්තාවන්ගේ කාලය නිකරුණේ ගත වෙලා යනවා. රජය මගින් ස්වයං රැකියා ඇති කර ඊට යොමු කරවීම, අපනයන භෝග කර්මාන්ත ආරම්භ කර නිෂ්පාදකයන් බිහි කරන්න පුළුවන්.

මවකගේ භූමිකාව පවුලෙන් ඈත් නොකර ඇයගේ ශ්‍රමයත් එලදායිකර ගත හැකි නව ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා නම් අද ඇහෙන ලමා අපචාර, ලමා අපයෝජන, දික්කසාද, මීනිමැරුම් වැනි අපරාධ අවමකර ගත  හැකියි. තමාගෙන් පවුලට විය යුතු යුතුකම් වගකීම් රැකියාවක් සඳහා ගෘහ සේවයට යන කාන්තාවන් විශේෂයෙන්ම සිහිතබා ගත යුතුය. තමන්ගේ වගකීම් කුමක්දැයි ඔවුන් කල්පනා කල යුතුය. තමන්ගේ ආශාවල් පාලනය කරගෙන තම අරමුණ වෙනුවෙන් අදාල කාලය ගෙවා දැමීමට අදිටන් කර ගත යුතුය. තමන්ට තමන් හැර කිසිවෙකුත් නොමැත. මේ තමන් උපන් රට නොවේ. ඒ නිසා සියලු නීතී එරෙහි වන්නේ තමන්ට බව දැනගෙන රට යන කාන්තාවන් තමන්ගේ කාර්ය කරගෙන ආපසු මව් රටට පැමිණීමට අධිෂ්ඨාන කරගත යුතුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here