විනෝද චාරිකාවක් සතුට පිරුණු පවුල් ජීවිතයකට අවශ්‍යම ඇයි?

0
2655
familly_trip

අපි හැමෝම ගත කරන්නේ කාර්යබහුල ජිවිත. අපේ ජිවිත වලින් වැඩි හරියක් ගෙවන්නේ කාර්යාලය ඇතුලේ. සතියේ දවස් පහේම වැඩ කරන ඔබත් මමත් බලන ඉන්නේ සති අන්තය එනකම් නේද? සති අන්තය ගෙදර දොර වැඩ කරන්නත් හිතේ හැටියට නිදාගන්නත් තමයි අපි බලාගෙන ඉන්නේ. ඒ අතරේ මහත්තයා එක්ක ෆිල්ම් එකක් බලන්න එහෙමත් නැතිනම් අම්මලාගේ ගෙදර යන්නත් ප්ලෑන් නොකරනවාම නෙවෙයි.

ඒත් ගොඩක් වෙලාවට අපි කැමති ගෙදරට වෙලා නිදහසේ ඉන්න. දරුවන් කොයි තරම්, අම්මේ අපි පොඩි ට්‍රිප් එකක් යමු කියලා කිව්වත් නිවාඩු දවසේ ගෙදරටම වෙලා ඉන්න අපි ඕන තරම් නිදහසට කරුණු කියනවා නෙවෙයිද?

පොඩි ගමනක් වුනත් සෑහෙන්න මුදලක් ඒ වගේම කාලයත් වියදම් කරන්න ඔබට නිසැකයෙන්ම සිදු වෙනවා. ඒත් දරුවන්ගේ සතුට, සියල්ලන්ගේම මනසට විවේකයක් දෙන්න පොඩි ට්‍රිප් එකක් යාම හොඳයි නේද?

මොහොතක් සිතන්න. ඔබ සතියේ දවස් පහක්ම කාර්යාලයේ කොම්පියුටරය ඉස්සරහ ගෙවනවා එහෙමත් නැතිනම් නිමාවක් නොවන ෆයිල් ගොඩක් අස්සේ ගෙවනවා. රැකියාව නිම වී ගෙදර එන ඔබ හිසරදය නිසා දරුවනුත් මග හැර නින්දට යනවා. එහෙනම් ඔබත් ස්ට්‍රෙස් කියන දෙයින් පීඩා විඳිනවා.

ඉතින් සිතටත් ගතටත් දැනෙන මේ විඩාව නිවාගන්න හොඳම දේ තමයි පවුලේ අයත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන එක. ඉතින් මුදල් සහ කාලය තියෙන විදියට ඔයාලට ලංකාවේ සුන්දර තැන් බලන්න වගේම වෙන රටක සංචාරයේ වුනත් යෙදෙන්න පුළුවන්.  ඒ වගේම වැඩි වියදමක් නැතිව ළඟ තියෙන මුහුදු වෙරළට යන්න වුනත් පුළුවන්. ඇත්තෙන්ම වැදගත් වන්නේ ඔබ යන්නේ කොයි තැනටද කියන එක නෙවෙයි, ඔබ පවුලේ අයත් එක්ක කොතරම් හොඳ විදියට කාලය ගත කරනවාද කියන එකයි වැදගත්.

ඔබ වගේම ඔබේ දරුවන්ගේ ජිවිතත් ඒකාකාරී ලෙසයි ගලා යන්නේ. ඇත්තෙන්ම එය නීරසයි නේද. නිවසින් කාර්යාලයට නැතිනම් පාසලට, පාසලින් අමතර පන්තියට සහ අවසානයේ නැවත නිවසට. ඉතින් මේ කාර්යබහුල ජිවිතයේ ඔබට ඔබේ පවුලේ අය සමග නිදහසේ වචන කිහිපයක් හෝ කතා කරන්න ලැබෙන්නේ විනාඩි කීපයක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ නිවසින් උදේ යන විටත් රාත්‍රියේ නැවත නිවසට එන විටත් ඔබේ දරුවන් නිදාගෙන ඇති. ඉතින් ඔබ නොදන්නවා වුනාට මේ නිසා දරුවන් ඔබෙන් කෙමෙන් කෙමෙන් ඈත් වෙනවා.  ඉතින් සති අන්තයේදීවත් ඔබ පවුලේ අය සමගින් කාලය ගත කරන්න. මුහුදු වෙරළට යන්න. දරුවන් සමගින් විනෝද වෙන්න. නැතිනම් පාර්ක්‌ එකට යන්න. නිදහසේ පවුලේ අය සමගින් කාලය ගත කරන්න. සතියක් මුළුල්ලේ කාර්යාලයේ ගත කල ඒ විඩාබර ජීවිතය මොහොතකට හෝ ඔබට අමතක වෙනු නිසැකයි.

තවත් දෙයක්. ඔබ,ඔබේ සැමියා/ බිරිඳ වගේම දරුවනුත් ඒකාකාරී ජීවිතයකට කොටු වෙලා.හැමදාම කරන රාජකාරී වලින් ඔබ වගේම ඔවුනුත් හෙම්බත් වෙලා. ඇත්තෙන්ම හිතලා බලන්න, උයන පිහින එක වගේම හැමදාම වැඩට යන එකත් වෙලාවකට ඔබට වදයක් නේද? ඉතින් මේ උයන පිහින, අස්පස් කරන දේවල් වලින් පවා ඈත් වෙලා නිදහසේ ඉන්න නම් පවුලේ අයත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්නම ඕනමයි.

ගොඩක් වෙලාවට දරුවන් කැමති ට්‍රිප් යන්න. පාසලේ වැඩ අමතර පන්ති වල වැඩ එක්ක දවසම ගත කරන පොඩි දරුවන් කැමති අම්මා තාත්තා එක්ක කොහේහරි ඇවිදින්න යන්න. අලුත් තැන් නරඹන්න.

ලස්සන මතක සටහන් ගොඩක් එකතු කරගන්න වගේම ඔබේ හිතටත් ගතටත් විවේකයක්  ගන්න නම් පවුලේ අයත් එක්ක අවුරුද්දකට දෙතුන් වරක් හරි පොඩි ට්‍රිප් එකක් යන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here