ඔබත් හතලිස් ඇදිරියට ගොදුරු වූවෙක්ද ?

0
3686
eye-disorders

හතළිස් විය පිරුණු ඔබ ඇස් පිළිබදව විශේෂ සැළකිල්ලක් දැක්විය යුත්තේ මෙම වයස් සීමාව වන විට ඔබ මැදි වයසට පැමිණීම හේතුවෙන් විවිධ ආකාරයේ බෝ නොවන රෝග හට ගැනීමේ වැඩි ඉඩක් පවතී. එසේ වන්නේ ඔබේ ශරීරයේ හෝමෝන වශයෙන් සිදුවන වෙනස්කම් හේතුවෙනි. මෙම අක්ෂි අකර්මන්‍යතාවයන් පිරිමි පාර්ශවයට වඩා කාන්තා ඔබට වැළඳීමේ ප්‍රවනතාවය ඉහළ වේ.

අක්ෂිවල වියළිභාවය

මෙම තත්ත්වය කාන්තාවන්ට ඇති වීමේ හැකියාව ඉහළ අතර ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්වීම් හේතුවෙන් මෙම තත්ත්වය හටගනී. ඔබ සිවි කාච පළදින  පුද්ගලයෙකු නම් නියමිත කාලයට වඩා එනම් පැය අටක කාලයට වඩා සිවි කාච පැළඳීම නිසා අක්ෂි වියළිභාවය ඇති විය හැකිය. ඇතැම් වේදනා නාශක,විසාදිය සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් ඒ හේතුවෙන්ද අක්ෂි වියළිභාවය ඇති විය හැකිය. එමෙන්ම දූවිලි, දුම් සහ සුළඟ සහිත තත්ත්වයන් මගින් ඇස් ආරක්ෂා කරගැනීම අවශ්‍ය වේ.

පෝෂණය

පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම  ඇස් පිළිබඳව අවධානය දැක්වීමේදී වැදගත් වේ. විටමින් සී සහ  ඒ සහිත ආහාර වර්ග, කුඩා මාළු වර්ග අහාරයට එක්කර ගැනීම වැදගත් අතර, එළවලු වර්ග පළතුරු විශේෂ ආහාරයට ගැනීම ගුණදායක වේ. අධික තෙල් සීනි සහ ලුණු සහිත ආහාර කෘතීම සහ ක්ෂණික ආහාරවලින් මිදී ශරීරයට ගුණදායක ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. කොළ කැඳ වැනි ගුණදායක පාන වර්ග දිනපතා ඔබේ ආහාරයට ගත යුතුය. මෙවැනි ඉතා ගුණදායක ආහාර ඔබට නිවසේදීම පහසුවෙන් සපයා ගත හැක.

දියවැඩියාව සහ අධිරුධිර පීඩනය

දියවැඩියාව සහ අධිරුධිර පීඩනයට ප්‍රතිකාර ලබාගන්නේ නම් ඔබ අක්ෂි වෛද්‍යවරයෙක් වෙත ගොස් ඔබේ ඇස් පරික්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම වෙනත් අක්ෂි අකර්මන්‍යතාවයක් සඳහා ඔබ ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යොමු වන විටදී, දැනට ප්‍රතිකාර ගනු ලබන අනෙකුත් රෝගී තත්ත්වයන් පිළිබඳව අක්ෂි වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාම වැදගත් මෙන්ම අනිවාර්ය දෙයකි. ලබා ගන්නා බෙහෙත්  වර්ග සහ ඒවා ලබාගනු ලබන  මාත්‍රාව කොපමණ කාලයක් සිට ප්‍රතිකාර ලබා ගන්නවාද යන්න පිළිබදව අක්ෂි වෛද්‍යවරයා දැනුවත් කිරීමට අමතක නොකළ යුතුය.

ව්‍යායාම

අක්ෂි සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම සඳහා ව්‍යායාමවල නිරතවීම අවශ්‍යම කරුණකි. එමගින් ශරීර ස්කන්ධය අඩුවීම නිසා දියාවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් හරහා අක්ෂි අකර්මන්‍යතාවයන් ඇතිවීමේ ප්‍රවණතාවය අවම වේ. ඇවිදීම,යෝග ව්‍යායාම, ශ්වසනය ආශ්‍රිත ව්‍යායාම වැනි ව්‍යායාම ඔබට වඩාත් යෝග්‍ය වේ. නමුත් දැඩි හිරු එළියට ඔබේ ඇස් නිරාවරණය වීමේදී වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබාගත් අක්ෂි ආවරණ, අව් කන්ණාඩි පැළඳීමට අමතක නොකළ යුතුය.

දුම්පානය සහ මත්පැන් භාවිතය

මේ පුරුදු නම් ඔබේ වයසට ඉතාම අහිතකරයි. එමගින් දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි ඔබේ අක්ෂි සෞඛයට හානි කිරීමේ හැකියාව ඇත. මෙම පුරුදු අත්හැරීමට  උත්සහ කළ යුතුය.

පරිගණක භාවිතය

පරිගණකය සහ ඔබේ ඇස් අතර දුර ප්‍රමාණය සෙන්ටිමීටර් විස්සත් විසි හතරත් අතර දුරක් පවත්වාගැනීමට වගබලාගැනීම වැදගත් වේ. ඔබේ ඇස් මට්ටමට වඩා මඳක්  පහළින් ඔබේ පරිගණක තිරය තබාගැනීම වැදගත්.එමෙන්ම පරිගණකයේ ආලෝක ත්‍රිවුරතාවය අඩු මට්ටමකට තබාගැනීම මෙන්ම අදුරේදී පරිගණක ලැප්ටොප්,ජංගම දුරකථන  තිරය දෙස බලාසිටීම නොකළ යුතුය.

පාරම්පරික අක්ෂි රෝග

පාරම්පරික අක්ෂි රෝග හෙවත් පවුලේ අයට පවතින අක්ෂි රෝග පිළිබදව ඔබ දැනුවත්වීම ඉතා වැදගත් වේ. ඔබ යම් අක්ෂි දුර්වලතාවයක් සඳහා වෛද්‍යවරයා වෙත යොමු වීමේදී ඒ පිළිබඳව දැනුවත්ව සිටීම උපකාරී විය හැකිය.

ඇසේ සුද මතුවීම, ග්ලුකෝමා වැනි අක්ෂි දුර්වලතාවයන් පිළිබඳව ඔබ දැනුවත්වීම වැදගත්. ඔබ දැනටමත් මෙම තත්ත්වයන්ට ප්‍රතිකාර ගනු ලබන්නේ නම් නිසි ලෙස එම ප්‍රතිකාර ලබා ගැනීම සහ අක්ෂි වෛද්‍යවරයා හමුවීම සිදුකළ යුතුය. ඔබට මේ වන විටත් අක්ෂි ශල්‍යකර්මයක් සිදුකර තිබේ නම්, නිසි අවධානය යොමු කරමින් ඉහත තත්ත්වයන් අනුගමනය කිරීමට අනෙක් පුද්ගලයන්ට වඩා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. වසරකට වරක්වත් අක්ෂි පරික්ෂාවක් සිදු කරගැනීම ග්ලූකෝමා වැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.

අනතුරු ඇඟවීම් පිළිබඳව සැළකිලිමත් වීම

ඇසෙහි සුද මතුවීම මෙම වයස් සීමාව තුළ ඇති වීමේ හැකියාව පවතින අතර, මෙම රෝගයේ මුල් අවස්ථාවේ ලක්ෂණ හඳුනා ගැනීම ඉතාම පහසු අතර, පෙනීම බොඳවීම, රිය පදවන අතරතුර ආලෝක කදම්භයන් බොඳ වී පෙනීම, ඇතැම් වර්ණයන් දීප්තිමත්ව නොපෙනීම, ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැයක් ගැනීම වැනි ලක්ෂණ ඇසෙහි සුඳ මතුවීමට පෙර ඇතිවන ලක්ෂණ විය හැකිය.

වයස සමඟ ඇතිවන පෙනීමේ ඇතිවන දුර්වලතා හේතුවෙන් අන්ධභාවයට පත්වීමේ හැකියාව පවතින අතර, ඇතැම් අවස්ථාවලදී දෘෂ්ථිවිතානයේ ආබාධ හට ගැනීමේ ප්‍රවනතාවය ඉහළ වේ. දෘෂ්ථිවිතානයේ ආබාධ සඳහා ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය අතර, ප්‍රතිකාර සඳහා යොමු නොවීම මගින් ද අන්ධභාවයට පත්විය හැකිය. වයසට යාමත් සමඟ පරිසරයේ පවතින සියුම් ආලෝකයන් දැකීමට ඇති හැකියාව අවම වන්නේ කණිනිකාව කුඩා වීම සහ ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව අවම වීම හේතුවෙනි. ඒ පිළිබඳව දැනුවත්වීම වඩාත් වැදගත්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here